UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැහැනුන්ට නොනිසි නිල බල දීම අධර්මයකි

‘සමාවෙලා මට ඔබේ දෙපා තව එක සැරයක් වඳින්ඩ දෙන්ඩෝ” යැයි නඟන මළ අඳෙීනාව ඔබට තව ඇසී නැද්ද? ඒ විලාපය පිරිමියකු විසින් ගැහැනියකට කරන ආයාචනයක් නම්; එය සමස්ත පිරිමි වර්ගයාටම කරන නින්දා අපහාසයක් වන්නේ ය.

පෞරුෂය හෝදාපාලුවට ගිය මෙබඳු තත්ත්වයක් උදා වී ඇත්තේ පිරිමිකම හා ගැහැනුකම අතර ඇති පරතරය හඳුනා ගැනීමේ දැනුම අප සමාජය කෙරෙන් පලා ගොස් ඇති නිසා ය.

ඉහත සඳහන් කෙටි විවරණය කරන්නට සිදු වූයේ මේ නොබෝදා අසන්නට ලැබුණු අලුත් ප්‍රවෘත්තියක ඇති බලවත් වරදක් දැක්වීමට පසුතලය සකස් කර ගැනීමක් වශයෙනි.

එකී ප්‍රවෘත්තියෙහි සඳහන් වූයේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලය, බස්නායක නිලය ආදී නිලවරණ සඳහා ගැහැනුන්ට ද තරග කිරීමට ඉඩ දිය යුතුය යන්න ය. එපමණක් නොව නිලවරණයක දී ඒ සඳහා ගැහැනුන්ට ද ඡන්දය දීමේ අයිතිවාසිකම ද දිය යුතුය යන්න ය. මෙහි දී; සම අයිතිවාසිකම් ඉල්ලන ගැහැනුන් හා සම අයිතිවාසිකම් දීමට සූුදානම් වන්නවුන් සිතා විමසා බැලිය යුත්තේ එදා මෙදා තුර මෙබඳු පිළිවෙතක් නොවූයේ මක්නිසාදැ’යි යන්න ය. මෙතෙක් පැවැති ඒ තහංචිය ධර්මෝපදේශයෙන් නගා ගත් එකක් බව දක්නට හැකි නම් මෙ කරුණෙහිදී ඔවුන් නිහඬ වනු නිසැක ය. මධ්‍යස්ථ වනු නිසැක ය.

ඉහත කී තනතුරු සඳහා අයිතිවාසිකම් දීම සාධාරණ යැයි එක්තරා කතුවැකියක් (මේ පවසන්නේ 2007. 9. 04 දිනැ’ති බුදුසරණ කතුවැකිය ගැන ය) මගින් ද ඉඟිකර තිබෙනු දැකිය හැකි විය. ඒ මතය ස්ථිර කරනු සඳහා පාදක කර ගෙන තිබුණේ “කාලෝචිත” ලිපි නමැති පොතක සඳහන් අදහස් කීපයකි. එහි මෙසේ සඳහන් විය.

“කායික ශක්තියෙන් ගැහැනුන් පිරිමින්ට වඩා දුබල වුවත්, වෙනෙත් මිනුම් දඬු වලින්් මැන බැලූ විට කාන්තාවන් පිරිමින්ට වඩා නොදෙවැනි බව පෙනේ.”

හැබෑටම මේ ඉහත සඳහන් ප්‍රකාශයේ ඇත්තක් තිබේ ද? මොන දණ්ඩෙන් මැන බැලුවත් ගැහැනිය යනු ගැහැනිය ම ය. ස්ත්‍රියට පෞරුෂය කරා ළඟාවීමට ඛ්සිදා නොහැක්කේ ය. එය ලෝකයේ සදාතනිකව පවත්නා ස්වභාවික සංසිද්ධියක් මිස, අපට ඕනෑ හැටියට කලින් කල වෙනස් කර ගත හැකි දෙයක් නොවේ.

ස්තී‍්‍රත්වය හා පෞරුෂය සම තත්ත්වයෙහි ලා තැබීම හෝ සාපේක්ෂව සම කොට සැලකීම ලෝ දහමට පටහැනි ය.

ස්ත්‍රියට දූතියා හෙවත් දෙවැන්නිය යන වදන දහමෙහි දී ඇත්තේ අවමන් පිණිස නොවේ. දිය යුතු සුදුසු තැන සලකා බැලීමෙනි. මේ අදහස තව දුරටත් විමසා ගැනීම සඳහා “කාම්බෝදියා” සූත්‍රය හදාරන්නේ නම් මැනවි.

ගැහැනිය යනු පෞරුෂය හමුවේ සදාතනිකව හීන ශක්තියක් පෙන්නුම් කරවන දුබල චපල සත්ව කොටසකි. එය පෞරුෂය හමුවේ කිසිසේත් සමාන නොවේ. මෙය ලොව පවතින සදාතන දහමෙකි. ඒ දහමට පිටුපා යෑම හානිකර බව දහමෙහි සඳහන් ය. මේ ලිපිය කියවන ඔබ ධර්ම ගරුකයෙක් නම්, මෙහි ඉහත සදහන් නිගමන පිළිගත යුතු වෙයි. නොපිළිගන්නේ නම් ඔබ අධර්මවාදියකු වෙයි.

ස්තී‍්‍ර වර්ගයා ගේ සම විසමතා මැන බලන්නට සාමාන්‍ය දැනුමකින් බැරි ය. එය දොස්තර උපාධියකින් හෝ අන් ලෞකික ඤාණයකින් නො කළ හැක්කකි. සංස්කාරක කමකින් හෝ අන් උගත්කමකින් ද කළ හැක්කක් නොවේ. ඒ සඳහා ස්ථාන අස්ථාන දන්නා නුවණ අවශ්‍යය. ඒ නුවණ සාමාන්‍ය පෘථග්ජනයිනට තබා රහතුන් වහන්සේටවත් ඇතිවන නුවණක් නොවේ.

ඨානා ඨාන දන්නා නුවණ සර්වඥවරයනට ම ආවේණික ඤාණයකි. එය දස බල නුවණින් ද එකකි.

යමෙක් ස්ත්‍රිත්වයත් පුරුෂත්වයත් සම කොට තුලනය කරන්නේ නම්, ඔහු ගේ දැකීම මිසදිටුවකි. ඒ මිසදිටුවා අපායගාමී වෙයි.

ඉහත කී පොතෙහි තව දුරටත් මෙසේ සඳහන් වෙයි. කෙසේද?

“ආවේණික බුද්ධි ශක්තියෙන් ගැහැනුන් හා පිරිමින් අතර වෙනසක් නොමැත. එහෙත් අග්‍රගණ්‍ය දාර්ශනිකයෝ විරලය. ඒ වනාහි කාන්තාවන්ට ලැබී ඇති අධ්‍යාපනික අවස්ථා පිළිබඳ ප්‍රශ්නයේ ම කොටසක් විනා කාන්තාවන් ගේ නිසඟ බුද්ධියේ අල්ප බවක් නොවේ.”

මෙයින් ඒ පොතෙහි කතුවරයා අපට පවසන්නේ සමාන අධ්‍යාපන පුහුණුවක් දුනහොත් ගැහැනිය පිරිමින් හා සමව තැබිය හැකි බවය. පාඨකයෙනි, ඔබ එය එසේම විය හැකි යැයි පිළිගන්නේ ද? ඔබ පිළිගත්තත් නැතත් පෞරුෂය හමුවේ ස්තී‍්‍රත්වය සම ධුරයෙහි තැබිය නො හැක්කේමය. ඒ බව වටහා ගැනීම සඳහා,

ගවයෙකුත් ගවදෙනකත් ගැල දෙකොන බැඳ දක්කා බලනු මැනවි.

දැන් අප බලා සිටින්නේ බෞද්ධ කොමසාරිස්වරයා “කාලෝ බණ” අසා හෝ නාසා හෝ කාන්තාවන්ට ද දියවඩන සළුවඩන නිලවරණයන්හි දී ඡන්දය දීමේ වරප්‍රසාදය ප්‍රදානය කරන තුරු ය.

ශාසනික වශයෙන් බලපවත්නා මෙබඳු නිල තනතුරු පැවරීමේ දී ධර්මයම බැලිය යුතු වෙයි. පුද්ගල තරාතිරම් බැලිය යුතු නොවෙයි. ධර්ම නීතියෙන් අංශුවක්වත් පිට පැනිය යුතු නොවෙයි. මහදියවඩන නිලය තබා සුළුදියවඩන නිලයටවත් කාන්තාවන්ට වර දීම ධර්ම විරෝධී වෙයි. මේ නිල තනතුරු බුද්ධ උපස්ථානය සදහා නම්, එය එසේ ම විය යුතුය. ධර්ම විනිශ්චයෙන් පිට පැන්නොත් දුර්විපාක පැමිණීම වැළැක්විය නො හැකිය.

ගැහැනුන්ට නිලවරණ අයිතිය පතන්නේ දෙවියන් හා දේවාල සඳහා නම්; ඒ සඳහා ඕනෑම ගැහැනියක හෝ නොපිරිමියකු පත්කර ගත්තාට අපේ කතාවක් නැත. තෙරුවන පිළිබඳ නොනිසි දේ වන විට අපේ ඇස යොමු වීම සිදු වෙයි.

යුක්ති අයුක්ති විමසිය යුත්තේ ධර්මයට අනුව ය. ඊට පරස්පරව ගිය හොත් අධර්මය හිස ඔසවයි. අධර්මය හිස එසවූ කල රටේ පිරිහීම ඇති වෙයි.

බෞද්ධ අප විසින් ආවේණිකව පැවත ගෙන පැමිණි හෝ පවත්වාගෙන ආ යම් ආගමික ප්‍රඥප්තියක් වෙනස් කළ යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. එද, දහමට අනුව සොයා විමසා ගත් තීරණයකට අනුව ය.

අතට අසුවුණු කෙහෙල් කොටයක් බදා ගෙන ගං වතුරේ පාවී යන කෙනකුගෙන් ගඟේ දිග පළල ඇසීම නිශ්ඵල ය. කාලෝවැනි අයගේ අත්තනෝ මත බෞද්ධාගමික ප්‍රශ්න නිරාකරණයට ප්‍රමාණ කරගැනීම සුදුසු නැත.

කාන්තාවන් බුද්ධ උපස්ථාන නිලයට පත් කරගත යුතු ද යන ප්‍රශ්නයට පිළිතුර සෙවිය යුත්තේ බුද්ධ දේශනයෙනි. ස්ථාන අස්ථාන දන්නා බුදු හිමියෝ එය විසඳා වදාරා ඇත. බුදු වදනක අභිප‍්‍රායාර්ථය දන්නෝම ඒ බව දනිති. සෙස්සෝ නොදනිති.

රජකුමරියක විසින් දළදාව මුහුලේ සඟවා, රැකගෙන ආ කතාව හෝ සඟමිත් තෙරණිය සිරිමා බෝ වැඩමවීමේ කතාව මේ ප්‍රශ්නය විසඳීමට සාධක නොවේ. ඒවා වෙනම සංසිද්ධි හැටියට සැලකේ.

මිණි කරඬුවෙහි හෝ රන් කරඬුවෙහි ලූ දළදාව කෙස්ස අස්සේ නොවේ නම් මස්ස අස්සේ වුව සඟවා රැකගෙන ඒම වරදක් නොවේ. පිරිමින්ට මිස ගැහැනුන්ට මස්ස නැත. හේමමාලා පුවත ගැහැනුන්ට නිල පැවරීමේ සිද්ධියට අදාළ කර ගැනීමට ඉඩක් නැත. බෝධිගුප්ත කුමාරයින් යටතේ සාක්‍ය රජ කුමරියන් සතර දෙනකු සිරිමාබෝධියට පැන් වැඩීම සඳහා පත්කර ගත් පුවතක් සඳහන් වෙයි. එපුවත වුව ප්‍රස්තුත කරුණ සඳහා ඉවහල් කරගත නොහෙයි.

බුදු වන මහතාණෝ දෑ රඟ මිණක් සේ ස්තී‍්‍ර කුසක විසූ බව කවුරුත් දන්නා කරුණකි. එකරුණ ද ප්‍රස්තුතය හා අදාළ කරගන්නට හදන්නේ නම් එද මේ සඳහා යුතු නැත. කාන්තාවන්ට නොනිසි නිලතල තනතුරු නොදීම කාන්තාවන්ට කරන අසාධාරණයක් නොවේ. අසාධාරණය සාධාරණය කරන්නට කවදත් හඬ තලන්නෝ චාර්වාක වාදියෝ ය. වර්තමානයේ නම් රෙඩ් කැප් කාරයෝ ය.

මෙය ධර්මයෙන් ම පාලනය විය යුතු රටකි. ධර්මයෙන්ම ගෝපනය විය යුතු රටකි. ඉටු කළ යුතු ශාසනික හෝ සාමාජයික කටයුත්තක් වේ නම්, ඒවා බෞද්ධ නීති නොඉක්මවා සිදු කළ යුතු වෙයි.

පරම්පරාගතව පැවත ගෙන එන සදාචාර සිරිත් විරිත් පමණක් නොව, ශාස්තෘ අනුඥාත ධර්ම උපදේස පවා මේ දක්වා රැක ගෙන ආ රටක් ලංකාව මිස ලෝකයේ වෙන කිසි තැනක නැත.

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කළ යුතු ගරු උපස්ථාන සඳහා කිසිතැනක කාන්තාවන් යොදවා ගත් තැනක් මේ දක්වා අසන්නට නැත. තේවා යන වදනක් දහමට සම්බන්ධව නැත. තේවාව, මවාගත් දෙවියන් සඳහා මිසදිටුවන් කරන දෙයකි. ඒවා දේවාල හා කපුවන් ද කෝවිල් හා පූසාරිලාද හා සබැඳෙයි.

දියවඩන, සළුවඩන නිල, පුරාණයේ තිබුණක් නොවේ. ඒවා රජවරුන් සඳහා ය. පසු කලෙක ඇතැම් රජවරුන් විසින් බුද්ධ උපස්ථානය සඳහා ඒවා සමාරෝපණය කර ඇත.

බුදුරජාණන් වහන්සේ තබා බුද්ධ පුත්‍රයකු හෝ කාන්තාවන්ගෙන් උපස්ථාන ලැබූ තැනක් අසන්නට නැත. නිර්මිත ගැහැනුන්ගෙන් නම් බුදුරජුන් පවන්සලවා ගෙන ඇත. එය මේ සිද්ධියට අදාළ නැත.

ස්තී‍්‍රන්ගෙන් උපස්ථාන ලැබීම සංඝයාට විනය නීතියෙන් තහනම් ය. මේවාට සීමා ඇත. දහම නම් දහම ම ය. අදහම නම් අදහම ම ය.

දිනක් මම කැපකරුවකු සමඟ දුර බැහැර එක්තරා පන්සලකට ගියෙමි. ඒ යන විට පයේ මඩ තැවරී තිබුණු බැවින් කැප කරුවා පන්සල් පොකුණට ගියේ පා සෝදා ගන්නට ය. ඔහු එහිදී දුටු දෙයක් මට කීවේ ඔහුට එය ප්‍රශ්නයක් වූ බැවිනි. තරුණ ළඳක්, ලොකු බේසමක දමා සිවුරු හෝදනු දුටු බව ඔහු මට කීවේ ය. ඒක හොඳ ද? කියාත් ඇසුවේ ය.

සොයා විමසා බැලූවිට දැනගන්නට ලැබුණේ ඒ පන්සලේ වැඩ වසන තරුණ හිමිනමගේ ඥාති සොහොයුරියක් පින් සලකා එසේ සිවුරු සෝදා දෙන බවය. ඥාති සොහොයුරිය තබා වැදූ මෑණියන් ලවාවත් එබඳු උපස්ථාන කර ගැනීමට ශාසනික වශයෙන් ඉඩක් නැති බව දත යුතු ය. මේ සඳහා මහා කාශ්‍යප තෙර පුවත ද උදාහරණයි.

එක්තරා දිළිඳු ළඳක්, තම පැල් දොරට සිඟා වැඩි මහා කාශ්‍යප තෙරුන්වහන්සේට පොරි මිටක් දන්දුන්නා ය. එදිනම ඕ නයෙකු විසින් දෂ්ට කරන ලදුව මිය ගොස් ආසන්න කුසල විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. තමන් මේ තරම් සැපදායක දිව්‍ය ආත්ම භාවයක් ලැබුවේ කාශ්‍යප මහරතහන් වහන්සේ නිසා බව දැන, උන්වහන්සේ මුල්කොට ගෙන තව තවත් පින් කරගන්නට සිතුවා ය. එසේ සිතා ඕ එහිමි තුමන් වැඩ වසන වනගත සෙනසුනට අලුයම් කාලයේ පැමිණ, තම සිරුරු කාන්තියෙන් අඳුර දුරු කොට මළු මං පෙත් ඇමද, දිය පෙරා ගෙනවුත් දිය මැස්සේ තබා ගියා ය.

දින දෙකක් මෙසේ කළ කල්හි ඒ හිමිතුමෝ මේ කාගේ වැඩක්දැයි විමසා බැලුවා ය. දෙවඟනක් පැමිණ මෙසේ කරන බව දැන, තුන්වන දිනයේ, ලෙන තුළ සිටම, මේ මිදුල අමදින්නේ කවරෙක්දැයි ඇසූහ. එවිට ඒ දෙව්දුව, ස්වාමීනී මේ මම ලාජා දෙව් දූ යැයි කීවා ය.

එවිට මහ තෙරුන් වහන්සේ මින් පසු මේ පැත්ත පළාතට නොඑවයි පවසා, අනාගතයේ ධර්මාසන නැගී බණ කියන දේශකයින් ලවා, මේ කාශ්‍යප ස්ථවිරයෝ ගැහැනුන් ගෙන් උපස්ථාන ලද්දෝ යැයි කියන්නට ඉඩ නොතබවයි පවසා අසුර ගසා ඇගේ පැමිණීම වැළැක්වූහ.

මේ පුවතින් ද වටහාගත යුත්තේ කාන්තාවන්ට බුද්ධ උපස්ථානය තබා සංඝ උපස්ථානය ද නොනිසි බව ය. ඉතින් කොහොමද නිලමේ තනතුරක් ගැහැනුන්ට දෙන්නේ?

වසර ගණනාවක් පැත්තක තබා තිබූ පෑන මා යළි අතට ගත්තේ නොගෙන බැරිම තැන ය. සක්දෙවියන්ගේ වජ්‍රායුධය ධර්මය රජ කරවීම සඳහා ය. සපුරිසන්ගේ පන්හිඳ ද ඒ අරමුණ සඳහාම විය යුතු ය.

වප් පුර පසළොස්වක


වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.10 ට ලබයි.
26 වන දා සිකුරාදා පූර්ව භාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 25 වනදා බ්‍රහස්පතින්දාය


මී ළඟ පෝය නොවැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]