[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

එදා සහ අද ඇසළ පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය

එදා සහ අද ඇසළ පෙරහර මංගල්‍යයේ සිරි අසිරිය

ඇසළ පෙරහර මංගල්‍ය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර මංගල්‍ය මුලින් ම ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301 - 328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය.

එතැන් පටන් සියලු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවල දී හැර, අන් හැම විටම, දළදා පෙරහර චිරාගත සාම්ප්‍රදායානුකූල ව නොකඩ කොට මහත් බැතියෙන් පැවැත්වූහ.

පොළොන්නරු සමයේ මහා පරාක්‍රබාහු රජු රජ ගෙදර පටන් යොදුනක් තැන් මඟ අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇළුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වු තොරන් කරවා ...... පුජාවට සුදුසු අන්‍ය වු දෙයින් ද, සරසා පෙරහර චමත්කාර ලෙස පැවැත්වීය.

දඹදෙණි රාජධානියෙහි ද පෙරහර වාර්ෂික ව පැවැත්විණි. දෙවැනි පරාක්‍රමබාහු රජු දවස පෙරහර පැවති අයුරු වංශකතාවන්ගෙන් හෙළිවේ. යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහර අලි ඇතුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොඩි, සේසත්, චාමර සහිත ව වීදි සංචාරය කළ බව කියැවේ.

කුරුණෑගල සමයෙහි රචිත දළදා සිරිත නමැති පොතෙහි සඳහන් ව්‍යවස්ථාවලට අනුව එවකට පෙරහර පැවති ආකාරය මෙසේ විස්තර වේ.

සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට ගමන් කරවා සුපිළිපන් මහ සඟන පිළිවෙළින් රථයෙහි බඳ පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩම කරවූහ”

දළදා සිරිතෙහි එන එම පෙරහර චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩ ව අද දක්වාත් පැවත ගෙන එයි.

කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියටත්, එතැන් සිට කෝට්ටේ රාජධානියටත්, ඉන් අනතුරුව සිතාවක රාජධානියේ දෙල්ගමුව රාජමහා විහාරයටත්, දළදා වහන්සේ වැඩම වූ බව වංශකතාවල සඳහන් වේ. එකී රාජධානි තුළ ද චිරාගත සාම්ප්‍රදායානුකූල ව ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වු බව අනාවරණය කර ගත හැකි ය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි. ව. 1747 - 1781) දවස ක්‍රි. ව. 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වා ම මෙම පෙරහර මංගල්‍ය චිරාගත සම්ප්‍රදායානුකූල ව ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට පැවැත්වේ.

ක්‍රි. ව. 1828 වැන්නේ සර් එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ සමයේ දී ශ්‍රී දළදා වහන්සේ මහ පෙරහරින් බැහැරට වැඩම වු බව වාර්තාවේ. ඉන් අනතුරුව අද වනතුරු දළදා වහන්සේ ශ්‍රී දළදා මාලිගාවෙන් බැහැරට වැඩම වූ බවක් සඳහන් නොවේ. වර්තමානයේ මංගල හස්තිරාජයා පිට වැඩම වනුයේ සධාතුක ධාතූන් වහන්සේ වැඩසිටින පෙරහර කරඬුවයි. ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමක් එහිදී සිදු නොවේ.

වර්තමාන ඇසළ පෙරහර මංගල්‍යයේ පෙළගැස්මේ විශේෂාංග කිහිපයක්.

ආරක්ෂක රථය

පෙරහර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත් මෙමඟින් සිදුවේ.

කසකරුවන්

කස සකස් කර ගනුයේ හණ හෙවත් නියඳ පඳුරුවලින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිට ගෑවිට මතුවන නුල් ගෙන වේළා සකස් කර ගැනීමෙනි. අඩි 7ක් පමණ දිගට අග හීන් වන සේ අඹරා බැඳ ගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වන සේ ලණුවලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැඳ ගැනීම සිරිත ය.

පැරැණියේ දී රජ දරුවන් බැහැරට ගමන් ගන්නා විට රජු ඉදිරියෙන් කස පුපුරුවමින් යෑම සිරිත විය. රජු එන මඟ ඉඩකඩ සලසා ගැනීමටත්, රජු ළඟ ළඟ එන බව ඇඟවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිත බුද්ධ පුජාමය මංගල්‍යයන්හී දි පෙරහර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා ගැනීමටත්, පෙරහර ළඟ එන බව සන්නිවේදනය කිරීමටත් කසකරුවන් යොදා ගැනීම සිදුවේ. අතීතයේ පෙරහර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබා ගැනීම ය. දළදා කරඬුුව දොරට වැඩීමේ දී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවතී. කස පිපිරවීම තුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඬ හා ස්වරුපය සංකේතවත් කෙරේ.

ගිනිබෝලකරුවන්

පෙරහර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකවත් කිරීමත්, මඟ හෙළි පෙහෙළි කර දීමත්, ළඟ ළඟ එන පෙරහරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේ නෙත් සිත් පැහැර ගෙන පෙරහර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතිය දැනවීමත් මෙමඟින් සිදු වේ.

බෞද්ධ කොඩි

බෞද්ධ ආගමික පෙරහරක් බව නිරූපණය කර දක්වයි.

මෙහිදී එක් ජාතික කොඩියක් ද රැගෙන යනු ලැබේ. එමඟින් මෙම පෙරහර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

මීට අමතරව දිසා කොඩිය (රෙදි) රැගෙන යයි.

කඩු ගෙනයන්නෝ

පෙරහරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහර පෙළගැස්මේ සිට පැවත එන අංගයකි.

හස්තියකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ

මහනුවර රාජ සමයේ අවසාන භාගයේ එක්ව තිබූ අංගයකි. අලියකු පිට නැඟී යන මොහු නිලකරුවන්ගේ රාජකාරි වාර්තා, ශ්‍රී දළදා මාලිගාවේ දේපළ පිළිබඳ වාර්තා හා පෙරහර ගමන් ගන්නා මාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහා රැගෙන යාම සිදු කරයි.

හේවිසිකරුවෝ

දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩ භාවිත කෙරේ. පුජා හා සන්නිවේදනයට විවිධ ගමන් පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහරේ චමත්කාරය වර්ධනය කරති.

ගජනායක නිලමේ

රජතමය අංකුසයක් අතින් ගෙන අලියකු පිට ගමන් කරන මොහු ඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිට ම සංකේතවත් කෙරිණි.

හොරණෑ වාදකයෝ

දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාළ ව මිහිරි නාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑව සුවිශේෂය. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තිය ප්‍රකාශ වන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.

චාමර නැටුම

ශ්‍රී දළදා වහන්සේට සහ රජවරු ඇතුළු ප්‍රභුන්ට පවන් සැලීම සඳහා චාමරය යොදා ගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජ සභා නර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත.

ලී කෙළි කණ්ඩායම

ඉතා සරල නැටුම් විශේෂයකි. ගෝත්‍රික නැටුම්වලින් ශේෂ වූ නර්තන අංගයකි.

පන්තේරු නැටුම

උඩරට නර්තන සම්ප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි. සූවිසි විවරණ, සත් සතිය, පන්සාළිස්වස වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන් වර්ණවත් වී ඇත. පත්තිනි දෙවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇති බව ප්‍රකට මතයකි.

තාලම් නැටුම

ගැමි නැටුම් විශේෂයකි. ගැට බෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරල නැටුම් අංගයකි.

හවඩි දඟය

ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි. මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදා ගන්නා පොලු සහ ලණු යොදා ගනිමින් අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි.

නෛයියංඩි කණ්ඩායම

හිසවෙස් ආභරණ රහිත ව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුණු ප්‍රවීණ ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රදායික නැටුමකි.

කඩු සරඹ

කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූ නර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

පන්තේරු නැටුම

අත් රබන්

රබන් වාදනයට අදාළ කවි ගායනා සහ ප්‍රශස්ති ගායනා යොදා ගනී.

තාලං නැටුම

පන්තේරු නැටුම

වේවැල් නැටුම

වේවැල් අතින්ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේ යෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ෂණීය වූ රංග රටා සමූහයකින් යුක්ත ය.

උඩැක්කි නැටුම

ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින් වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයට ම ආවේණික වූ රංග වස්ත්‍රාභරණයකින් සැරසී සරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි.

නෛයියංඩි කණ්ඩායම

කඩු නැටුම්

තම්මැට්ටම් වාදන කණ්ඩායම පංච තූර්ය වාදන භාණ්ඩයක් හා හේවිසි වාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින් ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි.

රබන් රංගන

පන්තේරු නැටුම

පතුරු නැටුම්

ලී පතුරක් අතැති ව නටන ගැමි නැටුමකි. නැටුමට ආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත.

උඩැක්කි නැටුම

වෙස් කණ්ඩායම

උඩරට නැටුමේ මුදුන්මල්කඩ වූ වෙස් නැටුම ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි. ප්‍රවීණ ශිල්පීන් විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ.

කාරියකරවන කෝරාළ

ඔහුට අයත් කාර්යය අතර වැඩමවන පෙරහර කරඬුුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ.

නාගසිංහම්

නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑම තුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

උඩු වියන් සහිත පාවඩ මතින් කරඬුුව වැඩමවන මංගල හස්ති රාජයා සමඟ දෑලේ ඇතුන් දෙදෙනා

පෙරහර කරඬුුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණ තිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදී. ඉන්පසු බොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදා ගෙන ඇත.

බෞද්ධ කොඩි

කවිකාර මඩුව

ශ්‍රී දළදා මාලිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

මල් පහන් ගෙනයන්නෝ

පැරැණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේ දී නැවත ඇති විය.

වෙස් නැටුම්

දියවඩන නිලමේතුමා

ක්‍රි. ව. 1814 සිට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරු 19 දෙනකු නිල කාර්යයෙහි යෙදී ඇති අතර, 19 වැනි දියවඩන නිලමේවරයා වශයෙන් ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර පෙරහරට ද සහභාගි වේ.

දෙපස මුරායුධකරුවන් හා මුතුකුඩය

බුරුම කොඩි

ගම් දහයේ විදානේවරු

අතීතයේ දී විදානේවරුන් 09 දෙනකු සහභාගි වූ අතර, වර්තමානයේ දී 13 දෙනෙක් සහභාගි වෙති.

මෙතැන් සිට දළදා මාලිගාව පෙරහරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහා දේවාලවල පෙරහර අනුපිළිවෙළට ගමන් කෙරෙනු ඇත.

(මෙහි සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් සම්පූර්ණ ලිපිය නිකිණි අව අටවක පෝ දා බුදුසරණ අන්තර්ජාල කලාපයේ පළවේ.)

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]