UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අරටුවක් නැති කෙසෙල් කඳක් වැනි චේතනාව

ලොව පවතින සියලු ශක්ති අතුරෙන් අසිරිමත්, විශ්මිත හා අධිකම බල ශක්තිය චිත්ත ශක්තියයි. එය මෙහෙයවා භෞතික ලෝකයේ අනෙකුත් ශක්ති සිසාරා යාමේ ඵලයක් හැටියට නවීන විද්‍යාව හා එමගින් නිර්මිත විශ්මිත මෙවලම් බිහි විය. ඉදිරියටත් තව බොහෝ දේ නිමැවෙනු ඇත. චිත්ත ශක්තියෙන්, චිත්ත ශක්තිය තුළට විනිවිද බැලීමේ ඵලයක් හැටියට සියලු පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ හට ගැන්ම, පැවැත්ම හා නැතිවීම පිළිබඳ පරම විශ්ව සත්‍යය ලොවට විවෘත විය. එහි පරම ස්වභාවය කෙබඳු ද යත් අනාගතයේ දී අලුතෙන් තවත් යමක් සොයා ගන්නට හෝ එකතු වන්නට දෙයක් නැත. ඒ සත්‍යය නිරාවරණය වන්නේ සම්බුදුවරයෙකුගේ පහළවීමෙන් පමණකි.

කෙනෙක් මේ චිත්ත ශක්තිය විද්යුත් ශක්තියක් ලෙස ගනිති. නැතහොත් සත්ත්වයා තුළ ස්ථිරව පවත්වා විශ්ව ශක්තියක් ලෙස හඳුන්වති. සත්ත්ව ශරීරය තුළ පවත්නා වූ භවයෙන් භවයට ගමන් කරන්නා වූ ආත්මයක් ලෙස පිළිගන්නා අය ද වෙති. නවීන විද්‍යාත්මක චින්තනයට අනුව “චිත්ත තරංග“ න්‍යායන් මගින් ද එය විස්තර කෙරෙයි.

අපගේ සිරුරෙන් මෙකී සිත පහව ගිය කල්හි, සියලු ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන කුදු මහත් සියලු ක්‍රියා නවතී. පහව ගියේ යැයි කිය විට, සිත පළමු කයෙන් වෙන් වී වෙනත් රූපස්කන්ධයක් කරා ගියේ යැයි නිතැතින් ම අපට සිතෙයි. එසේ සිතූ ශාස්තෘවරු ද සිටියහ. මේ සංකල්පය දරා සිටි “සාති” භික්ෂුව වරෙක බුදුරදුන්ගේ දෝෂ දර්ශනයට ද ලක් විය. යම් කයකින් සිත ස්ථිරව වෙන් වූයේ ද ඒ මොහොතේ පටන් කයෙහි සියලු කොටස් ක්‍රමයෙන් සතර මහා ධාතූ®න් සමග එක්වන්නට පටන් ගනී. සිත නැති කළ මේ කයට කිසිවක් කළ නොහැකි ය.

අනෙක් අතට සිතට ද කළ හැකි වන්නේ අරමුණු ගැනීම පමණය. ඕලාරික හෝ සියුම් හෝ රූප කයක් නොමැතිව සිතක පැවැත්මක් ද නැත. සිත කය දෙක එකිනෙකට ප්‍රත්‍යව පවතී. පංචේන්ද්‍රියන්ට මෙන්ම සිතට ද ඉන්ද්‍රියක් හැටියට ක්‍රියා කළ හැකි බව බුදු දහමේ ඉගැන්වෙයි. පංචද්වාරාවජ්ජන අරමුණු, ඒවායේ ගැටීමෙන් බැහැර වූ වෙනත් අවස්ථාවල මනෝද්වාරාවජ්ජන ලෙස යළි ගැනීමේ ක්‍රියවලිය ද පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන ධ්‍යාන අරමුණු ආදිය ගැනීමේ ක්‍රියාවලිය ද සිතෙන් කෙරෙන නිසා එමගින් ඉන්ද්‍රියක කාර්ය ඉටු කෙරේ.

අරමුණු ගැනීම පමණක් කළ හැකි, ඊට එහා කිසිවක් කළ නොහැකි, සිතට ක්‍රියාකාරී ශක්තියක් හෙවත් ඉඳුම්, හිටුම්, යාම්, ඊම්, කියුම්, කෙරුම් ආදී ක්‍රියා රාශියක් කිරීමේ හැකියාව ලැබෙන්නේ කෙසේද යන්න අබිදහමෙහි පැහැදිලි කර දක්වයි. කායික, වාචසික හා මානසික සියලු ක්‍රියා සිදු කිරීම සඳහා සිතට ජවය දෙන, අනුබල දෙන, සිත මෙහෙයවනු ලබන සක්‍රිය ද්විතීයික ශක්තියක් ඇත. ඒ ශක්තිය “චේතනා” නමින් හැඳින්වෙන චෛතසිකයයි. එය දෙපනසක් වූ චෛතසිකයන්ගෙන් එකකි. චෛතසික යනු සිත සමගම ඉපදෙන (ඒකුප්පාද), සිත සමගම නැතිවන (ඒක නිරෝධ), සිත ගන්නා අරමුණට ම එල්ලවන (ඒකාරම්මණ), සිත ඇලෙන තැනෙහි ම ඇලෙන (ඒකා ලම්බන) ශක්තියකි. සියලු සිත්වල යෙදෙන සබ්බ චිත්ත සාධාරණ චෛතසික වන ඵස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතීන්ද්‍රිය, මනසිකාර යන හතෙන් ප්‍රධාන චෛතසිකය චේතනාය. ෂට් ඉන්ද්‍රියයන්ගෙන් ගැනෙන අරමුණු අනුව, අනෙකුත් චෛතසිකයෝ විවිධත්වයෙන් යුතුව අදාළ සිත්වල යෙදෙත්.

මෙහි දී විමසුමට ගැනෙන්නේ කර්ම කතාවේ ප්‍රධාන තැන ගන්නා චේතනා චෛතසිකයයි. මෙය බැහැරින් සිතට එළඹෙන ශක්තියක් නොවේ. එයට කුසලාකුසල ගති ලක්ෂණ නැත. ලෝභ චෛතසිකය අකුසල් එකකි. එය කර්මත්වයට පත්වන්නේ චේතනා චෛතසිකය සමග එක්වීමෙනි. එවිට උපදින සිත අකුසල් සිතකි. අදෝස (මෙත්තා) චෛතසිකය කුසල් එකකි. මෙත්තාවත් චේතනාවත් එක්ව උපදින විට එම සිත කුසල සිතකි. සිත කර්මත්වය පත් කිරීමේ හැකියාව සියලු සිත්හි යෙදෙන ඵස්ස, වේදනා, සංඥා, ඒකග්ගතා, ජීවිතීන්ද්‍රිය, මනසිකාර යන චෛතසිකයන්ට නැත. කායික, වාචසික හා මානසික ක්‍රියා සිදු කිරීමේ කර්තෘත්වය ගන්නේ චේතනා චෛතසිකයයි. එසේ හෙයින්,

“චේතනහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කයේන වාචාය මනසා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

පංචස්කන්ධ විභාගයේ දී සංඛාර නමින් දැක්වෙන්නේ මෙකී චේතනාවයි. ඵස්ස, වේදනා, සංඥා ආදිය තම කාර්යයන් ද ඉටු කරමින් ඊට සහාය වන නමුත් ඒවා කර්ම ලෙස නොදැක්වේ. චේතනාව විවිධ ක්‍රියා සිදු කරන්නේ යයි කීවත් ඒවායින් තොරව ඒවායේ සහාය නැතිව චේතනාව නූපදී. අනෙක් අතට චේතනාව උපදින විටම ඒවායේ උපත ද සිදු වෙයි. මෙහි දී චේතනාව ප්‍රධානත්වයෙන් ගැනීමට හේතුවක් ඇත. අනෙකුත් චෛතසිකයන් ඒ ඒ ක්‍රියාවන්ට යොමු කරවනු ලබන්නේ චේතනාව විසිනි. එය තමන්ගේ කාර්යය ද ඉෂ්ට කරමින් අනෙකුත් චෛතසිකයන් ඒවාට අනුරූප කාර්යයන්හි යොදවයි. ඒ නිසා චේතනා චෛතසිකයට අනෙකුත් චෛතසිකයන් ක්‍රියාත්මක කරවීමේ හෙවත් අභිසංස්කරණය කිරීමේ ගුණය ඇත. (ඛජ්ඛ්නීය සූත්‍රය - සං. නි.)

චේතනාව නො යෙදී තිදොරින් ක්‍රියා බොහොමයක් වෙයි. ඇවිදින විට අප නොදැනුවත්වම පයට පෑගී කෘමීන් මරණයට පත් වෙයි. ඒ කෘමීන් පිළිබදව ඛ්සිදු අරමුණක් පංචේන්ද්‍රියන්ගෙන් නො ගැනේ. එ බැවින් ඒ ක්‍රියාව සිදු වූ බවක් නොදැනේ. මේවා අචේතනික ක්‍රියා ලෙස ද හැඳීන්වෙයි.

මනා පුහුණුවක් ලත් අයෙක් යතුරු ලියනයෙන් ලිපියක් පිටපත් කරන විට ඔහුගේ ඇඟිලි තුඩු ස්වයංක්‍රීයව චේගවත්ව අතුරු පුවරු මතට යැවෙයි. ගිනි අඟුරක් පෑගුනු විට පය ක්ෂණිකව ඉවතට ගැනෙයි. දොරක් අනපේක්ෂිතව මහ හඬින් වේගයෙන් වැසුනු විට තිගැස්සෙයි. මෙවැනි ක්‍රියා සිතා මතා නොකරන සේ ගැනුනත්, අචේතනික ක්‍රියා නොවේ. විපාක පිණිස කසස් නොවන නිසා කර්මත්වයට නොගැනුනත්, ඒව පිළිබඳ අරමුණු පංචේන්ද්‍රියන්ගෙන් ගන්නා නිසා සචේතනික වේ. බුදු, පසේබුදු, මහ රහත් යන සියලු උතුමන්ට ද රූප පෙනේ. ශබ්ද ඇසේ. රස දැනේ. මක්නිසාද යත් සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වය පවතින බැවිනි. නමුත් ඒ අයට උපදින චේතනාව සකර්ම හෙවත් විපාක පිණිස සකස් නොවේ. මේ අනුව සකර්මක නොවන සචේතනික ක්‍රියා පවතින බව පැහැදිලිය. චේතනාව විපාක පිණිස සකස්වීම කෙසේ වන්නේ ද යන්න දහමෙහි මනා කොට පැහැදිලි කෙරේ.

සත්තට්ඨාන හා උපාදාන පරිවත්ත සූත්‍රයන්හි දැක්වෙන පරිදි, ෂට් ඉන්ද්‍රියයන්ගෙන් ගනු ලබන අරමුණු ප්‍රකාර, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, ඵොට්ඨබ්බ සංචේතනා හා ධම්ම සංචේතනා යනුවෙන් මෙම වේදනාව කොටස් කර දැක්වේ. කෙළෙස් ක්ෂය නොකළ පෘථග්ජන පුද්ගලයා තුළ, චේතනාව කර්මත්වයට පත්කරවන මහ බල ශක්තියක් ඇත. සත්ත්වයා සංසාරයෙහි චරණය කරවන්නේ මේ ශක්තිය මගිනි. මෙය සංසාර මන්දිරය සකස් කරන වඩුවා මෙනි. රෝදයක් චලනය වීමට උපකාර කරන ගරාදි මෙනි. මේ ශක්තිය තෘෂ්ණාවයි. සියලු කායික, වාචසික, මානසික ක්‍රියා විපාක පිණිස කර්මත්වයට පත් කරවනු ලබන්නේ මෙකී තෘෂ්ණාව මගිනි. බුදු, පසේබුදු, මහ රහත් උතුමන් තෘෂ්ණාව මුළුමනින්ම ක්ෂය කළ ඇත්තෝ බැවින් උන්වහන්සේලාගේ සියලු සචේතනික ක්‍රියා විපාක පිණිස වූ කර්මත්වයට පත් නොවේ. (ඛීණං පුරානං නවං නත්ථි සම්භවං - රතන සූත්‍රය). එනිසා ඒ අය තුළ පහළ වන සිත් ක්‍රියා සිත් ලෙස හැඳින් වේ.

තෘෂ්ණාව වේදනාව සමග එක්ම පංච උපාදානස්කන්ධයන් අභිසංස්කරණය කළ විට විපාක පිණිස කර්ම සකස් වේ. මේ පිළිබඳ පැහැදිලි විවරණයක් ධීජ සූත්‍රයේ දේශිතය. කර්මය නමැති කෙතෙහි විඤ්ඤාණය රෝපණය වීමට තෘෂ්ණාව ජලය සපයන බව එහි දැක්වේ. උදාහරණයක් හැටියට ගතහොත් ඇසට රූපයක් ගැටුනු විට සැනෙකින් චක්ඛු විඤ්ඤාණය උපදී. නමුත් එම අරමුණ හුදු රූපයක් පමණක් මිස, ඒ කුමක්ද? කෙසේද යන ගුණාත්මක වැටහීමක් චක්ඛු විඤ්ඤාණයට නැත. ඇසයි, රූපයයි චක්ඛු විඤ්ඤාණයයි එකතුවීමෙන් ස්පර්ෂයත්, අනතුරුව වේදනා - සංඥා චෛතසිකයන් මගින් එම රූපය ගුණාත්මකව හඳුනා ;ගන පෙර කී පරිදි චේතනාවේ (සංඛාර) අභිසංස්කරණයට ලක් වේ. එහි දී එම චන්ඛු විඤ්ඤාණය කර්මත්වයට පත් කෙරේ. විඤ්ඤාණය රෝපණය වන්නේ කීවේ එම ක්‍රියාවලියටය. තෘෂ්ණාව මේ රෝගයට සැපෙන ජලයයි. වැකි මගින් ක්‍රමයෙන් මෙසේ සඳහන් කෙරුණත්, මේ ක්‍රියාවලිය කිසිදු උපකරණයකින් මැනිය නොහැකි ක්ෂණ කාලයකින් සිදුවන්නකි.

අරමුණක් ගැනීමෙන් හට ගැනෙන චිත්ත වීථියක, මෙම ක්‍රියාවලිය සිදුවන චිත්තක්ෂණ අස්ථාව “ජවන” නමින් හැඳින් වේ. මෙහි දී තෘෂ්ණාවේ බලපෑමෙන්, පංච උපාදානස්කන්ධයන් නැවත නැවත අභිංස්කරණය වීමෙන් හෙවත් උපාදානය වීමෙන් කයන් ද (කාය සංඛාර), වචනයන් ද (වචී සංඛාර) මනසින් ද (චිත්ත හෙවත් මනෝ සංචේතන සංඛාර) කර්ම රැස් කරන බව චුල්ල වේදල්ල, විභංග ආදී සූත්‍රවල දැක්වේ. චේතනාව මෙසේ විපාක පිණිස සකස් වූ විට ඉහත පරිදි සංඛාර (සංස්කාර) ලෙසම නම් කෙරේ. පටිච්ච සමුප්පාදයෙහා “සංඛාර” ලෙස දැක්වෙන්නේ එයයි. (අවිජ්ජා පච්චයා සංඛාරා) තණ්හාව ක්ෂය කළ විට මේ ක්‍රියා පටිපාටිය අවසන් වෙයි. එනම් සංඛාර පච්චයා විඤ්ඤාණං යන තැන දැක්වෙන නැවත උපතකට හේතු වන ප්‍රතිසන්ධි විඤ්ඤාණයක් හට නොගනී. “විසංඛාර ගතං චිත්තං, තණ්හානං ඛය මජ්ඣගා” යනු බුද්ධ උදාන පාඨයයි.

මේ අනුව අපට පෙනී යන්නේ චේතනාව යනු විශාල කාර්යයක් ඉටු කිරීමෙහි ලා කර්තෘත්වය දරන ශක්තියක් ලෙසටයි. බුදුරජාණන් වහන්සේ චේතනාව උපමා කර ඇත්තේ කෙසෙල් කඳකටය. (චේතනා කදලූපමා) කෙසෙල් කඳ කෙසේද යන්න නොදත් කෙනෙක් එහි පට්ටා ගලවමින් අරටුව සොයා ගියොත් ඔහුට කවරදාකවත් එවැන්නක් ලැබෙන්නේ නැ. ඔහු එසේ කරන්නේ නැති දෙයක් ඇතැයි යන හැගීම නිසාය. චේතනාව ද එවැන්නකි. මම කරනවා, මම කියනවා, මම සිතනවා ආදී වශයෙන් ගනු ලබන ක්‍රියාවන් කරන අයිතිකරුවෙකු නිර්මාණය කරන්නේ මේ චේතනාව මගිනි.

එනිසා පෘථග්ජන පුද්ගලයා චේතනාව නිර්මාණකාරකයකු ලෙස ගැනීමට පෙළඹෙයි. චේතනාව මමය, මගේය කියා හෝ මම යනු චේතනාව කියා හෝ චේතනාව ඇත්තේ මා තුළ ය කියා හෝ මා සිටින්නේ චේතනාව තුළ ය කියා හෝ තමන්ගේ වසඟයේ පවත්වා ගත හැකි දෙයක්ය කියා හෝ ගැනීමට එහි කිසිත් නැත. චේතනාව ද උත්පාද, ඨිති, භංග යන අවස්ථා තුනට යටත් වූ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වූ ධම්ම නියාම ධර්මයකි. නමුත් පෘථග්ජන පුද්ගලයා ඉහත කී පරිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව එය ‘මම’ ය, ‘මගේය’ යන සංකල්පයෙන් ගෙන එය තමන් තුළ නිත්‍යව පවතින ශක්තියක් ලෙස ගනියි. එය චේතනාව පිළිබඳ සක්කාය දිට්ඨියයි.

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]