ජීවිත මදය
ශාස්ත්‍රපති
මීගස්තැන්නේ රතනජෝති හිමි
“අහංචිරං ජීවිං , ජීවාමි චීරං ජීවිස්සාමි සුඛං ජීවිං, ජීවාමි සුඛං
ජීවිස්සාමීනි උප්පන්නෝ මා නො”
මම බොහෝ කලක් ජීවත් වූවෙමි .අදත් ජීවත්වෙමි, ඉදිරියටත් ජීවත්වන්නෙමි.
එසේම සුවසේ ජීවත් වූවෙමි. දැනුදු ජීවත්වෙමි, මතුවටද ජීවත්වන්නෙමි යි
ඇති කරගත්තා වූ මානය ජීවිත මදය නම් වන බව එයින් පැවසේ.
ජීවත්වීම පිළිබඳ අතීතයෙන් හා වර්තමානයෙන් කථාකළ හැකි වුවත් හෙට දවස ගැන
හෝ අනාගතයක් ගැන කථා කරන්නේ කෙසේද? ක්‍ෂණභංගුර ජීවිතය තුළ හෙටක් ගැන
නොව තත්පරයක් විනාඩියක් තරම්වත් ඉදිරියක් ගැන සිතිය හැකිද? උදේ නිවසින්
පිටත්වන අය පාසලට හෝ සේවාස්ථානයට යෑමට පෙරත්, සවස සේවය නිම කර නිවසට
පැමිණෙන්නට පෙරත්, සෝදා ලිප තිබූ හාල් ටික බත් බවට පත්වන්නට පෙරත්,
සකසා ගත් ආහාර ටික කෑමට ගැනීමට පෙරත්, රාත්‍රියේ නිදි යහනට ගිය අය උදේ
අවදිවන්නට පෙරත් මිය ගිය අවස්ථා මිය යන අවස්ථා අනන්තවත් තිබියදී
අනාගතයේ සුවසේ ජීවත් වෙමියි හෝ දිගුකලක් ජීවත්වෙමියි සිතන්නේ නම්
එයින් පෙන්නුම් කරන්නේ ජීවිතමදයේ බරපතල කම මිස අනෙකක් නොවේ.
පාදයක දරුණු තුවාලයක් හටගත් කෙනකුට නොයෙක් පිළියම් කොට සුවයක් නොලද
විටක මේ පාදය මෙතැනින් කපා දැමුවහොත් තවත් කලක් ජීවත්විය හැකි යැයි
වෛද්‍යවරයෙකු කීවොත් , එක පාදයක් නොව පාදෙකම කපා දමා හෝ වැඩි කලක්
ජීවත්වීමේ ආශාව ජීවිත මදයේ ස්වභාවයයි. ඒ වන විට ගේ දොර - ඉඩකඩම් උකස්
කර හෝ හරියට කුසට අහරක් නොගෙන හෝ විශාල ධනයක් පාදය සුව කැර ගැනීම සඳහා
වැය කර තිබීමට ද පුළුවන.
“මිනිස්සු ශරීරාංග රැකගැනීමට , ධනය අත්හරිති. ජීවිතය රැකගැනීමට,
ශරීරාංග අත් හරිති. ලෝකයේ යථා ස්වභාවය නිවැරැදිව තේරුම් ගත් පුද්ගලයා,
ධර්මය වෙනුවෙන් මේ සියල්ලම අත්හරියි”
ධනං චජෙ යො පන අංග හේතු
අංගං චජේ ජීවිතං රක්ඛාමා නො
අංගං ධනං ජීවිතංචාපි සබ්බං
චජේ නරෝ ධම්ම මනුස්සරත්තෝ
(විසුද්ධි මග්ග - සීල )
අනික් අතට කායික මානසික සැපයකින් තොරව දිගු කලක් ජීවත්වීමේ අරුත
කුමක්ද? කය නීරෝගී වුවත් කොතරම් වේගයකින් මනස රෝගී තත්වයන්ට ලක් වේද?
මේ පවතින සමාජ වාතාවරණය තුළ මානසික නිරෝගීභාවය රඳා පවත්වා ගත හැක්කේ
කොතරම් සුළු වේලාවක් ද? එනිසා ලෙඩ දුක් වලින් පෙළි පෙළී දිගු කලක්
ජීවත්වීම පමණක් පලක් නැත. අවශ්‍යම වන්නේ, චිරජීවනයටත් කායික මානසික
සුවතාවයටත් ගැලපෙන ආකාරයට ජීවන රටාව සකස් කර ගැනීම යි.
ජීවිතය කෙටියි. ලෙඩ දුක් වැඩියි. මරණය ළඟයි ආදි වශයෙන් සිතමින් අනාගතයට
අයත්සියලුම දේවල් අත්හැරදමා උකටලීව දිවි ගෙවිය යුතු බව නොවේ, මෙයින්
පැවසෙන්නේ. පැවිදි පුද්ගලයින් උසස් උසස් ශ්‍රමණ ඵල සාක්‍ෂාත් කර ගැනීමට
ධ්‍යාන මාර්ග ඵලාදිය ලබාගැනීමට උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ යුතුය.
ගෘහස්ථ ජනතාව අඹුදරුවන්, ඥාතීන් ,රැකියා , නිවාස, ගම, පන්සල ආදිය
පිළිබඳ දැහැමි සැලසුම් සකස් කරන අතර, මරණය හා පරලොව දිවිය පිළිබඳ ව
අමතක නොකළ යුතුය.
ආජ්ජෙව කිච්චං ආතප්පං
කෝ ජඤ්ඤා මරණං සුවෙ“
මගේ මරණය හෙට සිදු නොවිය හැක්කේ කෙසේ ද? එනිසා අද කළ යුතු දේ අදම කළ
යුතු යැයි උට්ඨාන වීර්යය උපදවා ගත යුතුය යනු බුද්ධ දේශනාවයි.
අධ්‍යාත්මය හා පරලොව ජීවිතය සම්පූර්ණයෙන් අමතක කර දමා කටයුතු කරන්නෝ,
ජීවිත මදයෙන් යුක්ත වූවෝය. ජීවිතයක් අර්ථවත් වන්නේ කෙසේ හෝ බොහෝ කාලයක්
ජීවත් වීමෙන් නොව, උතුම් ධර්මය දකිමින් ජීවත්වීමෙන් බව, බුදුරජාණන්
වහන්සේ බහුපුත්තික නම් මෙහෙණියට දේශනා කළහ.
යෝ චෙ වස්සසතං ජීවෙ
අපස්සං ධම්ම මුත්තමං
ඒකාහං පීවිතං සෙය්‍යෙ
පස්සතො ධම්ම මුත්තමං ( ධ: ප: සහස්ස වග්ග)
ධර්මය නොදකිමින් ජීවත්වන වර්ෂ සියයට වඩා, ධර්මය දකිමින් ජීවත්වන එක දවස
උතුම් වෙයි) මේ ලෝකයෙහි තීරණයකට බැස ගත නොහැකි අවිනිශ්චිත කරුණු පහක්
ගැන, ධර්මයෙහි සඳහන් වෙයි.
“ජීවිතං ව්‍යාධි කාලෝච
දේහ නික්ඛෙපනං ගති
පංචෙතෙ ජීව ලෝකස්මං
අනිමිත්තා න ඤායරෙ “
එම කරුණු පහෙන් මුලටම ඇතුළත් වන්නේ, ජීවිතයයි.
කවදා, කොතැන , කෙලෙස ජීවිතය කෙළවර වේදැයි දත නොහැකි නම්, දිගු කලක්
සුවසේ ජීවත්වෙමියි මත් වන්නේ කෙසේද? මෙවැනි අවස්ථාවකදී සම්බන්ධ කරගත
හැකි තවත් පණිවිඩයක් අපට උදාන පාලියේ බාහියදාරුචීරිය තෙරුන්ගේ කථාව ගෙන
එයි.
බොහෝ කාලයක් තමාගේ හිතසුව පිණිස හේතු වන දහමක්, ඉක්මනින් දේශනා කළ
මැනවැයි, බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ, තමාත් බුදුරජාණන්
වහන්සේත් යන දෙදෙනාගෙන් කවරකුට ජීවිතාන්තරායයක් වේදැයි නොදන්නා බව
පවසමිනි.
“ දුජ්ජානං ඛො පනේතං භන්තේ භගවතො වා ජීවිතන්තාරායො මයිහං වා”
උදාන පාලි - බෝධි වග්ග)
තුන් දොරින් සිදු කැරෙන දුශ්චරිත වලට ද ජීවිත මදය හේතු වන බව, අංගුත්තර
නිකායේ දේශනා කර ඇත.
“ ජීවිතමද මත්තේවා භික්ඛවෙ අස්සුතවා පුථූජ්ජනො කායෙන දුච්චරිතං චරති
වාචාය මනසා (අ.නි. 3 - 1 - 4 - 9 ) මේ ජීවිත මදය පමණක් නොව සියලු
ආකාරයේ මත්වීම් නිසා සිදු කැරෙන්නේ දුශ්චරිතම ය. එම නිසා ඒ සියලු මද
සර්ව ප්‍රකාරයෙන් ප්‍රහීණ කිරීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රම හැටියට
ජරා - ව්‍යාධි - මරණාදී ස්වභාව ධර්මතා තමාද උරුම කොට ඇති බව සිතීමත්,
එවැනි තත්වයන්ට පත් වූ අය පිළිකුල් නොකිරීමත්, එම සූත්‍රයෙහිම දක්වා
ඇත.
තවදුරටත් මත්වීමෙහි භයානක ආදීනව දක්වන සම සූත්‍රය” යොබ්බත මදමත්තෝවා
භික්ඛවෙ භික්ඛු සික්ඛං පච්චක්ඛාය හීනායාවත්ති “ යි භික්‍ෂුව සිවුරු හැර
ගිහි බවට පත්වීමට තරුණ මදය හේතු වන බව දක්වයි.
තවත් පැත්තකින් බලන විට සුවසේ ජීවත්වෙමියි හෝ දිගු කලක් ජීවත්වෙමියි
සිතන අය තුළ ඇත්තේ සසර තවත් දිගු කර කර ගැනීමේ ආශාවයි. භව තණ්හාව යනු,
එයයි’ සිදු කරන කුසල් වලට ලෞකික සැප සම්පත් ලැබීම අනිවාර්ය වුවත්, ඒවා
ප්‍රාර්ථනා කිරීම තුළ ඇත්තේ ආශාව ය. “මොහොතකටවත් තමා භවය වර්ණනා
නොකරමි’යි බුදුරජාණන් වහන්සේ වදාළේ එබැවිනි. |