මේ ගැනත් සිතන්න
පසුගිය ශුද්ධ පොසොන් පුර පසළොස්වක පොහෝ දින කතු වැකියෙහි අපි
මෙ ලෙස සටහන් කෙළෙමු
‘දෙවියන් වහන්සේ මරණයට පත් වූ බව නිවේදනය කළ ජර්මන් දාර්ශනික
පේරඩ්රික් විල්හෙල්ම් නීට්ෂේ (1844 – 1900), දෙවියන් වහන්සේ
ගේ මරණයෙන් ඇති වූ හිදැස පිරැවීම සඳහා මිනිසා දෙවියන් විය යුතු
යැයි ද යෝජනා කෙළේ ය. දෙවියන් ගේ කාර්ය භාරය වන මැවීම, නිර්මාණ
කරණය හා සදාචාර විනිශ්චය මිනිසා සියතට ගත යුතු බව ඔහු ගේ අදහස
විය. මේ සඳහා නීට්ෂේ විශ්වාසය තැබුවේ මනුෂ්‍ය ස්වභාවය ඉක්ම වූ
සුපිරි මිනිසකු නොහොත් උත්තර මිනිසකු කෙරෙහි ය. නීට්ෂේ ගේ එම
බරපතළ ප‍්‍රකාශය නිසා ඔහුට ඉමහත් ප‍්‍රසිද්ධියක් මෙන් ම විශාල
අපකීර්තියක් ද ලැබිණ. එ සේ වූව ද විසිවන සියවසේ බිහි වූ
ස්වාධීන මිනිසා, නීට්ෂේ විසින් දාර්ශනික කෙතෙහි වැපිරූ
අස්වැන්න ලෙස බටහිර විද්වත්හු දකිති.’
එ සේ සටහන් කැරීමට හේතුව, අප නීට්ෂේ ගේ අනුගාමිකයන් බවට පත්
වීම නො වේ. එහෙත් දෙවියන් ගේ කාර්ය භාරය වන මැවීම, නිර්මාණ
කරණය හා සදාචාර විනිශ්චය මිනිසා විසින් සියතට ගැනීම මානව
සංහතියේ ප‍්‍රගමණයට අවශ්‍ය කොන්දේසියක් යැයි අපි සිතන්නෙමු.
දේව වාදයෙන් බැහැර වූ සමාජය, උත්තර මිනිසුන්ගෙන් පිරී යනු
දැකීම අප ගේ පැතුම වන්නේ ය. මෙය හුදු පැතුමක් ලෙස පැවැතීම
ප‍්‍රමාණවත් නැත.
අප ගේ මේ කි‍්‍රයා කලාපය පැහැදිලි කැරීම පිණිස එක්තරා සෙන්
කතාවක් මෙහි උපුටා දැක්වීම මැනවැයි සිතේ.
එක්තරා, ධන කුවේරයකු සෙන්ගායි නමැති සෙන් ආචාර්යවරයා හමු වී තම
පරපුරට වාසනාව පිණිස හේතුවන ශ්‍රේෂ්ඨ ප‍්‍රකාශයක් ලියා දෙන ලෙස
ඉල්ලා සිටියේ ය. එය පරම්පරාවේ වස්තුවක් ලෙසින් සැලැකෙන්නට
සලස්වන බව ද ධන කුවේරා කීය.
කඩදාසියක් ගත් සෙන්ගායි තුමා එහි මෙ සේ සටහන් කෙළේ ය. “පියා
මැරේ. පුතා මැරේ. මුණුබුරා මැරේ.”
එය දැක ධන කුවේරයාට කේන්ති ගියේ ය. “මං කිව්වෙ අපේ පවුලේ
සත්තෝෂයට හේතුවන ශ්‍රේෂ්ඨ ප‍්‍රකාශයක් ලියා දෙන්න කියලයි.
තමුන්නාන්සේ මේ ලියපු විහිළුව මොකක් ද?”
සෙන්ගායි තුමා එය මෙ සේ පැහැදිලි කෙළේ ය.
‘මෙතැන කිසිම විහිළුවක් නැහැ. ඔබට කලින් ඔබේ පුතා මළොත් එය ඔබට
විශාල දුකක්. එ සේ ම ඔබේ මුණුබුරා, ඔබේ පුතාට කලින් මළොත් ඔබ
දෙදෙනාට එය ඉහිලුම් නො දෙන වේදනාවක්, ඉතින් ඔබේ පවුලේ හැම
පරම්පරාවේ ම මරණ මා ලියූ අනුපිළිවෙළට සිදුවුවහොත් එය මරණය
පිළිබඳ කිසියම් ස්වාභාවික ක‍්‍රමයක්. අන්න එහෙම සිද්ධ වෙනවාට
තමයි, නියම වාසනාව කියල කියන්නේ?
මරණය නමැති යථාර්ථය පිළිබඳ නිසි අවබෝධයකින් තොර ඒ ධන කුවේරයා
සෙන්ගායි තුමා ගේ දාර්ශනික අදහස විහිළුවක් ලෙස සැලැකීම ගැන අප
පුදුම විය යුතු නැත. ඒ මහා පරස්පරය නොමැති වී නම් පමණක් අප
පුදුම විය යුතු ය.
එම සෙන් කතාවේ සඳහන් ධන කුවේරයා මෙන්, යථාර්ථය විහිළුවක් හෝ
අපහාසයක් යැයි සිතා බුදුසරණට ප‍්‍රතිචාර දක්වන පිරිසක් ද
සිටිති.
එහෙත් ඒ කිසිදු ප‍්‍රතිචාරයක් මාධ්‍ය සදාචාරයට නො ගැළැපීම අපට
ඇති ප‍්‍රශ්නය යි. එක් පාඨකයකු තමන් ගේ මතය ප‍්‍රකාශ කැරෙන
කතුවැකියක් ලියන මෙන් නියෝග කැරීමෙන් නො නැවැතී එය ඉටු නො
කැරීමේ වරදට වෙඩි තබා මරා දැමීමට තීරණය කළ බව දන්වමින් අප වෙත
ලියුම් එවීමට පටන්ගෙන තිබේ.ඇතැම් භික්‍ෂූන් වහන්සේ, අපට
පිළිතුරු දිය නොහැකි ගුවන් විදුලි හෝ රූපවාහිනී වැඩ සටහන් වලදී
බුදුසරණ විවේචනය කැරෙති. නීට්ෂේට එරෙහි වූ ජර්මානුවන් මෙන්
හැසිරෙන කිසිවකු බෞද්ධයන් නො වන බව පමණක් මේ සියලු දෙනා ගේ දැන
ගැනීම පිණිස මෙහි සටහන් කැර තබන්නෙමු. |