බැලුම්මහර ඉන්දානන්ද නාහිමිපාණෝ
ප්‍රධාන අධිකරණ
සංඝනායක පදවි ලබති
රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදි
බණ්ඩාරවෙල සාරද හිමි
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බැලුම්මහර සුන්දර ග්‍රාමයේ දසනායක
මුහන්දිරම්ලාගේ අබේරත්න දසනායක පියතුමන්ට සහ රණසිංහ කංකානමලාගේ රංජනී රණසිංහ
මෑණියන්ට දාව වර්ෂ 1984ක් වූ ඔක්තෝබර් මස 04 වැනි දින මෙලොව එළිය දුටු දසනායක
මුහන්දිරම්ලාගේ ඉන්දික මහේෂ් දසනායක නමින් පවුලේ වැඩිමලා ලෙස ජන්මලාභය ලැබීය.
තම දිවියේ දහ වන වසර ගෙවීයත්ම සසර පින් බලය මතු වී මෙම කුල කුමරා වර්ෂ 1995 ජූලි මස
07 වැනි දින රබ්බඩිගල අනෝමදස්සි මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්
බැලුම්මහර ඉන්දානන්ද නමින් පැවිදි දිවියට පත් විය.
ගම්පහ, බැණ්ඩියමුල්ල, විද්‍යාශේඛර මහ පිරිවෙනට ඇතුළත් ව තම පැවිදි ආචාර්ය උපාධ්‍යාය
මහ සඟරුවනේ ජීවිතානුභූතිය ලබමින් අධ්‍යාපනය ලබා 2003 වසරේ දී අ.පො.ස. උසස් පෙළ
විභාගය සමත් ව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාලි විශේෂවේදී උපාධිය ලබා ගත්හ. එම
අතරතුර 2005 වර්ෂයේ දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමින් රාජකීය පණ්ඩිත උපාධිය ලබා,
2004 වර්ෂයේ දී මහනුවර ඓතිහාසික රාජ පූජිත මල්වතු මහා විහාරීය උපෝසථාගාරයේ දී
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝසභාව ඉදිරියෙහි දි අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට
පත්විය.
2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව
ද, 2010 වර්ෂයේ කැලණි විශ්ව විද්‍යාලයානුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි
ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගැනීමට සමත් වූ අතර දර්ශනපති උපාධිය සඳහා
පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් සිටී.
2019 වර්ෂයේ දි පෙබරවාරි මස දෙවැනි දින උන්වන්සේගේ ගුරුදේවයාණන් වහන්සේ වූ
අතිපූජ්‍ය රබ්බඩිගල අනෝමදස්සි පණ්ඩිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අපවත්වීම
සිදුවිය. එතැන් පටන් ගම්පහ, බැණ්ඩියමුල්ල, විද්‍යාශේඛර පිරිවෙන් විහාරය මෙන් ම
ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් විහාරය යන විහාරයන්හි අධිපති ධුරයට පත් වූ උන්වහන්සේ
ක්‍රමානුකූලව භෞතික ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කරන ලදහ. අස්ගිරි පුරාණ
ගල්ලෙන් විහාරයෙහි එම කාලය තුළ වැඩ වාසය කළ කරපික්කඩ ජිනරතන නායක ස්වාමීන්ද්‍රයාණන්
වහන්සේ තම ධර්මාචාර්ය උත්තමයන් වහන්සේ ලෙස එම විහාරයෙහි භාරකාර විහාරාධිපතිත්වය
තවදුරටත් පවරමින් ඉදිරියට වැඩකටයුතු කරගෙන යෑමට ඉඩ සැලැස්වීම ගුරු ගෞරවය කදිමට
කියාපාන්නකි.
එම කාලය තුළ පරිවෙනාධිපති ධුරයේ වැඩකටයුතු සිදු කළ බණ්ඩාරවෙල සාරද නාහිමිගේ
විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ පරිවේණාධිපති ධුරය සඳහා බැලුම්මහර ඉන්දානන්ද ස්වාමීන්
වහන්සේ පත්වීම උන්වහන්සේගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයකි. වර්තමානය දක්වා ම එහි
පරිවේණාධිපති ධුරය දරමින් ගම්පහ, බැණ්ඩියමුල්ල, විද්‍යාශේඛර මහ පිරිවෙන බුද්ධ
පුත්‍රයකුට ලබා දිය හැකි උසස්ම බෞද්ධ අධ්‍යාපනය අගතැන්පත්වීමට අවශ්‍ය ශාසනික දැනුම,
අවබෝධය හා නිපුණත්වය ලබා දෙන සන්ධිස්ථානයක් බවට පරිවර්තනය කළහ. දෙස් විදෙස්
භික්ෂූන් වහන්සේ පැවිදි කොට එම ස්ථානය පවත්වාගෙන යෑමට අවශ්‍ය අඩිතාලම ද උන්වහන්සේ
සකස් කළහ.
තරුණ යතිවරයාණන් නමක ලෙසින් උන්වහන්සේ විහාරස්ථ ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලයෙහි
ප්‍රධානාචාර්යවරයා ලෙස දහම් පාසල නඟා සිටුවා ධර්ම අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට
විශාල කාර්යභාරයක් සිදු කළ අතර, උන්වහන්සේගේ ශාසනික ක්‍රියාකාරීත්වය ලොවට කියාපෑවේ
ධර්ම විද්‍යාලය හරහා ය.
2024 වර්ෂයේ දී ප්‍රදේශයේ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඒකමතිකත්වය මත උන්වහන්සේ
ගම්පහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරයට පත්වූ අතර, එම
පදවිය ද උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ දහම් පාසල් සංවර්ධනය කිරීම සඳහා ධර්ම
අධ්‍යාපනය ප්‍රවර්ධනය සුවිශාල කාර්යභාරයක් සිදු කළහ. ඒ අතර උන්වහන්සේගේ ප්‍රධාන
සංවිධායකත්වයෙන් සිදුකළ ජාතික දහම් පාසල් දින ප්‍රාදේශීය සැමරුම් උළෙල ශාසනාරක්ෂක
මණ්ඩලයේ කීර්ති රාවය නැංවීමට සමත් විය. උන්වහන්සේ විහාරස්ථානය, පිරිවෙන, දහම් පාසල,
ශාසනාරක්ෂක මණ්ඩලය ආදි තැන් පරිපාලනයට ලක් කරන ලද්දේ සහභාගිත්ව කළමනාකාරීත්වය යටතේ
වීම සුවිශේෂී කාරණයක් විය.
තරුණ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස, ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස, දක්ෂ ධර්ම
දේශකයකු ලෙස මේ සිදුකරන සියලු කාර්යභාරයන් දුටු ප්‍රදේශයේ නායක ස්වාමීන්ද්‍රයාණන්
වහන්සේගේ නිර්දේශය මත ස්‍යාමෝපාලි මහා නිකායෙහි මල්වතු මහා විහාර පාර්ශ්වයේ
ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහ සංඝ සභාවේ
ඒකමතිකත්වයෙන් උන්වහන්සේ සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට
පත්කරන ලදහ. එකී සන්නස්පත්‍ර ප්‍රදානය 2026 අගෝස්තු මස 21 වැනි දින සවස 2.30ට
මහනුවර මල්වතු විහාරයේ දී ද පිළිගැනීමේ උත්සවය 2026 අගෝස්තු මස 23 වැනි දින සවස
3.00ට ගම්පහ බැණ්ඩියමුල්ලේ ද සිදුකෙරේ.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට, භික්ෂු විනය ආරක්ෂා කොට, සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම
තහවුරු කිරීම සඳහා අභිනව නායක පදවිය කරණ කොටගෙන සුවිශාල සේවාවක් ඉෂ්ට සිද්ධ කිරීමට
බැලුම්මහර ඉන්දානන්දාභිධාන සියනෑ හාපිටිගම් දෙකෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අනන්ත බුදුගුණ බලයෙන් ශක්තිය ධෛර්යය උදාවේවා’යි
ප්‍රාර්ථනා කරමු. |