තාක්‍ෂණිකාධිපත්‍යය
ගල් යුගය, එඬේර යුගය ආදිය පසු කළ මිනිසා අද එළඹ සිටින්නේ
තාක්‍ෂණික යුගයට ය. නූතන තාක්‍ෂණික යුගයේ මිනිසා ගේ ජීවිතයට
දිනෙන් දින එකතු වන උපකරණ දෙස බැලූ විට ඔහු ඉතා වාසනාවන්තයෙකි.
ජංගම දුරකථනය නමැති බහුකාර්ය උපකරණය පමණක් වුව ද අප ගේ මේ
කියමන සනාථ කැරීමට ප්‍රමාණවත් වනු ඇත. අද දවසේ ජංගම දුරකථනය
පරිගණකයකි, දත්ත ගබඩාවකි, කැමරාවකි, ගුවන් විදුලි යන්ත්‍රයකි,
විදුලි පන්දමකි. මේ සියලු පහසුකම් කුඩා අත් දුරකථනයකින් ලබන්නා
වාසනාවන්තයකු නො වේ ද?
මේ තත්ත්වය තාක්‍ෂණිකාධිපත්‍ය යැයි හඳුන්වනු ලැබේ. ඇමරිකා
එක්සත් ජනපදයේ කැලිපෝනියා ප්‍රාන්තයේ විසූ ඉංජිනේරුවකු විසින්
1919 දී හඳුන්වා දෙන ලද තාක්‍ෂණිකාධිපත්‍යය
(Technocracy)
නමැති වචනයෙන් තාක්‍ෂණඥයන් ගේ පාලනයක් අදහස් කැරේ.
අනාගත ලෝකය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් විසින් පාලනය කැරෙනු
ඇතැයි මනෝරාජික සමාජවාදීන් විසින් කලකට පෙර අනාවැකි පළ කැර
තැබිණ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදීන් අත පවතින පාලන බලය
තාක්‍ෂණික විද්‍යාඥයන් අතට පත්වන බව මනෝරාජික සමාජවාදීන් ගේ
අදහස විය.
මනෝරාජික සමාජවාදීන් ගේ අනාවැකිය ඒ ආකාරයට ම සඵල නො වුව ද
තාක්‍ෂණිකාධිපත්‍යයට අප ගොදුරු වී සිටින බව වසන් කළ නො හැකි ය.
ජංගම දුරකථනය මෙයට කදිම උදාහරණයකි. අප රටෙහි ද වර්ධනය වෙමින්
පවතින විද්‍යුත් මුදල් සංස්කෘතිය (Electronic
Money Culture)යටතේ ජාතික හැඳුනුම්පත වන්නේ ජංගම දුරකථනය යි.
එ පමණක් නො ව ජනමත විමසුමකට දායකවීම, ආධුනික ගායනා තරගයකින් ජය
ගැනීම හෝ වෙනත් සංස්කෘතික කාර්යයක් සඳහා ද යතුර බවට පත් වී
ඇත්තේ ජංගම දුරකථනය ම ය. නූතන තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ
සාමාජිකයන් වන අප මුහුණ දෙන මේ යථාර්ථයෙන් පලායෑමට නුපුළුවන.
එහෙත් මේ ජයග්‍රහණ දෙස බලා තාක්‍ෂණිකාධිපත්‍යය නිසා අත් විඳින
පරාජයන් සැඟවිය යුතු නැත.
කෝටි දෙකකට අඩු ජනගහනයක් සහිත ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතය
මේ වසර අවසානය වන විට ලක්ෂ හැත්තෑවක් වනු ඇතැයි පැවැසේ. එ සේ
නම් මෙහි සමාජ බලපෑම පිළිබඳ ව අප බොහෝ සැලකිලිමත් විය යුතු ය.
ජංගම දුරකථන උපයෝගී කැර ගෙන සිදුවන සමාජ විරෝධී ක්‍රියා ගැන
අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ. විශේෂයෙන් ම නාගරික පාසල්
ආශ්‍රිත අත්දැකීම ඉතා අයහපත් ය. අසැබි දර්ශන නැරැඹීම සඳහා
අබ්බැහි වූ ශිෂ්‍යාවන් පිළිබඳ ව ද ලැබෙන තොරතුරු අනුව තත්ත්වයේ
බැරෑරුම්කම අපට වටහා ගත හැකි ය.
මෙහි දී කරුණු දෙකක් වෙත අප ගේ අවධානය යොමු විය යුතු ය. නූතන
තාක්‍ෂණය නිසි ලෙස පරිහරණය කළ නො හැකි වැඩිහිටි පරපුරක් යටතේ
මේ තරුණ පරපුර හැදී වැඩීම පළමුවැන්න ය. දෙවැන්න නම්, තාක්‍ෂණික
උපකරණ පරිහරණ දැනුම සමග ශික්‍ෂණය හා සාරධර්ම තරුණ පරපුර වෙත
ලබා නො දීම ය.
මේ අයහපත් තත්ත්වයෙන් අප ගොඩඑන්නේ කෙ සේ ද? අප ගේ ගොවිතැන,
කලාව හා ආචාර ධර්ම ආදී සියලු අංගයන් පෝෂණය පිණිස උපයෝගී කැර
ගත් බුදු දහම, තාක්‍ෂණික ශිෂ්ටාචාරයේ ප්‍රගතිය උදෙසා ද යොදා ගත
යුතු ය. එහෙත්, පන්සල නමැති සංස්කෘතික මධ්‍යස්ථානය ද
තාක්‍ෂණිකාධිපත්‍යයට ගොදුරු වන අයුරු නිහඬ ව බලා සිටීමට අපි
පුරුදු වී සිටිමු. ඒ පිළිබඳ ව කතා කැරීම ද දහමට නො ගැළපේ යැයි
අරුත් දක්වනු ඇත.
ධම්මපදයේ තෘෂ්ණා වර්ගයේ විසි දෙවන ගාථාවෙන් කියැවෙන මේ අදහස
මෙහි දී අවධාරණය කැරීමට කැමැත්තෙමු.
“උපයෝග පරිභෝග වස්තූහු අනුවණයා නසත්. ඒවා නිවන් සොයන්නන්
නසන්නට සමත් නො වේ. අනුවණයා වස්තු තෘෂ්ණාවෙන් අනුන් නසන්නා සේ
තමන් නසා ගනී.” |