පිදිය යුතු චරිතයක ලකුණු

පිදිය යුතු චරිතයක ලකුණු

පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණයකි. බුදු දහමට අනුව පිදිය යුතු පුද්ගලයකු සතු ගුණාංග පහක් අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සෝතාර සූත්‍රයේ සඳහන් වේ. රාජකීය ඇතු හෙවත් රජුගේ මඟුල් ඇතු උපමා කර ගෙන සංග්‍රාම භූමියේ මඟුල් ඇතුගේ හැසිරීම හා ක්‍රියාකාරකම් උපමා කරගෙන සමාජයේ යම් තැනැත්තකු එසේ හැසිරේ ද, ඔහු පූජනීය චරිතයක් වන බව මේ දේශනාවෙන් පෙන්වා දෙයි.

සොතා හොති :- පිදිය යුතු චරිතයක තිබිය යුතු ගුණාංග අතර වැදගත් ගුණාංගයක් ලෙස යමකු පවසන කරුණු කාරණා පිළිබඳ ව විමසිලිමත් ව ඇහුම්කන්දීම දක්වා ඇත. තමා උසස් අනෙක් අය පහත් ලෙස නො සලකා අන්‍ය මත සාවධාන ව ඇහුම්කන් දීම මෙයින් අදහස් කෙරේ. එය බුදු සිරිතේ ද කැපී පෙනුණ ලක්‍ෂණයකි. උදාහරණයක් ලෙස වස් ශික්‍ෂාපදය භික්ෂූන්ට පැනවීම පෙන්වා දිය හැකි ය. බුද්ධ කාලීන අන්‍ය ශාස්තෘන්ගේ, අනුගාමිකයන්ගේ මතයට ඇහුම්කන්දීමක් ලෙසින් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ද ‘අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං’ යනුවෙන් අන්‍ය ශාස්තෘන්ගේ මතවලට ඇහුම්කන්දීමක් ලෙසට වස් කාලයේ ධර්ම ප්‍රචාරණ කටයුතුවල නොයෙදෙමින්, නියම් ගම්වල සැරිසැරීම වෙනුවට එක් ස්ථානයක වැඩ වසමින් බණ භාවනා කරමින්, ශ්‍රාවකයන්ට ද අනුශාසනා කරමින් වැඩ විසීමට අනුබල දුන්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා සමාජයේ අන්‍ය අනුගාමිකයන් අතර පවා පූජනීය තත්ත්වයට පත්වූවා සේ ම ආගමක් ලෙසට බුදු දහම ද මහජනතාවගේ පිළිගැනීමට භාජනය විය.

එසේම ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට ද ධර්මය නිවැරැදි ව අසා දැන ගත යුතු ය. ලෞකික, ජීවිතය යහපත් ලෙස ගත කිරීමත්, ලෝකෝත්තර මාර්ගඵල ලැබීමටත් ආර්‍ය ශ්‍රාවකයකු ලෙස ධර්මයට හොඳීන් ඇහුම්කන් දීම වැදගත් වේ. “ධම්මං විනා නත්‍ථි පිතා ච මාතා” යනුවෙන් සඳහන් කර ඇත්තේ ලෝකෝත්තර ජීවිතයට, මාර්ගඵල අවබෝධයට ධර්මය ඇසීම හේතු වන බවයි. “ධම්මධර” යනු ද ශ්‍රැතවත් වීමේ ප්‍රතිඵලයකි. ඒ අනුව බුද්ධිමත් ව ඇහුම්කන්දීම හෙවත් “සෝතා” ගුණය පිදිය යුතු චරිතයක ලක්‍ෂණයකි.

සමාජයේ ජීවත්වීම යනු හොඳ නරක සම්මිශ්‍රණයක ප්‍රතිඵල අත්වි¼දීමයි. බුදු දහමට අනුව ජීවත්වීම යනු ඇස, කන ආදී ඉන්ද්‍රිය පරිහරණය කිරීම තුළින් බාහිර රූප, ශබ්ද ආදිය වින්දනය කිරීමයි. ඒ අනුව ඇසින් රූප බැලීම, කනින් ශබ්ද ඇසීම, නාසයෙන් සුවඳ ආඝ්‍රහණය කිරීම, දිවෙන් රස බැලීම, ශරීරයෙන් පහස ලැබීම, සිතෙන් සිතිවිලි වි¼දීම යනු ජීවත් වීමයි. මේ ක්‍රියාකාරකම් වරෙක ප්‍රියජනක විය හැකි ය. තවත් විටෙක අප්‍රියජනක විය හැකි ය. නමුත් ඉවසීම පුරුදු කළ පූජනීය තැනැත්තා අප්‍රිය වූ රූපාදී අරමුණු හමුවේ නො ගැටෙයි. එයින් ද්වේශය අවුස්සා ගෙන ප්‍රතිචාර නො දක්වයි. ඒ නිසා සමාජය හා ගැටුම් ඇති කර නො ගනී. එසේම ප්‍රිය අරමුණු හමුවේ උද්දාමයට ද පත් නොවේ. රාගය හෝ ලෝභය හෝ ඇති කර නො ගනී. එබැවින් තණ්හාවේ දාසයකු නොවී කටයුතු කරයි. නැතිනම් එම සතුටු අරමුණු ඉවසීමෙන් තොරව තව තවත් නො පතයි. බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ තණ්හාවේ දාසයකු වී යමක් නො ඉවසිලිමත් ව පතයි ද එවිට ඔහු ඒ දේ ම සොයයි යනුවෙනි.

එසේ ම ආශා වස්තුව කෙසේ හෝ ලබා ගැනීමට උත්සාහ ගනී. ලැබුණ දේ පිළිබඳ හොඳ නොහොඳ විනිශ්චය කරයි.

ඒ නිසා ‘ජන්‍ද රාගය’ හෙවත් කැමැත්තෙන් වස්තුන්ට බැඳේ. ඒ අනුව කැමති දේ ම ලබා ගැනීමට නොයෙක් උපක්‍රම යොදා ගනී. ඒ නිසා ම ඉවසීමෙන් තොරව ඇතැම්විට කළහ ඇති කරයි. ආයුධ උපයෝගී කරගෙන කැමති දේ ලබා ගැනීමට ද පෙළඹෙයි.

මෙසේ ලෝකය තුළ රූප, ශබ්ද ආදී වූ වස්තු පරිහරණය කිරීමේ දී ඒවා හොඳීන් හෝ නරකින් හෝ ලබා ගැනීම නිසා ඉවසීමෙන් තොරව ක්‍රියා කරයි. චරිතය ද කෙලෙසා ගනී. නමුත් ඉවසීම ඇති තැනැත්තා සමාජය හා නො ගැටෙන බැවින් පූජනීය චරිතයක් ඇති තැනැත්තෙකි.

ඉවසීමෙන් කටයුතු කරන, ලොව පවතින කැමති අකමැති දෙයෙහි යථාර්ථය දකින තැනැත්තා අරමුණු හමුවේ ඇති වන රාග ආදී හැඟීම සැමදා නොපවතින බව දැන කටයුතු කරයි. ඒ නිසා ම ඉවසීමෙන් තොරව තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නො පෙළඹෙයි. ඒ නිසාම පූජනීය චරිතයක් ලෙස එවැනි පුද්ගලයන් සමාජගත වේ.

පූජනීය පුද්ගලයා තුළ පවතින තවත් ගුණයකි, සිල්වත් චරිතයක් ඇත්තකු වීම. එනම් ඉන්ද්‍රිය සංවරය යි. එය ‘රක්ඛිත’ යනුවෙන් ධර්මයේ දක්වා ඇත. සීලය යනු කය, වචනය ආරක්ෂා කර ගැනීමයි. යහපත් චරිතයක් ඇති පුද්ගලයා සිත්හි පැන නඟින නරක සිතිවිලි, ක්‍රියාකාරකම් මඟින් හෝ වචන මඟින් හෝ සමාජගත නො කරයි. එබැවින් ඔහු පවින් ද ආරක්‍ෂා වෙයි. කය, වචන දෙක ආරක්‍ෂා කර ගැනීමට අයහපත් සිතිවිලි, අයහපත් සිතිවිලි ලෙස ඔහු දැන ගනියි. දකියි. එය අයහපත් සිතිවිලිවලින් ආරක්‍ෂාවීමට ද හේතු වෙයි.

ආසවක්‍ඛය සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කළේ ද “ජානතො අහං භික්‍ඛවෙ පස්සාමි, ආසවානං ඛයං වදාමි” යනුවෙනි. ආශ්‍රවයන් දකින ආශ්‍රවයන් හඳුනන අයට ආශ්‍රව දුරු කළ හැකි බවයි. ඒ අනුව අරමුණු හමුවේ කෙලෙස් අවුස්සා නො ගෙන ඉන්‍ද්‍රියයන් ආරක්ෂා කර ගැනීම කෙනකු පූජනීය වීමට හේතු වෙයි.

සිත තුළ පැන නඟින සිතිවිලි හඳුනාගෙන එම සිතිවිලි පාලනය කර ගැනීම ඉතා වැදගත් වේ.

චිත්තානුපස්සනා යනු එයයි. සිතිවිලි හඳුනාගැනීම කෙලෙස් නසාලීමට උපකාරී වේ. ඒ අර්ථය අනුව පූජනීය පුද්ගලයා අයහපත් කෙලෙස් නසන්නෙක් ද විය යුතු ය. අකුසල ධර්ම ප්‍රහාණයට හෙවත් නැසීමට සමත් වීමට කෙලෙස් නිවැරැදි ව හඳුනා ගැනීම හේතු වේ. “අකුසලානං ධම්මානං පහානය” අකුසල නසා කුසලය වඩන පුද්ගලයා‘කුසලානං ධම්මානං උපසම්පදාය’ පූජනීය චරිතයක ලක්‍ෂණයකි. එසේ කිරීම සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

‘ගත්තා හොති’ යනු පූජනීය තැනැත්තා සතු විය යුතු තවත් ලක්‍ෂණයකි. එනම් යා යුතු තැන නො යා යුතු තැන පිළිබඳ ව නිවැරැදි අවබෝධය යි. බුදු හිමි අනුදැන වදාළේ මෙලොව පරලොව පැවැත්ම හෙවත් ලෞකික සම්මා දිට්ඨිය පිළිබඳ නොව නිවන් සුව නම් වූ සසර නැවැත්මට හේතු වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨීය අවබෝධ කර ගැනීමට අවශ්‍ය මාර්ගය ගමන් කළ යුතු මාර්ගය යනුවෙනි. එනම් නිර්වාණගාමී මාර්ගයට පිළිපන් පුද්ගලයන් හා නිර්වාණගාමී මඟට පිවිසුණ පිරිස පූජනීය වේ.

මෙසේ පූජනීය වූවන් පිදිය යුතු අයුරු පස් වැදෑරුම් වේ. ආහුන්‍යෙය - දුර සිටියත් සොයා ගිහින් පුදන්න සුදුසු වේ.

පාහුන්‍යෙය - ආගන්තුකයන්ට දීමට සකස් කළ දෙය දීමට සුදුසු වේ.

දක්‍ඛින්‍යෙය - පරලොව සුවපතා දෙනු ලබන දානය ලැබීමට ද සුදුසු වේ.

අඤ්ජලීකරණීය - අත් දෙක නළලේ තබා වැඳුම් ලැබීමට සුදුසු පුද්ගලයකු වේ.

අනුත්තරං පුඤ්ඤඛෙත්තං - ලෝකයාට පින් ලබා ගත හැකි පින් කුඹුරක් ලෙස සැලකීමට ද සුදුසු වේ.

මේ අනුව මේ බුද්ධෝත්පාද කාලය තුළ දී ම, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නො අඩුව ලැබෙන අවස්ථාවක, සුදුසු ප්‍රදේශයක ඉපදී, සද්ධර්මය අසන්නට ලැබී ඇති, මේ වාසනාවන්ත පුණ්‍ය භූමියේ උපත ලබා ඇති අපි නිවන ඉලක්ක කර ගෙන ආර්ය මාර්ගයේ ගමන් කරමින්. පූජනීය පුද්ගලයකු බවට පත්වීමට අදිටන් කර ගනිමු.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]