බුදුරජාණන් වහන්සේගේ පළමු පළමු දම් දෙසුම

බුදුරජාණන් වහන්සේගේ පළමු පළමු දම් දෙසුම

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයයි. සංයුත්ත නිකාය නම් ධර්ම ග්‍රන්ථයෙහි ඇතුළත් වන මෙම සූත්‍රය බුද්ධත්වයට පැමිණි අලුත ඉසිපතන මිගදායේ දී පස්වග මහණුන් අරබයා දේශනා කරන ලද්දකි. ලෝකයට මුල්වරට මගඵලවලට පත් ආර්යන් වහන්සේ බිහිවන්නේ මෙම සූත්‍රය ඇසීමෙනි.

ධම්මචක්කප්පවත්තන යන වචනයෙහි තේරුම් කිහිපයක් ඇත. ඉන් එකක් වන්නේ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම හෙවත් ධර්මය ලොව තුළ පළමු වරට ක්‍රියාත්මක කිරීම යන්නයි. එවකට දර්ශනවාදවලින් පිරි ඉන්දියාවේ සිටි කිසිදු ආගමික ශාස්තෘවරයකු විසින් විවරණය නොකොට තිබූ දහමක් මුල්වරට ලෝකයා හමුවේ බුදුන් වහන්සේ විසින් පළමුවරට දේශනා කොට තිබීම මෙම සූත්‍රයේ විශේෂත්වයයි. එබැවින් මෙම සූත්‍රයේ සමස්ත ලෝකයට ම අදාළ වන ගැඹුරු හා වටිනා දාර්ශනික ඉගැන්වීමක් හා දුක ඉක්මවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අන්තර්ගත වේ. තවද මෙම සූත්‍රය දේශනා කරන ලද්දේ අද වැනි ඇසළ පුන් පොහෝ දිනක ය.

ගෞතම බෝසතුන් විසින් ඉතා දුෂ්කර චර්යාවකින් පසු ව දසමරුන් පරදවා මතු කර ගන්නා ලද ධර්මය කාමයෙහි ගිජු වූ මිනිසාට තේරුම් ගැනීම අතිශය අපහසු හෙයින් එය දේශනා කිරීමේ ඵලය කුමක් ද යන සිතිවිල්ල බුදුබවට පත් වූ පසු උන්වහන්සේ තුළ මුලින් ම ඇති වූ බව අපි දනිමු. එහෙත් එම මිනිසුන් අතර ම අල්ප වශයෙන් හෝ සත්‍ය විනිවිද දැකීමට හැකි අය ද සිටින බව දත් බුදුන් වහන්සේ තම දේශනාමය කාර්යභාරය ආරම්භ කරන ලද්දේ මෙම සූත්‍රය දේශනා කිරීමෙනි. එසේම එය “තේරුම් ගැනීමේ විභවතාවක් සහිත පුද්ගලයන් කවරේද යන්න බුදු ඇසින් බලා පස්වග මහණුන් සොයා ගොස් ඔවුන්ට මෙම ධර්මය දෙසූහ.

මිනිසුන් පමණක් නොව දස දහසක් සක්වල දෙවියන් හා බ්‍රහ්මයෝ ද මෙම සූත්‍රය ඇසීමට පැමිණියහ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලද්දේ මෙබඳු පසුබිමක් යටතේ ය. එපමණක් නොව මෙම සූත්‍රය සමස්ත බුද්ධ චවනය නැතහොත් බුදුදහමේ සාරය අන්තර්ගත වන සූත්‍රයක් බව ද මතක තබා ගත යුත්තකි.

සූත්‍රයෙහි සාරාංශය මෙසේ ය. බුදුන් වහන්සේ බරණැස ඉසිපතනයෙහි වැඩ සිටින සමයක දිනක් පස්වග මහණුන් අමතා මෙසේ වදාළහ.

“මහණෙනි, පැවිද්දකු විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකකි. ඉන් පළමුවැන්න කාමසුඛල්ලිකානුයෝගයයි. දෙවැන්න අත්තකිලමථානුයෝගයයි. මේ අන්ත දෙක අත්හැර නුවණැස පහළ කරන, නිවන සඳහා පවතින මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. මෙම මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක් ද? එය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අටයි.”

මෙසේ වදාළ බුදුන් වහන්සේ ඉන් අනතුරුව දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය හා දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍ය යන චතුරාර්ය සත්‍ය පිළිබඳ අතිශය ගැඹුරු හා පැහැදිලි විවරණයක් කළහ. එසේ වදාළ බුදුන් වහන්සේ මෙසේ ද වදාරති.

“මහණෙනි, දුක ඇතිවීමට (දුක්ඛ සමුදයට) හේතු වන යම් තෘෂ්ණාවක් වේ නම් එය මුළුමනින් ම නැති කිරීම, අත්හැරීම, ඉන් මිදීම දුක්ඛ නිරෝධයයි. යම් දුක්ඛ නිරෝධයක් නිර්වාණයක් වේද එය නැති කිරීමේ මාර්ගයක් වේ ද, එය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව නැතහොත් දුක නැති කිරීමේ ප්‍රතිපදාව නමැති උතුම් ආර්ය සත්‍යයයි. දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍ය යනු මෙම ආර්ය අෂ්ටාගික මාර්ගය ම යි.

ඉහත දක්වන ලද්දේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වැදගත් ම අදහසේ සාරාංශයකි. එවකට සත්‍ය සොයා ගිය අය විසින් අනුගමනය කරන ලද අන්ත දෙකකි. එකක් නම් කාමසුඛල්ලිකානුයෝගයයි. එනම් වස්තු කාමයන්හි සහ ක්ලේශ කාමයන්හි ඇලී සිටීමයි. බුදුන් වහන්සේට අනුව එය පහත් වූ (හීනො), අශිෂ්ට වූ (ගම්මො), පෘථග්ජනයන්ට අයත් වූ (පොථුජ්ජනිකො), අනාර්ය වූ (අනරියො) සහ අනර්ථකාරී වූ (අනත්ථසංහිතො) ක්‍රමයකි.

දෙවැන්න අත්තකිලමථානුයෝගය යි. සිරුරට දුක් දීමෙන් සත්‍ය සොයන එම ක්‍රමය ද දුක් සහිත ය (දුක්ඛො), අනාර්යය (අනරියො). එසේ ම අනර්ථකාරී ය (අනත්ථ සංහිතො). බුදුන් වහන්සේට අනුව සත්‍ය ගවේෂණය කිරීමේ මුල්ම ප්‍රවේශය වන්නේ මෙම අන්ත දෙක අත්හැරීමයි. මේ අන්ත දෙකින් වෙනස් වූ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ නව දාර්ශනික පදනමක් සහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් බුදුන් වහන්සේ හඳුන්වා දුන්හ. ඒ සඳහා මනස අවදි කිරීමේ අරමුණෙන් දුක නමැති මිනිස් ජීවිත අත්දැකීම තමන් වහන්සේ ගැඹුරින් වටහා ගත් ආකාරය පළමුව පෙන්වා දුන්හ.

සැබැවින් ම මෙම සූත්‍රය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කළ දුක පිළිබඳ විග්‍රහය ඉතා ගැඹුරු ය. දුක පිළිබඳ අත්දැකීම ලෝකය ආරම්භයේ සිට මිනිසුන් තුළ පැවතුණි. දුක ඇතිවීම හා නැති කිරීම සම්බන්ධයෙන් ඔවුහු විවිධ ප්‍රතික්‍රියා දැක්වූහ. ඉතා කෙටියෙන් කිවහොත් මිනිසුන් විසින් කරනු ලබන සියලු ක්‍රියා කවර හෝ ආකාරයකින් දුක නැති කිරීමේ අභිප්‍රායෙන් කරනු ලබන දේ ය. එහෙත් එම සියලු ක්‍රම පෘථග්ජන මනසින් දැක තීරණය කොට කරනු ලබන දේවල් ය.

බුදුන් වහන්සේට අනුව දුක පිළිබඳ පෙර අසන්නට නොලැබුණු ආකාරයේ එනම් ඊට පෙර කිසිවකු නොසිතූ, කිසිවකු නොකී කරුණු පිළිබඳ විශේෂ දැක්මක්, ඥානයක්, වැටහීමක්, ප්‍රඥාවක්, විද්‍යාවක් මෙන් ම ආලෝකයක් උන්වහන්සේ තුළ ඇති විය. එසේම දුක ඇති වීමට විවිධ හේතු ඇතත් ඒ විවිධ හේතූන්ගේ න්‍යෂ්ටිය එසේත් තැතහොත් මූලික කරුණ තෘෂ්ණාව මිස අනෙකක් නොවන බවත්, දුකෙන් නිදහස්වීම එනම් නිවන පිළිබඳ ව ද, ඒ සඳහා වන මාර්ගය ද පිළිබඳ එකී තියුණු වැටහීම උන්වහන්සේට ඇතිවිය.

ඉහත කී ආර්ය සත්‍ය හතර පිළිබඳ බුදුන් වහන්සේ තුළ පහළවූ වැටහීම සරල වූවක්

නොවේ. එය ක්‍රම තුනකින්, හා ආකාර දොළොසකින් පසක් කරන ලද්දකි. එය ‘තිපරිවට්ටය’ හා ‘ද්වාදසාකාරය’ ලෙස නම් කොට ඇත. ඉන් පළමුවැන්න සත්‍ය ඥානයයි. එනම් ඉපදීම, මහලුවීම, ලෙඩවීම, මරණය, කැමැති දේ නොලැබීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම පමණක් නොව සමස්තයක් ලෙස පඤ්ච උපාදානස්කන්ධය ඇසුරු කළ සියල්ල ම දුකක් වන බවයි. සාමාන්‍ය මනුෂ්‍යයකුට මේවායින් ඇතැම් දේ දුක් ලෙසත්, ඇතැම් ඒවා සැප ලෙසත් දැනේ. නිදසුනක් ලෙස ‘ජාතිපි දුක්ඛා’ (ඉපදීම දුකකි) යන්න ගත හැකි ය. පෘථග්ජන මිනිසාට ගැබක් පිහිටි අවස්ථාවෙහි ද කුසෙන් බිහිවූ කල්හි ද, දරුවා වැඩෙන අවධියෙහි ද සතුටක් දැනේ. එහෙයින් එවන් දිනවල දී ප්‍රිය සම්භාෂණ, උත්සව ආදිය ගෙන සතුටු වෙති. එහෙත් එය යථාර්ථමය වශයෙන් සැපක් හෝ සතුටක් හෝ නොවේ. දරුවකු කලලයක් වශයෙන් කුසක් තුළ වැඩෙනුයේ දැඩි පීඩනයකිනි. කුණු වළක පණුවකු මෙන් දඟලමින්, දැවෙමින්, තැවෙමින්, ක්ෂණයක් පාසා වෙනස් වෙමින් පවතී. එම වෙනස්වීම් එකිනෙකට ප්‍රත්‍ය වේ. වෙනත් විධියකින් කිවහොත් හේතු රැස් කරයි. එයින් නාම රූප වැඩේ. නාමරූප චක්ෂුරාදි ආයතන වැඩීමට ප්‍රත්‍යය වේ. ආයතන ස්පර්ශයට ප්‍රත්‍ය වේ. මේ ආකාරයෙන් දිගින් දිගටම කර්ම රැස් කරමින් සංසාර ප්‍රවෘත්තියට හෙවත් සංසාරයේ විශාල දුකක් විඳීමට ජාතිය හෙවත් ඉපදීම හේතුවේ. ජරා

මරණාදිය ද එසේ ම ය. සෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට ප්‍රත්‍ය වේ. පුනර්භවයක් ඇති කිරීමට ප්‍රත්‍ය වන මේවා සසර දුක් විඳවමින් දිගින් දිගට ම එම දුක ම අනුභව කිරීමට සලස්වයි.

අනේකවිධ නයින් උපදවා ගත් විශේෂ ඥානයන්ගෙන් දුක පිළිබඳ මෙසේ යථා ස්වභාවය විනිවිද දැකීමට බුදුන් වහන්සේට හැකි විය. එය විශ්වයේ තිබෙන සත්‍යයකි. එය සත්‍යයක් බව මැනවින් වටහා ගැනීම සත්‍ය ඥානයයි.

දුක, දුකක් වශයෙන් අවබෝධ කළ යුතු ය යන දැනීම කෘත්‍ය ඥානයයි. එසේ ම එය අවබෝධ කළෙමි යන අවබෝධය කෘත ඥානයයි. මෙලෙසින් දුක නමැති ආර්ය සත්‍ය සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය සහ කෘත ඥානය වශයෙන් ත්‍රිවිධ ආකාරයකට වටහා ගැනීම ‘තිපරිවට්ටය’ නමින් හැඳීන්වේ. ආර්ය සත්‍ය හතර ම එලෙස තුන් අයුරකින් වටහා ගත් විට එය ද්වාදසාකාරයක් හෙවත් ආකාර දොළොසක් බවට පත්වේ.

ඉහත දැක්වූ ආකාරයට පඤ්ච උපාදානස්කන්ධය ම දුකට හේතුවකි. නිදසුනක් ලෙස ඇසක් ලැබීම යනු දුකට හේතුවකි. කනක් ලැබීම යනු දුකට හේතුවකි. නාසය, දිව, කය, මනස ආදී සියල්ල ම මෙසේ කර්ම රැස්කිරීමට ප්‍රත්‍ය වේ. අමතක නොකළ යුතු වන්නේ ප්‍රත්‍ය වන බව ය.

දෙවන ආර්ය සත්‍ය වන්නේ ඉහත කී දුක් ඇතිවීමට බලපාන හේතුව තණ්හාව වන බවයි. පෘථග්ජන මිනිසා ඉන්ද්‍රියයන්ට අරමුණු හමු වූ විට සතුටක් උපදවා ගනී. එසේම එහිලා රාග වශයෙන් ඇලෙයි. එය ‘නන්දිරාග සහගතා’ යනුවෙන් සූත්‍රයේ දැක්වේ.

ඒ අනුව මනස හමුවන හමුවන සියලු තැන්හි අලෙයි. එය තණ්හාවේ ස්වභාවය යි. ඉහත කී පඤ්චස්කන්ධය එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ දුක් වන්නේ ඒවා තණ්හාවෙන් මම ය, මාගේ ය, සුඛ ය, නිත්‍ය ය, ආත්ම ය ආදී සංකල්පවලින් අල්ලා ගැනීම නිසා ය.

කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් එම තණ්හාව ද ත්‍රිවිධ වේ. ලෝකයේ පවතින දුක්වලට මෙසේ තණ්හාව හේතුව වන බව, සත්‍යයක් වන බව දැනීම සත්‍ය ඥානයයි. මෙය බුදු ඇසින් ම විනිවිද දුටු ආර්ය සත්‍යයකි. එය ප්‍රහාණය කළ යුතු ය යන ඥානය කෘත්‍ය ඥානයයි. එසේම එය ප්‍රහාණය කළ බව අවබෝධ කර ගැනීම කෘත ඥානයයි. පෙර නොවූ විරූ මෙම ඥානය බුදුන් වහන්සේට පහළ විය.

ඉහත කී ආකාරයේ දුක හටගැනීමට තෘෂ්ණාව මූලික හේතුව වන නිසා එම තෘෂ්ණාවේ යම් සහමුලින් නැති කිරීමක්, විරාගයක්, බැහැර කිරීමක්, මිදීමක්, නොඇල්මක් වේ නම් එය නිර්වාණය වේ. පෙර නොඇසූ විරූ මෙම ආර්ය සත්‍ය පිළිබඳ ඥානය බුදුන් වහන්සේට පහළවිය. එය සාක්ෂාත් කළ යුතු බව ද, සාක්ෂාත් කළෙමි යන කෘත්‍ය හා කෘත ඥාන ද උන්වහන්සේට වැටහුණි.

සිවු වැනි සත්‍ය දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ආර්ය සත්‍යයයි. ඉහත කී නිර්වාණය නැතහොත් දුකින් මිදීම, එසේත් නැතහොත් තණ්හාවෙන් නිදහස් වීමට ඇති එකම මාර්ගය දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව මඟින් පැහැදිලි කොට ඇත. එය අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ සඳහා කාමසුඛල්ලිකානුයෝගයත්, අත්තකිලමථානුයෝගයත් අත්හැර මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකායන මාර්ගය වන බව තේරුම් ගත යුතු ය. එම යථාර්ථය සත්‍ය ඥානයක් ලෙස වැටහුණි. එසේම ඒ සඳහා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අටකින් යුතු මාර්ගය වැඩිය යුතු යැයි අවබෝධ වීම කෘත්‍ය ඥානයයි. මෙම ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් කෙනකුට සෝවාන්, සකෘදාගාමී, අනාගාමි හා අර්හත් යන මාර්ග ඵලයන්ට පැමිණ නිවන පසක් කළ හැකි ය. මේ අනුව දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව හා ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු නම් දෙකක් මිස ප්‍රතිපදා දෙකක් නොව එකකි. එබැවින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දැක්වෙනුයේ ලෝකයේ අමිහිරි පැතිකඩ හා බැඳුණු සත්‍යයත්, එකී දුක්ඛමය වූ අමිහිරි පසුබිමෙන් නිදහස් වීමේ ප්‍රායෝගික වැඩ පිළිබඳවත් ය.

මෙකී එක් එක් ආර්ය සත්‍ය ඉහත කී සත්‍ය, කෘත්‍ය, කෘත යන ඥානවිධි තුනෙන් හා ආකාර දොළොසින් විනිවිද දුටු බුදුන් වහන්සේ එම ආර්ය සත්‍ය පස්වග මහණුන් සොයා ගොස් පළමුවරට දේශනා කළහ. මෙය පසක් කළ තමන් වහන්සේගේ අන්තිම ජාතිය මෙය බවත්, මින් පසු පුනර්භවයක් නොමැති බවත් වදාළහ.

මෙම දේශනාව ඇසූ මොහොතෙහි ම කොණ්ඩඤ්ඤ තෙරණුවෝ සෝවාන් ඵලයට පත්වූහ. බුදුවරයකු විසින් මිස කිසිදු ශ්‍රමණයකු, බ්‍රාහ්මණයකු, දෙවියකු, මාරයකු, බ්‍රහ්මයකු හෝ ලොව වෙනත් කිසිවකු විසින් හෝ නොපැවැත්විය හැකි මෙම ධර්ම චක්‍ර දේශනාව බුදුන් වහන්සේ පැවැත්වූහ. එය අසා මිනිස් ලොව බූමාටු දෙවිවරුන්ගේ සිට බ්‍රහ්මකායික දෙවිවරු දක්වා සියල්ලෝ සාධුකාර දුන්හ. දෙවියන්ගේ දේවානුභාවය ද ඉක්මවා එම අවස්ථාවෙහි දසදහසක් සක්වල කම්පිත ව ඒකාලෝක වූ බව සූත්‍රයෙහි ම සඳහන් ය. කෝටි දහඅටක බ්‍රහ්මයෝ මෙම ධර්ම දේශනාව ඇසීමට පැමිණි අතර, එය සත්ත්වයාගේ සදාකාලික දුක් නිවීමේ එකම මාර්ගය බව ලෝකයට සනාථ විය.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]