පට්ඨානයෙන් ජීවිතය කියවමු

පට්ඨානයෙන් ජීවිතය කියවමු

අහසට විසි කරන වස්තුවක් නැවත මහ පොළොවට ඇදී එන්නේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙනි. එම බලයෙන් මිදීමට නම් එය අබිබවා යන තවත් ශක්තියක් අවශ්‍ය වේ. බුදුදහම පෙන්වා දෙන්නේ මිනිස් ජීවිතය ද එවැනි ම නියමයකට යටත් බවයි. තණ්හාව, දෘෂ්ටි සහ අවිද්‍යාව මත ගොඩනැඟුණු අකුසල බලවේග, සත්ත්වයා නැවත නැවතත් සසරෙහි බැඳ තබන අදිසි ගුරුත්වාකර්ෂණයක් සේ ක්‍රියා කරයි. එම බැඳීමෙන් මිදිය හැක්කේ බාහිර බලයකින් නොව සීල, සමාධි සහ ප්‍රඥාවෙන් වර්ධනය වන අභ්‍යන්තර ශක්තියෙනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ජීවිතය වෙනස් කරන දාර්ශනික අදහසක් පමණක් නොව, සිත පිරිසිදු කරමින් සංසාර බැඳීම් දුර්වල කරන ප්‍රායෝගික මාර්ගයකි. එම මාර්ගයෙහි මුල් පියවර වන්නේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරැදි දෘෂ්ටියයි. මහාචත්තාරීසක සූත්‍රයේ ද පැහැදිලි කරන්නේ නිවැරැදි දැකීමක් නොමැති තැන නිවැරැදි ජීවිතයක් බිහි නොවන බවයි. ලෝකය පිළිබඳ වැරැදි අවබෝධය වෙනස් නොවූ තාක් කල්, අකුසලයේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීම ද අපහසු ය.

අප සාමාන්‍යයෙන් ජීවිතය දකින්නේ ‘මම’, ‘මගේ’, ‘අම්මා’, ‘තාත්තා’, ‘දරුවා’, ‘නිවෙස’, ‘ධනය’, ‘රැකියාව‘ යන සම්මත නාම ඔස්සේ ය. එහෙත් බුදුදහම පෙන්වා දෙන්නේ ඒවාට යටින් පවතින්නේ චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන යන පරමාර්ථ ධර්ම බවයි. මෙම ධර්ම හේතු සහ ප්‍රත්‍යයන් අනුව මොහොතින් මොහොත ඇති වෙමින් නැති වෙමින් පවතින ක්‍රියවලි මිස, සදාකාලික පුද්ගලයකු හෝ ආත්මයක් හෝ නොවේ.

මෙම සත්‍ය නොදන්නා සිත වෙනස් වන දෙය ස්ථිර යැයි ද, දුක් සහිත දෙය සැප යැයි ද, අනාත්ම වූ දෙය ‘මගේ’ යැයි ද ග්‍රහණය කර ගනී. එම ග්‍රහණය ම තණ්හාව උපදවයි. තණ්හාවෙන් උපාදානය උපදී. උපාදානයෙන් භවය සකස් වෙයි. භවයෙන් නැවත ජාතියත්, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දෝමනස්ස සහ උපායාසයන් ඇති වෙයි. මේ අඛණ්ඩ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය ලෙස දේශනා කළහ.

පටිච්චසමුප්පාදය හුදෙක් දාර්ශනික න්‍යායක් නොවේ. එය අපගේ දෛනික ජීවිතය තුළ සෑම මොහොතක ම සිදුවන යථාර්ථයකි. කෝපය උපදින්නේ ද හේතුවක් නිසා ය. ආශාව උපදින්නේ ද හේතුවක් නිසා ය. සතුට හා දුක ද හේතු සහ ප්‍රත්‍යයන් අනුව උපදී. මේ නිසා බුදුදහම කිසි විටෙකත් “අහඹුවෙන්” සිදුවන දෙයක් පිළිගන්නේ නැත.

මෙම හේතු ප්‍රත්‍ය නියමය වඩාත් ගැඹුරින් විග්‍රහ කරන්නේ අභිධර්ම පිටකයේ අවසාන සහ විශාලතම ග්‍රන්ථය වන පට්ඨාන ප්‍රකරණයයි. බොහෝ දෙනාට පට්ඨානය යනු ඉතා දුෂ්කර අභිධර්ම ග්‍රන්ථයක් ලෙස හැඟුණ ද, එහි මූලික අරමුණ වන්නේ ජීවිතය ගොඩනැඟෙන්නේ කෙසේ ද යන්න හෙළි කිරීමයි.

පට්ඨානයේ විග්‍රහ කෙරෙන සූවිසි ප්‍රත්‍යයන් අපට කියා දෙන්නේ ලෝකයේ කිසිදු සංසිද්ධියක් තනිව ම නොපවතින බවයි. සෑම දෙයක් ම තවත් දෙයකට හේතුවක් වන අතර, තවත් දෙයකින් පෝෂණය වෙයි. ඒ අනුව ‘මම ජීවත් වෙමි’ යන සම්මත අදහස වෙනුවට, ‘හේතු සහ ප්‍රත්‍යයන් මත ධර්ම ක්‍රියාවලියක් ගලා යයි’ යන ප්‍රඥාව උපදින විට ජීවිතය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි.

එම නිසා පට්ඨානය කියවීම යනු තවත් ධර්ම ග්‍රන්ථයක් කියවීම නොව, ජීවිතය කියවීමට ඉගෙන ගැනීමකි. අපගේ සිතේ උපදින සෑම සිතුවිල්ලක් ම, වචනයක් ම, ක්‍රියාවක් ම සතුටක් ම, දුකක් ම හේතු සහ ප්‍රත්‍යයන් මත පවතින ධර්ම ක්‍රියාවලියක් ලෙස දැකීමට එය අප පුහුණු කරයි.

උදාහරණයක් ලෙස අපි සාමාන්‍යයෙන් පවසන්නේ ‘මම කෝප වුණා’ යනුවෙනි. නමුත් පට්ඨානයේ ආලෝකයෙන් එය නිරීක්ෂණය කරන විට, ‘දෝසමූල චිත්තයක් හේතු සහ ප්‍රත්‍යයන් අනුව උපන්නා’ යන ධර්ම දෘෂ්ටිය පැහැදිලි වෙයි. එහි ‘මම’ නැත. පවතින්නේ හේතු සහ ප්‍රත්‍යයන් මත උපන් චිත්ත ක්‍රියාවලියක් පමණි. මෙම අවබෝධය ගැඹුරු වන තරමට පුද්ගල සංකල්පය ලිහිල් වන අතර, අනාත්ම ලක්ෂණය පිළිබඳ ප්‍රඥාව වර්ධනය වෙයි.

අභිධර්මය හදාරන බොහෝ දෙනකුට ඇති අභියෝගය වන්නේ දැනුම එකතු කිරීම පමණක් කිරීමයි. බුදුරජාණන් වහන්සේගේ අරමුණ වූයේ තොරතුරු රැස් කිරීම නොව දුක නිවාරණය යි. ඒ නිසා අභිධර්මය සමඟ සතිපට්ඨානය, භාවනාව සහ නිරන්තර සිහියෙන් ජීවත්වීම අත්‍යවශ්‍ය වේ.

දැනුම භාවනාවෙන් පෝෂණය නොකළොත් එය මතකයේ රැඳෙන කරුණු පමණක් වේ. එහෙත් භාවනාව තුළින් එම දැනුම අත්දැකීමක් බවට පත්වන විට ජීවිතයේ සෑම අත්දැකීමක් ම ධර්ම දේශනාවක් බවට පත්වෙයි.

අද ලෝකය විද්‍යාත්මක ව ඉතා දියුණු ය. තාක්ෂණයෙන් මිනිසා විශාල ජයග්‍රහණ ලබා තිබේ. එහෙත් මානසික ආතතිය, බිය, තරහ, ඊර්ෂ්‍යාව, පීඩනය සහ අසහනය ද එයට සමගාමී ව වර්ධනය වී තිබේ. බාහිර දියුණුව වැඩි වුව ද අභ්‍යන්තර සැනසීම අඩුවී ඇති යුගයක, පට්ඨානය හුදෙක් භික්ෂුන් වහන්සේ පමණක් හදාරන ග්‍රන්ථයක් නොව, සෑම මනුෂ්‍යයකුට ම තම සිත තේරුම් ගැනීමට උපකාර වන ජීවිත විද්‍යාවක් බවට පත්වෙයි.

තරුණ පරපුර නිතර අසන්නේ ‘ඇයි’ යන ප්‍රශ්නයයි. පට්ඨානය එම ප්‍රශ්නයට හේතු ප්‍රත්‍යයන්ගේ ආලෝකයෙන් පිළිතුරු සපයයි. භාවනානුයෝගීන්ට එය විදර්ශනා භාවනාවේ ගැඹුර විවෘත කරයි. සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන අයට ද තම සතුට හා දුක, ජය හා පරාජය, ලාභ හා අලාභය, ප්‍රශංසා හා නින්දා යන සියල්ල ධර්ම දෘෂ්ටියෙන් දැකීමට එය උපකාරී වෙයි.

එබැවින් පට්ඨාන ධර්ම දේශනාවන්ගේ අරමුණ විය යුත්තේ හුදෙක් අභිධර්මය ඉගැන්වීම ම නොව, එය ජීවිතයට සම්බන්ධ කර දීමයි. සූවිසි ප්‍රත්‍යයන්ගේ ගැඹුරු අර්ථය, චිත්ත චෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය, පටිච්චසමුප්පාදයේ ප්‍රායෝගික වටිනාකම සහ විදර්ශනා භාවනාව සමඟ එහි සම්බන්ධතාව පැහැදිලි කළ විට පමණක්, පට්ඨානයේ සැබෑ වටිනාකම ජනතාවට අවබෝධ වේ.

අවසානයේ පට්ඨානය අපට උගන්වන්නේ එක් මහා සත්‍යයකි. ලෝකය පුද්ගලයන් විසින් පාලනය නොවේ. හේතු සහ ප්‍රත්‍ය විසින් ගලා යයි. එය ප්‍රඥාවෙන් දකින තැනැත්තා තුළ අවිද්‍යාවේ අඳුර ක්‍රමයෙන් දුරුවන අතර, තණ්හාවේ බැඳීම් ලිහිල් වෙමින් විමුක්තියේ මාර්ගය විවර වෙයි. එවිට පට්ඨානය අභිධර්මයේ අවසාන ග්‍රන්ථය පමණක් නොව, සසර සීමාවන් ඉක්මවා නිවන කරා යන මනුෂ්‍ය ජීවිතයේ අතිශය ගැඹුරු මාර්ගෝපදේශය බව හදවතින් ම අවබෝධ වේ.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]