පින් පුරන පින් වැඩෙන වස්සානයේ ඇරඹුමයි

පින් පුරන පින් වැඩෙන වස්සානයේ ඇරඹුමයි

බුද්ධ ශ්‍රාවක යන උත්තම පිරිස කොටස් හතරකට එක්ව භාවිත කරන පොදු ව්‍යවහාරයක්.

භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන මේ සිවුවනක් පිරිසට ම බුදුරජාණන් වහන්සේ වරින් වර නොයෙක් පැනවීම් කර තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් පළමු වස්කාල 20 තුළ උන්වහන්සේ එවැනි කිසි ම නියමයක්, පැනවීමක් කර නැහැ. බුදුරජාණන් වහන්සේ මේ කාලය තුළ සංචාරක වශයෙන් භික්ෂූන් වහන්සේ පිරිවරා ගෙන ඒ ඒ ප්‍රදේශවලට වැඩම කරමින් ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුණා. වැහි කාලය එළැඹෙන කොට උන්වහන්සේ පමණක් වස් සමාදන් වුණා. සෙසු භික්ෂූන් වහන්සේට එවැනි පැනවීමක් සිදු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතිරි වස් 25 කාලය සැවැත්නුවර මුල් කර ගෙන ජේතවනාරාමයෙහිත්, පුර්වාරාමයෙහිත් තමන් වහන්සේ ඇසුරු කරමින් සිටින භික්ෂූන් වහන්සේ සමඟ වස් සමාදන් වී කාලය ගත කළා. සෙසු භික්ෂූන් වහන්සේ හා භික්ෂුණීන් වහන්සේ ඒ ඒ ප්‍රදේශවල වස් වසා එය ආරක්ෂා කර ගෙන ක්‍රියා කළා.

ඉතින් වස් විසීම කියන මේ වස් සමාදානය අවුරුද්ද තුළ ඕනෑම කාලයක සිදු කරන්නට පුළුවන්කමක් නැහැ. වස් කාලය යනුවෙන් කියැවන්නේ වැසි කාලය යි. ඉතින් ශාසනික ව්‍යවහාරය අනුව සෘතු තුනක් වෙනවා. හේමන්ත (අධික හිම පතනය), ගිම්හාන හෙවත් ග්‍රීෂ්ම හා වස්සාන හෙවත් වර්ෂා කාලය කියලා.

බුදුරජාණන් වහන්සේ ප්‍රථම බෝධි සමය හෙවත් බුද්ධත්වයෙන් මුල් වර්ෂ විස්ස තුළ බුද්ධ ශ්‍රාවක පිරිස බහුල නො වූ නිසා බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන්, අනුශාසනයෙන් ඒ පිරිස හික්මවීමත් පහසු වුණා. ඒ කාලයට අදාළ කර ගත්තේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණයි. එය සරල වශනේ මූලික හික්මවීම් ක්‍රමයක් පමණයි. එහෙම වුණත් පසු කාලය වන විට ශ්‍රාවක පිරිස ඉමහත් වන්නට වූ නිසා තමා විනය නීති නියම කළේ.

මුල් අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ වටා එක් වු භික්ෂූන් වහන්සේ සංචාරක ජීවිතයක් ගෙවමින් ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරය කළා.

එදා තරගකාරි ව විවිධ අන්‍ය මතධාරි පිරිස් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේට වැසි කාලයේ හෙවත් වස්සාන සෘතුවෙහි ජනපද චාරිකා කරමින්, තෙත භරිත සිවුරු හැඳ පෙරව සමහර විට දණහිස දක්වාත් සිවුරු කැටි කරගෙන වැස්සටත් තෙමෙමින් මේ සිදු කරන චාරිකාව අශෝභන බවට චෝදනා කරන්නටත් පටන් ගත්තා. මෙවැනි කරණු ගැන සාවධාන වන උත්තම ගුණ ඇති බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික මතධාරින්ගේ වගේ ම මහජන මතයට සවන් දෙමින් නියමයක් කළා මහණෙනි වස්සාන සමයෙහි වස් වසා එක් තැනකට කේන්ද්‍ර වී මහණ දම් පුරන්න කියලා. “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තු. ද්වෙ මෙ භික්ඛවෙ වස්සූපනායිකා, පුරිමිකා පච්ඡිමිකා ච යනුවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පැනවූවා වස්සාන සෘතුව ආරම්භ වෙන මුල් දින ම වස්විසීම හා පෙරවස් විසීමට, එදිනට යම් බරපතළ හේතුවක් නිසා වස් විසීමට අපොහොසත් වන භික්ෂුවක් වෙයි නම් ඊළඟට එළැඹෙන නිකිණි පොහෝ දින සිට වස් වසන්නට කියලා. එය පසුවස් සමාදන්වීම කියලා කියනවා.

හේමන්ත, ගිම්හාන, වස්සාන යන සෘතු තුනට එක් සෘතුවකට මාස 04 බැගින් වෙනවා. ඉල්මස (නොවැම්බර් මස) අවපෑලවියෙන් ආරම්භ වී මැදින් මස (මාර්තු) පසළොස්වක දින දක්වා ඇති හාර මාසය හේමන්ත සෘතුවයි. මැදින් මස අව පෑලවියෙන් ආරම්භ වී ඇසළ මස පුර පසළොස්වක දින (ජූලි) දක්වා මාස හතර ගිම්හාන සෘතුවයි. ඇසළ මස අව පෑලවියෙන් ආරම්භ වී ඉල්මස පුර පසළොස්වක (නොවැම්බර්) දක්වා මාස හතර වස්සාන සෘතුවයි. මේ විදිහට බලන කොට වර්ෂා සෘතුව ආරම්භ වන්නේ ග්‍රීෂ්ම සෘතුව අවසන් වීමෙන්. මේ සෘතුවේ බලපවත්නා තද බල උෂ්ණත්වය නිසා ගහකොළ, පැළෑටි, තෘණ පත්‍ර වියළී ගොස් සතා සිවුපාවා පමණක් නොව මිනිසුන් පවා මිය යන අවස්ථා එදා පමණක් ද නොව අපට අදත් දැන ගන්නට ලැබෙනවා. මේ දඹදිව මධ්‍ය දේශය ආශ්‍රිත ව බලපවත්නා දේශගුණික ලක්ෂණයි. වස්සාන හෙවත් වර්ෂා කාලය උදාවෙන ඇසළ මාසය ආරම්භය සමඟ ගහකොළ, කුඩා පැළෑටි පමණක් නොව සතා සිවුපාවා, මිනිස් වර්ගයා ද සැනසීමක් ලබනවා. මෙසේ මඳ වශයෙන් වැස්ස ආරම්භ වී මහා වර්ෂාපතනයක් දක්වා වර්ධනය වුණාම එය ද දරා ගත නොහැකි තත්ත්වයක් උදා වන නිසා කුරුල්ලන් පවා එක් තැන් වී කැදලි හදා ගෙන වාසය කොට ගන්නා තත්ත්වයක් මේ කාලයේ ඇති වෙනවා. මේ නිසා මේ පාරිසරික වෙනස්කම් තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සංඝයා වහන්සේට වස්විසීම නියම කළා. බුදුරජාණන් වහන්සේ මේ නියමය කළත් වස්විසීම වුණත් කළ යුතු ස්ථාන මනා සිහි බුද්ධියෙන් තෝරා ගත යුතු වෙනවා. උපසම්පන්න සෑම භික්ෂූවක් ම දායකයන්ගෙන් ආරාධනා ඇතුව හෝ නැතුව හෝ ඉහත කී පෙර වස්විසීම කළයුතු ම යි. එසේ නොවුණොත් පසුවස් විසීම කළ යුතු වෙනවා. එය බුද්ධ නියමයයි. (මුලින් මේ ගැන සටහන් කළා) වස් වසන ස්ථානය අසහනකාරී පරිසරයක් තුළ විය යුතු වන්නේ නැහැ. සතා සිවුපාවාගෙන් හිංසනයක් නැති, සොර බිය නැති, අමනුෂ්‍ය කරදර නැති, ගොදුරු ගම එනම් වස් වසන භූමිය ජලයෙන් හෝ ගින්නෙන් විනාශ නොවන තැනක් විය යුතු යි. වස්වසන ආවාසය හෝ ගුහාව හෝ ආශ්‍රිත ගොදුරු ගම බත බුලත සරු, උපස්ථායකයන් ඇති, පරිසරයක විය යුතු වෙනවා. මෙවැනි බාධක රහිත ව වස්වසා වැඩ සිටින විට වුව ද යම් හෙයකින් යම් යම් ශීල පාරිශුද්ධියට අනතුරු වන යම් කාන්තාවකගෙන් ලැබෙන විනය විරෝධි යෝජනා ඇති වීම, වෛශ්‍යාවන්ගෙන් පෙළඹීම් ඇති වීම, ධන නිධාන සහිත භූමියක් බවට වස් වසන ස්ථානයක් බව තමන්ට දැන ගන්නට ලැබීම, වස් වසන ස්ථානයෙහි වසන තවත් භික්ෂූන් වෙත් නම් සංඝ භේදක යෝජනා ඇති වීම වැනි කරුණු ඉස්මතු වීමෙන් වස් කාලය අතරතුර දී වුවත් එම ස්ථානය අත්හැර යාමට භික්ෂුවට අවකාශ තිබෙනවා. එය වස් ඡේදනයෙන් වන ඇවැත සිදු වීමට හේතු වන්නේ නැහැ.

මේ අතර තවදුරටත් බුදුරජාණන් වහන්සේ වස් විසීමට සුදුසු සෙනසුන් වර්ග ද නිර්දේශ කර තිබෙනවා. පැවිද්දා පැවිදි ජිවිතය ආරම්භ කළ යුතු වන්නේ යටත් පිරිසෙයින් අතුපතර විහිදී ගිය විශාල ගස්මුලක (රුක්ඛමූල) වුව ද, එය සෙනසුනක් වශයෙන් ගෙන වාසය කිරීමට යි. තුන් කල් දක්නා අසාමාන්‍ය ඥානයක් ඇති අපේ සර්වඥයන් වහන්සේ මේ පැවිදි ජීවිතය පවත්වා ගෙන යාමට වස් කාලය ආරක්ෂාකාරි ව ගත කරමින් සතියෙන් යුක්ත චාරිතානුකූලව ලබා ගත් කර්මස්ථානය අනුව යමින් විමුක්තිය උදා කර ගන්නා කාල සීමාවක් ලෙස ප්‍රයෝජන ගත යුතු නිසා විකල්ප සෙනසුන් ද කිහිපයක් යෝජනා කරනවා. ඒ අතර විහාරය එයින් එකක්. මෙය වඩාත් සුදුසු සෙනසුනක්. ආරාමයක්. ආරක්ෂාකාරි වූවත්. කොළ අතුවලින් සෙවිලි කර හෝ යහනක් සහිත පුංචි කුටියක් වැන්නක්. අඩ්ඪයෝග නමින් කියැවෙන අඩක් හෝ සෙවිළි කළ වහලක්, පියස්සක් සහිත ස්ථානයක්. පාසාද නමින් කියවන වඩාත් පහසුකම් සහිත කිසියම් සුවදායක මන්දිරයක්. හම්මිය නමින් කියැවෙන මහල් සහිත වූ ගෙයක්. ඒ හැරුනාම ඉඩකඩ සහිත විශාල පර්වත කුහර නැති නම් ගල් ගුහාවක් බුදුරාජණන් වහන්සේ ගුහා යනුවෙන් පෙන්වා දී තිබෙනවා.

වස් වසන භික්ෂුවට ඉතා වැදගත් වන කරුණු අතර වැස්සෙන්, අව්වෙන් ආරක්ෂා විමට වහලය සහිත ගෙයක්, ගුහාවක් වීම වගේ ම එය උළුවලින්, පාෂාණයෙන් හෙවත් ගලින්, ගඩොලින්, තෘණ පත්වලින්, පිදුරු, කොළ අතු ආදියෙන් හෝ සෙවිලි වී තිබීම වැදගත් වෙනවා. ආරණ්‍යයක් වැනි ස්ථානයක මෙබඳු කුටියක වස් වසනවා නම් විශේෂයෙන් දොරගුලු තිබීම අත්‍යවශ්‍ය වෙනවා. කැලේ වනසතුන්, අලි, කොටි, වළස් ආදී සතුන්ගෙන් මෙන් ම සර්පයන්ගෙන්, සොරසතුරන්ගෙන් ආරක්ෂා වීමෙන් වස් කාලය කිසිදු බාහිර බාධකයකින් තොර ව විවේකයෙන් ගත කරමින් සසර විමුක්තිය උදෙසා වඩාත් වේගවත් ව කර්මස්ථාන වඩමින් කෙලෙස් ක්ෂය කිරීමට මෙසේ එක් තැනකට වී කාලය ගත කිරීම ආත්ම සාධනයට හේතු වෙනවා.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]