UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාවේ දී ‘පොට වරදින’ තැන්

බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව ප්‍රබෝධයක් දකින්නට ලැබෙන මෙකල භාවනා ක්‍රම හදාරන හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන බාල මහලු තරුණ සෑම අයෙකුම භාවනා කරන්නකු විසින් අනුගමනය කළ යුතු මූලික සිද්ධාන්ත බුදුන් වහන්සේ දෙසූ පරිද්දෙන්ම දැනගෙන භාවනා කිරීමෙන් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි ය.

බොහෝ දෙනකු භාවනා කිරීමට යොමු වූවද අනුපුබ්බං පරිචිතා හෙවත් අනුපිළිවෙලින් පුහුණුවක නොයෙදෙන නිසා අපේක්‍ෂා කරන චිත්ත සමාධිය හෝ සිහි නුවණ වැඩී සිත පිරිසුදු වීම මන්දගාමී වී ඇත.

නවීන තාක්‍ෂණ ක්‍රම උපයෝගී කරගෙන නොයෙක් විදියේ යන්ත්‍ර සූත්‍ර රැසක් නිපදවා ඇත. ඉන්ධන හෝ විදුලි කෝෂ උපයෝගී කරගෙන ගනිමින් විද්‍යුත් ශක්තිය මත ක්‍රියා කරවන මෙම යන්ත්‍රවල ඒ ඒ ස්ථාන වලට විද්‍යුත් බලය සපයන විදුලි කේබල් (වයර්) වල එක පොටක් හෝ වැරැදි ලෙස මාරුකර සවිකර තිබුණොත් එම පොට වැරදීම නිසා යන්ත්‍රයෙන් අපේක්‍ෂිත කාර්ය නියමිත ආකාරයට සිදු නොවෙයි. එවැනි දෝෂ හටගත් විට එම වයර් පොට නිවැරදි කරගත යුතු ය. එසේ නොකළහොත් යන්ත්‍රය ක්‍රියා නොකිරීම, මන්දගාමී වීම ආදී අනපේක්‍ෂිත අවැඩ දායක ප්‍රතිඵල ලැබෙයි. එමෙන්ම යමෙකු බෞද්ධ භාවනා ක්‍රම ප‍්‍රගුණ කරන්නේ නම්, බුදු සමිඳුන් දෙසූ පිළිවෙලින් බැහැර වූ වෙනත් ක්‍රම හෝ තම තමන්ට සිතෙන හා පහසු භාවනා ක්‍රම නිර්මාණය කරගන්නට ගියහොත් භාවනාවේ පොටවල් වරද්දා ගනී.

බුද්ධ කාලයේ මෙන්ම අදත් භාරත දේශයේ නොයෙකුත් යෝගී භාවනා ක්‍රම ප්‍රචලිතව ඇත. කුණ්ඩලිණී ශක්තිය අවදිකරවන ප්‍රාණයාම වැනි දුෂ්කර භාවනා ශිල්ප ක්‍රම ද ඇත. තවද නොයෙක් යෝගාසන ක්‍රම අනුව ශාරීරික හා මානසික අභ්‍යාස ක්‍රම තුළින් ශාරීරික ශක්තිය මෙන් යම් යම් මානසික ශක්තීන් ද ලබා ගන්නා යෝගී භාවනා ක්‍රම ඇත. එම භාවනා අභ්‍යාස තුළින් කායික නිරෝගී තාව හා මානසික ශක්තීන් ලබාගත හැකි වූව ද බෞද්ධ භාවනා ක්‍රම වන සමථ හෝ විදර්ශනා ක්‍රම මඟින් ඇති වන කායික හා මානසික සංහිඳියාව හා සිත පිරිසුදු වීම තුළින් ප්‍රඥාලෝකය ඇති වී සිදු නොවෙයි.

බුද්ධ කාලයේ විසූ සර්වමිත්‍ර, ආලාර කලාම, උද්දකරාමපුත්‍ර වැනි ලෞකික හා අරූපාවචර ධ්‍යාන ලබා සිටි යෝගී මුනිවරුන්ගේ ඉගැන්වීම් හා භාවනා ක්‍රම තුළින් සත්‍යය අවබෝධ කර ගැනීමට සිදුහත් තාපස තුමන්ට ද ‍ෙනාහැකි විය. එබැවින් උන්වහන්සේ එම පිළිවෙත් වලින් බැහැරවී කිසිම ගුරුවරයකුගේ ඉගැන්වීම් තුළින් එතෙක් අවබෝධ කර ගැනීමට නොහැකිව තිබූ පරම සත්‍ය කිසිම ගුරුවරයකුගේ ඉගැන්වීමක් පිහිට කොට නොගෙන, ස්වයං ඤාණයෙන්ම අවබෝධ රාශියකින් පිදුම් ලැබූහ. එතෙක් මෙතෙක් ලෝකයේ ගෞරව උපාධි සිය ගණනක් ලබා ගත් එකම ශ්‍රේෂ්ඨ ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පමණකි. බුදුන් වහන්සේ තරම් ගෞරව නාමයන්ගෙන් පිදුම් ලත් වෙනත් කිසිම මනුෂ්‍යයෙක් මනුෂ්‍යයන් අතර පමණක් නොව දිව්‍ය ලෝක වල දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ද පහළ වී නැත. බුදුරදුන් යන වචනයට පරියාය නාම සියයකටත් වැඩිය පවතී. උන්වහන්සේ ලෝකයාගෙන් ලද එම ගෞරව නාම ලියන්නට ගියහොත් පිටු ගණනක පොතක් ලියන්නට සිදුවෙයි. එවැනි ශ්‍රේෂ්ඨ උත්තමයකුගේ පිළිවෙතින් බැහැර වී, භාවනා කර සත්‍ය අවබෝධ කරගන්නට යමෙක් උත්සාහ කරනවා නම්, එතරම් මෝඩ උත්සාහයක් තවත් නැත.

බුදුරජාණන් වහන්සේට සත්‍ය අවබෝධ කර ගැනීමට උපදෙස් හෝ මාර්ගය කියා දීමට සමත් කිසිම ගුරුවරයෙක් එකල නොසිටියේ ය. එවැනි දහමක් ද නොපැවතියේ ය. එහෙත් වත්මනයෙහි බුදු දහම අදහන අයට එම ධර්මය අවබෝධ කරගැනීමට මාර්ගය හා මඟ සලකුණු ද ඇත. එම නිර්මල බුදු දහම වෙනුවට ජෛන, හින්දු, චීන, ජපන්, ආදී අන්‍ය යෝගී භාවනා ක්‍රම හා බෞද්ධ සමථ, විදර්ශනා භාවනා ක්‍රම මිශ්‍ර කර ගැනීම තුළින් බෞද්ධ භාවනා ක්‍රමයේ පොටවල් මාරුකර ගෙන ඇති බව පෙනෙයි.

භාවනා ප්‍රගුණ කිරීමට වෙර දරන බෞද්ධ පිරිස් ද තමන් වඩන්නේ සමථ භාවනාව ද නැතිනම් විදර්ශනා භාවනාව ද යන්න පවා තෝරා බේරා ගන්නේ නැතිව එම ක්‍රම දෙකම කලවම් කරගෙන භාවනා කිරීමට යාමෙන් සිත සමාධි ගතවන්නේවත් ප්‍රඥාවට වැඩෙන්නේවත් නැත. විවිධ යෝග භාවනා ක්‍රම සඳහා භාවිතා කරන හුස්ම ගැනීමේ හා හෙළිමේ ක්‍රියා වලියම බෞද්ධ භාවනා කර්මස්ථානයක් ලෙස යොදාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උප දේශනය වූයේ “ආනාපානා සති යස්ස පරිපුණ්ණ සුභාවිතා අනුපුබ්බං පරිචිතා යථා බුද්ධේන දේසිකා සො ඉමං ලොකං පභාසෙති අබ්හා මුත්තොට චන්දිමානි.. යනුවෙන් ආනාපානා සති භාවනාව පරිපූර්ණව යහපත උදෙසා භාවිතා කරන්නේනම් අනුපිළිවෙලින් ප්‍රගුණ කොට ගන්නා ලද්දේ නම් ඒ යෝගාවචරයා පසලොස්වක පෝය දාට වලාකුලෙන් තොර වූ අහසේ බබළන පූර්ණ චන්ද්‍රයා සේ තමාගේ අධ්‍යාත්මය සහිත වූ ලෝකය (සිත, කය) තුළ අවිදු ඝණාන්ධකාරය පලවා හැර බබලවා ගන්නේ යනුවෙනි.

පල්ලංකං අකුජිත්වා -උජුංකායං පනිධාය
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා

නිසි දතී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ආනාපාන සතිය, සමථ භාවනාවක් වශයෙන් හෝ විදර්ශනා භාවනාවක් වශයෙන් වැඩීමට පෙර ඉහත දේශනාවට අනුව උඩුකය කෙලින් තබාගෙන නාසිකාවේ අග සතිය පිහිටුවාගෙන ස්වාභාවිකව ශරීරයට ඇදගන්නා හා ශරීරයෙන් බැහැරව යන්නා වූ වාතය ගැන පමණක්ම අවදානය යොමුකරගෙන සිටිය යුතු ය.

බුදු සසුනෙන් බැහැර වෙනත් යෝගීවරු මෙය නොයෙක් ආකාරයෙන් ප්‍රගුණ කිරීමේ ක්‍රම උගන්වා ඇත. අද වන විට බුදු සසුනෙන් පරිභාහිර යෝග භාවනා ක්‍රම හා බෞද්ධ භාවනා ක්‍රම කලවම් කරගෙන බොහෝ දෙනෙකු භාවනා කරන නිසා, චිත්ත සමාධිය ඇතිවීම හෝ ධ්‍යානාංග පහළවීමක් කරා යෑමට වැඩි පිරිසකට නොහැකි වී ඇත.

සො සතොව අස්සසති - සතොව පස්ස සති යනුවෙන් බුදුරජාණන් වහන්සේ උගන්වා ඇත්තේ සමාධියක් ඇති කර ගැනීමට නම් ආශ්වාස කිරීමත් එසේම ප්‍රශ්වාස කිරීමත් දෙස අඛණ්ඩව සතිය පිහිටුවා ගෙන සිටින ලෙස ය. මේ සඳහා සති බලය මිස, වෙනත් කිසිම ප්‍රයත්නයක් අවශ්‍ය නොවේ. ශාරීරික, පාරිසරික, දේශගුණික, විපර්යාසයන්ට අනුව හුස්මේ දිග කෙටි, සියුම්, ගොරෝසු, පහසු අපහසු ආකාර තේරුම්ගෙන ආශ්වාස ප්‍රශ්වාස ලක්‍ෂණ හඳුනා ගන්නවා විනා දිග හුස්ම කෙටි හුස්ම ආදී වශයෙන් හුස්ම වාරයෙන් වාරයට එහි ලක්‍ෂණ හා ගුණාංග මෙනෙහි කිරීමට නොයා යුතු ය. එසේ බෙද බෙදා මෙනෙහි කරන්නට ගියහොත් එය ආනාපානා සතිය වැඩීමක් නොව, විදර්ශනාවක් බවට පත්වෙයි. භාවනා කර හොඳ පළපුරුද්දක් හෝ සංසාරිකව රැගෙන ආ භාවනා කුසලයක් නැතිව එක්වරම විදර්ශනා භාවනාවට යොමුවීම මඟින් සන්දෘෂ්ඨික ප්‍රතිඵල ලබා ගැනීමට අසීරු වෙයි. එනිසා ආනාපානා සතිය වඩන්නේ චිත්ත සමාධිය ඇති කර ගැනීමට පාදක වන සමථ භාවනාවක් වශයෙන් ද නැතහොත් විදර්ශනා ඤාණය පහළ කරගෙන සත්‍යාවබෝධය ලබාගැනීමට කරන විදර්ශනා භාවනාවක් වශයෙන් ද යන්න මුලින්ම අරමුණු කර ගත යුතු ය. එසේ නැතිව භාවනා කරන්නන් වාලේ කිරීමත් භාවනා වාක්‍ය කියන්නන් වාලේ කියව කියවා සිටියත් උසස් ප්‍රතිඵලයක් අතිවිඳ ගන්නට ලැබෙන්නේ නැත. භාවනා කරන්නට තබාගත් කමටහනින් බැහැරව සිත විසිරී නොයා තබා ගැනීමට වීරිය කළ යුතු ය.

උපට්ඨිත සතිස්සාහං භික්ඛවේ ආනාපානා සතිං වදාමි නො මුට්ඨසස්වස්ස (එළඹ සිටි සිහිය ඇති කෙනාට ආනාපානා සතිය වැඩෙන්නේ යැයි දේශනා කරමි. සිහිය පිහිටුවා නොගෙන මුලාවූවන්ට ආනාපානා සතිය නොවැඩෙයි. මෙකී දේශනාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයකි. සතියෙන් තොරව කොතෙක් භාවනා වාක්‍ය කියව කියවා සිටියත් හඬ නොනඟා සිත සිතා සිටියත් සතියෙන් තොරව සිටියහොත් චිත්ත සමාධියක් ඇති නොවේ.

“සො සතොච අස්සති සතොච පස්සතී” යන බුද්ධ භාෂිතයට අනුව සිහියෙන්ම ආශ්වාස හා සිහියෙන්ම ප්‍රාශ්වාස කරන්නේ කෙසේ ද? මින් අදහස් කරන්නේ සිය කැමැත්තෙන්, උත්සාහයෙන් හෝ බලයෙන් හුස්ම ගැනීම හෝ හෙළීම නොකර ස්වභාවයෙන්ම ශරීරයට ඇතුළුවන හා ශරීරයෙන් පිටව යන හුස්ම ගැනම සිත රඳවා ගෙන, ඉන් බැහැරට යෑමට නොදී සිත රැකගෙන සිටීම ය. “මා දැන් ආනාපාන සතිය වඩමින් සිටිමි” යන සිහිය මත ම සිටිය යුතු ය. එම අරමුණ මදකට හෝ අමතක වුවහොත් සිතට වෙනත් අරමුණු ඇතුළු වී සිත විසිර යයි.

“පරිමුඛ්ඛ සතිං උපට්ඨපෙත්වා” යැයි දේශනා කොට වදාළ පරිද්දෙන් නාසිකාව අග හුස්ම ස්පර්ශ වන තැන සංවේදී වන ආකාරය දැනෙන්නට වෙයි. තවදුරටත් එම අරමුණේම සිහිය පිහිටුවා ගෙන සිටින විට,

“සබ්දකාය පටිසංවේදි අස්ස යිස්සාමි සික්ඛති

සබ්බකාය පටිසංවේදි පස්ස යිස්සාමි සික්ඛති” යන අවස්ථාව තේරුම් ගැනීමට හැකි වෙයි. එනම් ආශ්වාසයේ ස්වභාවය හෙවත් රිද්මය කෙටි වුවත් දිග වුවත් එම දෙයාකාරයේම ආරම්භය, පැවැත්ම, අවසානය යන අවස්ථා තුනම ප‍්‍රකටව දැනෙන්නට වෙයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස යන දෙකේ සම්පූර්ණ ක්‍රියාවලියට අනුගත වී, සංවේදීවීම, ‘සබ්බකාය පටිසංවේදී’ වින්දනයට අනුගත වීමෙන් ඇතිවන සංහිඳියාව හෙවත් හික්මීම වන්නේ ය.

සබ්බකාය පටිසංවේදී වනවාය කියන්නේ, සිතේ විසිරෙන ගතිය නැතිව යෑමට ය. සිත විසිර යනවා නම්, හුස්ම රැල්ලේ ආරම්භය, පැවැත්ම, අවසානය යන අවස්ථා තුන සංවේදීව දැනෙන්නේ නැත. සිතේ විසිරෙන දඟලන නලියන ගතිය නැතිවී සංසිඳීම ඇතිවන විට සමාධි නිමිති පහළ වෙමින් පෙනෙන්නට වෙයි.

නිමිති පහළවීම

භාවනා යෝගියෙකුට පෙනෙන නිමිති ආශ්චර්යයක් හෝ විශ්මයක් නොවේ. සිතක් යනු රූප මාධ්‍ය කොට ගත් ප්‍රකාශන මාධ්‍යයකි. සිත රූප මාධ්‍ය කොට ගත් සඤ්ඤා තුළින් වේදනා උත්පාදනය කර දෙන්නකි. නැති නම් සිතක භාෂාව රූප මෙනෙහි කර දීම හෝ මවාපෑමයි. ඇස, කණ, දිව, නාසය, ශරීරය, මනස යන ආයතන හය සමග ස්පර්ශ වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන බාහිර අරමුණු හා ගැටුණු පසු ඊට අදාල කලින් දැන අසා විඳ ඇති උපාදාන රූප හෝ කලින් ගෝචරව නොතිබූ දෙයක් නම් ඊට අදාළ මනෝ රූප මවා ගැනීමක් හෝ සිදු වෙයි.

උදාහරණයක් වශයෙන් දිව්‍ය ලෝකයක් ගත් විට දිව්‍ය ලෝක සියැසින් දුටුවකු නැතත්, මනස තුළ දිව්‍යා ලෝක සංකල්පයට අදාළ මනෝරූප පහළ වෙයි. මේවා ඒ ඒ පුද්ගලයන් දිව්‍ය ලෝක ගැන අසා දැනගෙන සිටි කරුණු පාදක කර ගෙන ඇති වෙයි. දිව්‍යලෝක ගැන කිසිවක් අසා නොදැන සිටි අයකුට වුවත් ඔහුටම ආවේනික වූ මනෝමය දිව්‍ය ලෝක චිත්තරූප මැවී පෙනෙයි.

මෙයාකාරයෙන්ම කිසියම් අරමුණක සිත පිහිටුවා ගෙන භාවනා කරන අයකුට ද එම භාවනා කමටහන ඔහු විසින් ග්‍රහණය කර ගන්නා ආකාරවලට අනුව යම් යම් නිමිති පහළවීමක් සිදු වෙයි. භාවනා පිළිබඳ කිසිවක් නොදන්නා භාවනා නොකළ අයකුට මේ දේවල් කියවන හා අසන විට දී විහිළුවක්, පිස්සු විකාරයක් ලෙස හැඟෙන්නට පුළුවන. එහෙත් සත්‍යය නම් භාවනා කරන විට දී ඒ ඒ සමාධි තල වල දී නිමිති පහළවීම, සත්‍ය වශයෙන්ම සිදුවන මානසික ස්වභාවයක් බවයි.

ආනාපාන සතිය වඩන විට දී ද වාතය නැතිනම් සුළග දෑසට නොපෙනෙන දෙයක් වුවත් එම අරමුණ කරනකොට ගෙන යම් යම් වර්ණ පෙනෙන්නට පටන් ගනී. මෙසේ අලු පාට, සුදු පාට, නිල්, කහ, කොළ, තැඹිලි ආදී වර්ණ පෙනීම සිදු වෙයි. උද්ගහ නිමිති පහළවීමෙන් පසු පටිභාග නිමිත්ත පහළවීම සිදු වේ. පටිභාග නිමිත්තේ ස්වභාවය වන්නේ කලින් දුටු වර්ණය වෙනුවට කැඩපතක් මෙන් වඩ වඩාත් පැහැදිලි වර්ණ පෙනෙන්නට පටන් ගැනීමයි. මෙම අවස්ථාවේ දී සතිය පැවතීම හේතු කොට ගෙන පංච නීවරණ තදංග වශයෙන් යටපත් වී පැවතීම නිසා තව දුරටත් ආනාපාන සතිය මතම පිහිටා සිටින විට උපචාර සමාධිය පහළ වෙයි.

උපචාර සමාධියට පත්වීමේ දී පංච නීවරණ විෂ්කම්භනය වීම හේතු කොට ගෙන සිතට දර්ශනය වෙමින් පැවති උද්ගම නිමිත්ත ඉතා පැහැදිලිව ප්‍රභාෂ්වරව දර්ශනය වෙයි.

මෙම පටිභාග නිමිත්ත පිරිසුදු පුළුන් වළාකුළක්, සඳ මඩලක්, තරු පොකුරක්, මල් ගොඩක් ආදී වශයෙන් යෝගියා ගේ සංජානනයට අනුරූපව විවිධ ආකාරයෙන් දර්ශනයවීම සිදු වෙයි. මෙම මොහොත එළඹෙන අවදිය වන විට, සිත ශාන්ත භාවයට පත් වෙයි. ප්‍රණීත සුවයක් දැනෙයි. ශරීරයක් තිබේද කියාවත් නොදැනී යයි. සිත තුළ කිසිම බරක් නැති බවක්, සැහැල්ලුවක් දැනෙයි. සියලු බැඳීම් වලින් නිදහස් විමුක්ති සුවය අත්විඳ ගැනීමට හැකි වෙයි.

මෙසේ ශරීරයටත් සිතටත් මිහිරක් සුවයක් දැනී පිරී ඉතිරී යන එම සුවයට නොඇලී සිටින්නට අසමත් වුවහොත්, මෙම සමාධිය පිරිහී යයි. මෙම අවස්ථාවේ දී නොසැලී ශාන්තව සිහි නුවණින් යුතුව භාවනා අරමුණේම සිටිය යුතුයි. මෙම සංසිඳීම වැඩි වේලාවක් පවතින සේ ස්ථාවර කර ගත යුතුය. මේ සඳහා නැවත නැවත භාවනා කරමින් වැඩි පුහුණුවක් ලබමින්, භාවනාව වශී භාවයට පත් කර ගත යුතු ය. මෙම සම්මා සමාධි කුසලතාව හොඳින් පිහිටියාට පසුව ප්‍රථම ධ්‍යානය ආවර්ජනා කළ යුතු ය.

භාවනා කරන අය ඉහත සඳහන් මූලික සිද්ධාන්ත මත නොපිහිටා මං මුලා වී අයාලේ යන්නවුන් ලෙස භාවනා කරන්නට යෑමෙන්, කායික, මානසික විඩාවක් මිසක සුවයක් නොලැබී යයි. බෞද්ධ භාවනා ක්‍රමවේදවලට අනුව භාවනා කරන අය දිනෙන් දින රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල සිතෙන් ක්‍රම ක්‍රමයෙන් බැහැරවීම නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, මමත්වය ප්‍රහීණ වෙමින්, සැප දුක, නින්දා, ප්‍රශංසා, ලාභ අලාභ, යස, අයස ආදී අටලෝ දහමින් කම්පාවට හෝ උද්දාමයට පත් නොවී නොසැලී සිටින්නන් බවට පත් වෙති. එසේ වන්නේ දහමට අනුව ඔහු තුළ ඇතිවන යථාවබෝධය හේතුවෙන්ම ය.

වර්තමානයේ භාවනා කරන අය තුළ ඉහත සඳහන් ගුණාංග වර්ධනය වී තිබේ ද, නැද්ද යන්න ගැන නිවරැදි තක්සේරුවක් කර ගත හැකි වන්නේ එසේ භාවනා කරන අයටම තම හෘදය සාක්ෂිය තුළින්ම ය. එසේ ධම්ම විචය බොජ්ජඬංගයට අනුකූ®ලව තම තමන් විසින්ම තමා ගැන විමසා බලා, පොටවල් වරද්දාගෙන ඇත්නම්, ඒවා නිවැරැදි කර ගැනීමට උත්සාහ කරත්වා. බුදුරදුන් වදාළ දහම අකාලිකයි. ඕපනයිකයි. එනම් සෑම කලකදීම, සෑම දෙනා උදෙසාම එය විවෘතව පවතී. එහි සැඟවුණු කිසිවක් නැත. එබැවින් බුද්ධ දේශනාවෙන් බැහැරව තම තමන්ට සිතෙන ක්‍රම උඩ භාවනා කිරීමට යෑමෙන්  හෝ භාවනා කරන්නට උපදෙස් දීමෙන්, බෞද්ධ භාවනා ක්‍රම තුළින් ලැබෙන සුවය හෝ ප්‍රඥාවේ දියුණුව ලබා ගත නොහැකි වන බව තේරුම් ගත යුතු ය.

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]