ජාතක කථාවල
නිරූපිත ස්ත්‍රිය
විසාකා දිසානායක
මනමේ නාටකයේ ජවනිකාවක් |
විශිෂ්ටතම බෞද්ධ සාහිත්‍යය ග්‍රන්ථයක් ලෙස පන්සිය පනස් ජාතක පොත
හැඳින්වීම වරදක් යැයි නොසිතමි. ජාතක පොතේ කාන්තාවට කෙබඳු තැනක් හිමිවේද
යන්න සොයා බැලීමට පෙර කාන්තාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ දැරූ මතය දැන
ගැනීම වටනේ ය. බුදුන් වහන්සේ කිසිම තැනක, කිසිදු අවස්ථාවක කාන්තාව යනු
පහත්, අනුවණ තැනැත්තියකැයි දේශනා කර නොමැත. ඒ සඳහා හොඳම උදාරණය කොසොල්
රජුට දාව දියණියක ලැබූ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කරනු ලැබූ
ප්‍රකාශයයි.
එමෙන්ම මහා ප්‍රජාපතී ගෝතමිය භික්‍ෂූණී ශාසනය පිහිටුවීමට අවසර පැතූ
අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කරන බුදුරදුන්ගෙන් ‘කාන්තාවන්ට මාර්ගඵල ලැබීමට
නොහැකිදැයි’ අනඳ හිමියෝ විමසූහ. ඒ අවස්ථාවේ කාන්තාවකට වුවද මාර්ගඵල
ලැබීමට බාධාවක් නැතැයි බුදුරජාණන් වහන්සේ පැවසූ සේක. අනෙක් අතට
මාතෘත්වය ඉතා උතුම් කොට සැලකූ බුදුන් වහන්සේ ප්‍රජාපතී ගෝතමී මහ රහත්
තෙරණිය පිරිනිවන් පාන්නට අවසර ගත් අවස්ථාවේ එතුමිය පසු පස ගමන් කොට
ගෞරව කළ බව සඳහන් වේ. යසෝදරාවගේ පතිදම් පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කථා කළ
බුදුන්වහන්සේ භික්‍ෂුණීන්ට අෂ්ට ගරු ධර්මය පැනවූයේ ඔවුනගේම ආරක්‍ෂාව සහ
යහපත උදෙසාම බව පෙනේ. පන්සිය පනස් ජාතක පොතේ ස්ත්‍රියගේ භූමිකාව සසඳා
බැලිය යුත්තේ මෙවන් පදනමක සිටය. වඩාත් වැදගත් කරුණ වන්නේ ජාතක කථා
බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක් අරබයා ද යන්නයි. කරුණු
විමසා බැලීමේ දී ජාතක කථා බොහොමයක් දේශනා වී ඇත්තේ පෘථග්ජන භික්‍ෂූන්
වහන්සේ ගිහි සැප අපේක්‍ෂා කොට ශාසනයෙහි උකටලී වූ අවස්ථාවලදී ඔවුන්
යහමගට ගැනීම සඳහා බව පෙනේ. මෙවන් අවස්ථාවල බොහෝ විට ස්ත්‍රිය පහත් කොට
සලකා ඇතත් සමස්තයක් ලෙස ගත් විට ස්ත්‍රියගේ සදාචාර සම්පන්න යහපැවැත්ම
ජාතක පොතේ ප්‍රශංසා කටයුතු ලෙස විග්‍රහ කරඇත.
ගැහැනිය සතු උත්තම ගුණාංග වන මාතෘත්වය, පතිදහම, නැණ නුවණ, අධිෂ්ඨානශීලී
බව, කාර්ය ශූරත්වය, ස්ථානෝචිත ප්‍රඥාව මෙන්ම සමාජයේ වෙසෙන නොයෙක්
ස්තී‍්‍රන්ගේ අහංකාර පරවශ බව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැනි අවගුණ ගැන
ද කදිම විග්‍රහයක් ජාතක කථා කරුවා විසින් කරනු ලබයි.
ජාතක පොතේ එන වෙස්සන්තර, සඳ කිඳුරු, සම්බුලා, චුල්ල ධනුද්දර, නාලිනී,
පූටභත්ත, අන්ධභූත, අසිතාබූ, උම්මග්ග , සිරි කාලකණ්ණි, මාතාංග, චුල්ල
නාරද, සුරුචි, මහා පලෝභන, අයෝඝර, කුම්භ, ජද්දන්ත, අලම්බුසා, නලිනිකා,
උම්මාදන්තී, කුස වැනි ජාතක කථා මඟින් නියමයෙන් හෝ අනියමින් ස්ත්‍රිය ගේ
ගති ලක්‍ෂණ සාකච්ඡා කොට තිබෙනු දක්නට පිළිවන.
සඳ කිඳුරු ජාතකයෙන් ස්ත්‍රිය උත්තුංග කොට දක්වන අතර සමස්ත ස්තී‍්‍ර
පරපුර කෙරෙහිම ගෞරවයක් එයින් ඇති වේ. පතිදම පිළිබඳ මූලික වශයෙන්
කියැවුණ ද කාන්තාව සතු අභීත බව, ස්ථානෝචිත ප්‍රඥාව, අධිෂ්ඨානශීලීත්වය
පිළිබඳවද යමක් ඉගෙනගත හැකි ය. රජ සැපටත් ලොල් නොවී සිය සැමියාම පතා
සිටි ස්ත්‍රියක ගේ අපූරු හදවත පිළිබඳ දෙනු ලබන විවරණය කෙතරම් සිත් ඇද
ගන්නා සුළු ද? එහිම වර්තමාන කථාවේ දී බුදුරජාණන් වහන්සේගේ පවා
ප්‍රශංසාවට බඳුන් වන යසෝදරාව ගත කරන ජීවිතය සියලුම කාන්තාවන්ට ආදර්ශයක්
ගත හැකි වටිනා ජීවිතයකි.
මෙවැනිම භූමිකාවක් වෙසතුරුදාවෙහි මද්‍රි බිසව විසින් නිරූපණ කරන්නීය.
සිය සැමියාගේ උත්තුංග කාර්යභාරය වෙනුවෙන් මාතෘත්වයේ දුක පවා ඉවසා දරා
සිටින්නට මද්‍රි බිසවට හැකි වූයේ මවක හා බිරිඳක ලෙස ඇය තුළ තිබූ
අධිෂ්ඨානශීලී, මානව දයාවෙන් පිරිපුන් ගති ස්වභාවය නිසා ය. සම්බුලා
ජාතකයෙහිද ස්ත්‍රිය උත්තම කොට දක්වා ඇත. සදාතනිකව පුරුෂයා ගේ දුක් පීඩා
වලට ලක්වන ගැහැනිය නිරූපණය කරන සම්බුලා මෙන්ම අසිතාබු වැනි ජාතක කථා
මඟින් දුක් පීඩා විඳින ස්ත්‍රිය ගේ උතුම් ගති ලක්‍ෂණ විදහා පායි.
නලිනිකා, චුල්ල ධනුද්දර, අන්ධභූත වැනි ජාතක වලදී ස්වභාවයෙන්ම මනුෂ්‍යයා
සතු අවකල් ක්‍රියාවන් ස්ත්‍රිය තුළින් ද විද්‍යමාන වන අයුරු පෙන්නුම්
කෙරේ. එහෙත් මෙවන් අවස්ථාවක් වුවද සියුම් ලෙස විග්‍රහ කොට බැලීමේ දී
බාහිර බලවේගලයන්හි බලපෑම් මත ඇති වූ අතිශය දුර්වල මානුෂීය, තත්ත්වයන්
මත මිස, ස්වභාවයෙන්ම ගෙන එන ලද පහත් හෝ චපල ක්‍රියාකාරීත්වයක් නිසා
ස්ත්‍රිය ඒ තත්ත්වයට පත්වූවා යැයි කිව නොහැකි ය.
කෙසේ වූවත් අතීත ස්ත්‍රිය ගේ සිට නූතන ස්ත්‍රිය දක්වා විකාශනය වීමේ දී
ජාතක පොතින් ගත හැකි වටිනාකම් බොහෝ වෙති. පුරාතණ හෝ නූතන වශයෙන් බේදයක්
නොමැතිව සදාකාලිකවම අපවාද, අවමාන, හිරිහැර වලට ගොදුරු වීම ස්වභාවයක්
වූවද අතීතයේ වෙන කවරදාටත් වඩා වත්මන් කාන්තාව, ඊට ගොදුරු වීම විශාල ලෙස
වැඩිවීම නිසා ජාතක පොතින් ලද හැකි ආදර්ශය හෝ ප්‍රයෝජනය නිසි ලෙස
ගන්නවාදැයි සැක සිතේ. ජාතක පොතේ එන පුරාණ ස්ත්‍රිය විසූ සරල සමාජ
වටපිටාවට වඩා බෙහෙවින් සංකීර්ණ, ව්‍යාකූල හා අනාරක්‍ෂිත වටපිටාවක
විසීමට වත්මන් කාන්තාවට සිදුවී තිබේ.
එපමණක් නොව ආර්ථික වටිනාකමක් ඇයට ආදේශ කිරීමෙන් මෙතෙක් ඇය සතු වූ මව සහ
බිරිඳ යන උතුම් පදවි දෙකෙහි කාර්යභාරය හා වටිනාකම අඩුවී ඇති අතර
ක්‍රමයෙන් ඇය ඒවායින් ඈත් වෙමින්ද සිටී.
ජාතක පොතේ වටිනාකම සමාජගත කළ යුත්තේ මෙවන් පසුබිමකදීය. එහි එන උත්තුංග
කාන්තා චරිත මෙන්ම නුහුගුණ සහිත චරිතද වත්මන් කාන්තාවට නිරන්තරයෙන්ම
ඇසුරු කිරීමට ඉඩ සැලසෙන්නේ නම්, ස්ත්‍රිය ගේ සැබෑ කාර්යභාරය කුමක්ද? ඒ
කාර්යභාරය මඟින් සමාජීය වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් ඇතිවන වටිනාකම්
හා හර පද්ධතීන් මොනවාද යන්න වටහා ගත හැකි වනු ඇත. අනෙක් අතට පෙර මෙන්
මවගෙන් දියණියට හා මිත්තණියගෙන් මිණිබිරියට පෙරා ගන්නා දැනුමක් නොමැති
නිසා බාහිර දැහැමි බලවේගයක දැනුම හා බලපෑම අවශ්‍යමය.
ස්ත්‍රිය යනු පුරුෂධර්මවලටම පහළ වූ ජීවී කොටසක් නොව, මිහිතලයේ ජීවය රඳා
පවත්වා ගැනීමේ භාරදූර වගකීම පැවරී ඇත්තේ ඇය මත බව සමාජයට වටහා දෙන්නට
ජාතක කථා පිටුබලයක් කරගත නොහැකිද?
එමෙන්ම තමා තමන්ගේ නුහුගුණ හා අවකල් ක්‍රියා පිළිබඳ යළිත් සිතන්නට
පොළඹවා, මාතෘත්වය, පතිවෘතාව, කරුණාව, මෛතී‍්‍රය වැනි ස්ත්‍රිය තුළ
තිබිය යුතුම ගුණාංග යළි යළිත් පුරුදු පුහුණු කරගැනීමටත් ඒ මඟින් අතිශය
දුර්වල වූ අවස්ථාවලදී පවා ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව
නැඟී සිටින්නට පෙරහුරුවක් ලබා දෙන්නටත් ජාතක පොත උපයෝගී කොට ගත
නොහැකිද? |