අනන්ත
බුදුගුණ බලයේ සෙත ලබමු
ශාස්ත්‍රපති
බොරලුගොඩ ඉන්දරතන හිමි
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණය තුළ අර්ථවත් වන විශේෂ බුද්ධඤාණ දාහතරක්
පිළිබඳ ධර්මයෙහි සඳහන් වේ.
“දුක්ඛේ ඤාණං
දුක්ඛ සමුදයේ ඤාණං
දුක්ඛ නිරොධේ ඤාණං -
දුක්ක නිරෝධ ගාමිණී
පටිපදාය ඤාණං
අත්ථ පටිසම්භිදේ ඤාණං
ධම්ම පටිසම්භිදේ ඤාණං
නිරුක්ති පටිසම්භිදේ ඤාණං
පටිභාන පටිසම්භිදේ ඤාණං
ඉන්ද්‍රිය පරෝපරියත්තියේ ඤාණං
ආසයානුසයේ ඤාණං - යමක පාඨිහාරියේ ඤාණං
මහාකරුණා සමාපත්තියේ ඤාණං සබ්බඤ්ඤුත ඤාණං
අනාවරණ ඤාණං’ ති.”
මෙම නුවණ තුදුස ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ ඤාණ විශේෂයකි.
මෙම බුද්ධ ඤාණ අතරින් පළමුවෙන් හමුවන දුක්ඛේ ඤාණය, දුක්ඛ සමුදයේ ඤාණය, දුක්ඛ නිරෝධ
ඤාණය, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ඤාණය යන නුවණ හතර යනු දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග
යන චතුරාර්ය සත්‍ය ධර්මය තිපරිවට්ට ලෙස තුන් ආකාරයෙන් අවබෝධ කර ගැනීමේ නුවණයි. එනම්
සත්‍ය, කෘත්‍ය, කෘත ලෙස අවබෝධ කර ගැනීමයි.
එමෙන්ම අත්ථ, ධම්ම, නිරුක්ති, පටිභාන යන පටිසම්භිදාවන් හේතුඵල වශයෙන් ප්‍රභේද
විස්තර සහිත ව අවබෝධ කර ගත්හ. මෙම ඤාණ පටිසම්භිදා ඤාණ ලෙස දක්වා ඇත. අප බුදුරජාණන්
වහන්සේ මෙම පටිසම්භිදාවන් ඒ අයුරින් ගැඹුරින් අවබෝධ කර ගත්හ.
පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල ධර්මය නිරවුල් ව විස්තර වශයෙන් දකින නුවණ අත්ථ
පටිසම්භිදාවයි. හේතුඵල ධර්මයන්ගේ ප්‍රත්‍යයෙන් හටගන්නා වූ නාමරූප ධර්මවල සියලු
විස්තර දැන ගන්නා වූ නුවණ ධම්ම පටිසම්භිදා ඤාණය යි.
නිරුක්ති යනු භාෂාවයි. ඉහත දැක්වූ ධර්මයන් පැහැදිලි කරදීමට උපයෝගී වන භාෂාව එනම්
මාගධි භාෂාව පිළිබඳ නිරවුල් වූත්, ගැඹුරු වූත්, ඥානය නිරුක්ති පටිසම්භිදා ඤාණයයි.
පටිභාන ඤාණය යනු ඉහත දැක්වූ ඤාණ පිළිබඳ වඩාත් ගැඹුරින් පැහැදිලි ව අවබෝධ කර ගන්නා
වූ ඤාණයයි. මේ සුවිශේෂ ඤාණ අප බුදුරජාණන් වහන්සේ තුළ වූහ.
යමක ප්‍රාතිහාර්ය ඤාණය බුදුරජාණන් වහන්සේට පමණක් සීමා වූ විශේෂ ඤාණයකි. තේජෝ කසිනයට
සහ ආපෝ කසිනයට සමවදිමින් එකවර ධ්‍යාන දෙකකට ඉතා වේගයෙන් සමවැදීමේ හැකියාව මේ ඤාණය
තුළින් වර්ධනය කර තිබේ. මහා කරුණා සමාපත්ති ඤාණය යනු බුදුන් වහන්සේ තුළ පැවති
අපරිමිත කරුණා ගුණයයි.
සෝ සාගරේ ජළධිකං රැධිරං අදාසි
භූමිං පරාජිය සමංස මදාසි දානං
මේරුප්පමාන මධිකං සමෝලි සීසං
ඛේ තාරකාධිතරං නයනං අදාසි
සාගර ජලය පරදා ලේ දන් දුන්හ.
පොළොව පරදා ශරීර මස් දන් දුන්හ.
මහමෙර පරදා හිස් දන් දුන්හ.
අහසේ තරු පරදා ඇස් දන් දුන්හ.
මහා කරුණාවෙන් කරන ලද පරිත්‍යාග එසේ සඳහන් කර ඇත. බුද්ධ චරිතය තුළ මේ මහා කරුණාව
සටහන්වී ඇත.
සබ්බඤ්ඤුත ඤාණය යනු සංඛත වූ ද, අසංඛත වූ ද සියලු ධර්මයන් නිරවශේෂයෙන් සපුරා දැන
ගැනීමේ ඤාණයයි.
අනාවරණ ඤාණ ලෙස දක්වා ඇත්තේ ලෝකයේ සංඛත අසංඛත සියලු ධර්මයන් සපුරා අවබෝධ කර ගන්නා
නුවණයි. මේ බුදු නුවණට ආවරණය වූ දෙයක් මේ ලෝකයෙහි දක්නට නැත. බුදු නුවණට සියල්ල
අනාවරණයි.
මේ උතුම් ඤාණ අප බුදුරජාණන් වහන්සේට කිසිවකු විසින් ප්‍රදානය කළ දෙයක් නොවේ. එදා
බෝමැඩ දී බුදුන් වහන්සේ තමන් වහන්සේ විසින් ම අවබෝධ කර ගත් ඤාණ සම්භාරයයි.
මේ එළඹෙන්නේ වස් සමයයි. බෞද්ධ පින්වතුන්ගේ පූණ්‍ය කාලයයි. මේ වස් කාලය තුළ ගිහි,
පැවිදි සෑම කෙනකුට ම ඒ අනන්ත බුදුගුණ බලය මහත් ආශීර්වාදයක් වනු ඇත. එමෙන් ම තම
තමන්ගේ ජිවිතවලට ආදර්ශයක් එක් කරනු ඇත. |