[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

තථාගත දහම් පද සුගැයුණ නිකිණි පුන් පොහෝ දා

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අංග සම්පූර්ණ ව සිංහ තෙල් රන් බඳුනක බහා තබන්නා සේ, ගෞරවයෙන් මතකයේ දරා සිටි ආනන්දයන් වහන්සේත් ධර්ම සංගායනාවට තෝරා ගන්නා ලෙස රහතන් වහන්සේ ඉල්ලා සිටි හෙයින් උන්වහන්සේ ද තෝරා ගැනුණි. කුසිනාරා නුවර දී තථාගත පරිනිර්වාණය වෙනුවෙන් සත් දවසක් ඉතා යහපත් පුණ්‍ය උත්සව ද තවත් සත් දිනක් ධාතු පූජා මහෝත්සවයක් ද පැවැත්විණි. ඒ අඩ මස ඇවෑමෙන්, ලෝ වැසියන් කෙරෙහි මහත් අනුකම්පා ඇති ඒ මහා කස්සප තෙරුන් ප්‍රධාන මහ රහත් මුනිවරුන් ධර්ම සංගායනාව පිණිස රජගහ නුවරට වැඩමවීමට සූදානම් ව සියලු සඟ පිරිසට මෙසේ දැනුම් දුන්හ. “අපි රජගහ නුවර වස් සමාදන් වීමට වැඩම කළ යුතුයි. එහි දී භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංගායනා කරන්නෙමු. එම නිසා ඒ කාලය තුළ සංගීතිකාරක රහතුන්ගේ පහසුව පිණිස සංගායනාවට සහභාගි නො වන අනෙකුත් භික්ෂූන් රජගහ නුවර වස් වැසීමෙන් වැළකී සිටිය යුතුයි. “ඉන්පසු ඒ උතුම් රහතන් වහන්සේ රජගහ නුවර බලා චාරිකා කළේ හමුවන ශෝකාකූල ජනයාට අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය දේශනා කරමින් ඔවුන් අස්වසවමින් ය. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, උත්තම ගෞතම බුදු සසුන චිරස්ථායි කිරීම පිණිස, පන්සියයක් වූ ඒ අරහත් මුනිවරුන් රජගහ නුවර වස් සමාදන් වූ සේක. මගධේෂ්වර අජාසත් මහරජුන් මුණගැසුණු ඒ මහ රහතන් වහන්සේ ධර්ම සංගායනාවෙහි වැදගත්කම ගැන කරුණු පැවසූහ. වස් වැසූ මුල් මාසයේ රජගහ නුවර පිහිටි දහඅටක් වූ මහා විහාරවල කැඩී බිඳී තිබූ තැන් රාජානුග්‍රහයෙන් අලුත්වැඩියා කරවූ සේක. ඉන්පසු අජාසත් රජු අමතා “මහරජතුමනි, අපි දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් ශාස්තෘත්වයෙහි පිහිටුවා වදාළ ධර්ම - විනය සංගායනා කරන්නෙමු” කියා පැවසූ සේක. අජාසත් රජතුමා සංගායනාව පිණිස රහතුන්ගේ අනුදැනුම පරිදි වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගුහාව ඉදිරිපිට දිව්‍ය සභාවක් බඳු අතිශයින් අලංකාර වූ වැඩහිඳින මණ්ඩපයක් වහා කරවූ සේක. සුන්දර ලෙස සැරසූ එම මණ්ඩපයෙහි පන්සියයක් වූ අරහත් මුනිවරුන්ට සුව සේ වැඩ හිඳිය හැකි ලෙස අනර්ඝ ඇතිරිලි ඇතිරවූවේ ය.


නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 9.47න් ගෙවේ.
27 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අගෝස්තු 27

Second Quarterඅව අටවක

‍‍‍සැප්තැම්බර් 04

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]