|
සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි
මහාචාර්ය
මල්වානේ චන්දරතන හිමි
මානව ලෝකයෙහි සැරිසරන ඕනෑම බිහිසුණු චරිතයක් තුළ අහිංසක සත්පුරුෂයකු සැඟවී ජීවත් වන
බව ශාස්තෘවරයෙක් ලෙස බුදුරජාණන් වහන්සේ තම ජීවිතය තුළ විශ්වාස කළ එක් දර්ශනයක්
වන්නේ ය.
මිනිසෙක් ලෙස ලොව ඉපදීමට පෙර භවයේ කුසල් රැස් කළ යුතු ය. එම නිසා ලොව පහළ වන
මිනිසකු තුළ අහිංසක මානව චරිතයක් තුරුල් කරගෙන මෙලොව උපදී.
එසේ වුව ද අප වටා පවතින කුරිරු සමාජය එකී අහිංසක චරිතය වට කරගෙන ඒ මත බිහිසුණු චරිත
නිර්මාණය කරයි. එම නිසා අද වන විට අප ජීවත්වන සමාජයේ අතිශයින් ම බිහිසුණු ගිනිගෙන
දැවෙන ලෝකයක් නිර්මාණය වී ඇත.
බුදුරජාණන් වහන්සේගේ ජීවන දර්ශනය තුළ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මෙම කුරිරු සමාජය
විසින් බලහත්කාරයෙන් පටවන බිහිසුණු චරිත නැති කොට, පෙර භවයේ කළ කුසල් සම්පත්තියෙන්
උරුම කොටගත් මව් කුසින් මෙලොව එළිය දකින අහිංසකයන් එළියට රැගෙන නැවත මිහි මත
ජීවත්වීමට අවශ්‍ය පරිසරය ලබා දීමයි. සුනීත, සෝපාක, අංගුලිමාල, සච්චක, ආලවක,
පටාචාරා, රජ්ජුමාලා වැනි බෞද්ධ සාහිත්‍යයේ අපට මුණගැසෙන චරිත බුදුරජාණන් වහන්සේ
අසරණයන්ට පිහිට වූ බවට දැක්විය හැකි උදාහරණ කිහිපයකි.
මෙම කතා ප්‍රවෘත්ති අතර අපට සංවේදී කතා පුවතක් ලෙස අංගුලිමාල කතාව හඳුන්වා දිය හැකි
ය. අංගුලිමාල වීමට පෙර ඔහුගේ සැබෑ නම අහිංසක ය. එදා බරණැස් නුවර තක්සලාවේ
දිසාපාමොක් ගුරු පූජාවට ඇඟිලි මාලයක් රැගෙන එන ලෙස අහිංසකට නියම කිරීමත් සමඟ ම
ඔහුගේ මුවින් පිටවු වදන් වැල අහිංසකගේ චරිතයෙහි සැබෑම ස්වභාවය මැනවින් ප්‍රකට කරයි.
“අපි අන්නට හිංසා නොකරන කුලෙහි උපන්නම්හ. එසේ නොකට හැක්කැයි කීයැ”
පොළොන්නරු යුගයේ ගුරුළුගෝමී පඬිවරයා විසින් රචිත බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී
බුදු ගුණ වැලේ පුරිසදම්මසාරථි ගුණය ගෙන රචිත අමාවතුරෙහි සඳහන් ඉහත ප්‍රකාශයෙන් එය
මැනවින් පැහැදිලි වේ. “ගුරුතුමනි, අපි අනුන්ට හිංසා කරන කුලයේ නොවෙමු. එහෙයින්
අනුන්ගේ ජීවිතය නැති කිරීම මට කළ නොහැකි ය.”
එහෙත් ගුරු පූජාව පැහැර හැරීම බරපතළ වරදක් කොට දිසාපාමොක් ඇදුරු ප්‍රකාශ කළාට පසුව
එදා මේ ලෝකයේ අහිංසකම චරිතය ‘අංගුලිමාල’ නම් මිනීමරුවෙක් බවට පත්විය. අහිංසක
අංගුලිමාල බවට පත් කළේ පන්තියේ ළමයි නොව, මෙම තක්සලාවේ දිසාපාමොක් ය.
අපේ බුදුරජාණන් වහන්සේ එම අංගුලිමාල රැගෙන අංගුලිමාල නැති කොට, ඒ තුළ සැඟවී සිටින
මන්තානි බැමිණියටත්, භාර්ග බමුණාටත් දාව මෙලොව එළිය දුටු අහිංසකට නැවත ජීවය ලබා
දෙමින් අංගුලිමාල රහතන් වහන්සේ ලෝකයට නිර්මාණය කොට පෙන්වා වදාළ සේක.
ඕනෑම බිහිසුණු චරිතයක් තුළ උපතින් මෙලොව එළිය දුටු අහිංසකයකු සැඟවී ජීවත් වන බව
ප්‍රකට කිරීමට මේ කදිම නිදසුනකි.
බුදුරජාණන් වහන්සේ හමු වූ අවස්ථාවේ අංගුලිමාලගේ මුවින් පිට වූ වදන් වැල මඟින්
බුත්සරණ කතුවරයා ද උත්සාහ ගෙන ඇත්තේ බුදු කරුණාව නිසා ලෝකයාගේ දුක් සෝ සුසුම් පහව
ගොස්, අහිංසකයන් නිවී සැනහී සුවපත් වූ ආකාරය ප්‍රකාශ කිරීමටයි.
“ඒ මිහිරි රුව ඇස හෙත් හෙත් ඒ මිහිරි කටහඬ කන හෙත් හෙත් දකුණතින් ගත් කඩුව වැටී හෙන
බව නොදැන වමතින් ගත් පළඟ වැටී හෙන බව නොදැන.......ශ්‍රී පාදයෙහි වැද වැතිර ගොස්....
දිවි පමණින් සරණ වන්මි, ඇස නිවී ගියේ ය. සිත සැනහී ගියේ ය. කළ පව් නිවී ගියේ ය.
ගැත්තවුට කරුණා කොට මහණ කොට වදාළ මැනවැයි”
ඉහත සඳහන් බුත්සරණෙහි නාලාගිරි දමනයෙහි එන සඳහන් පාඨක සිත් තුළ චිත්තරූප ජනනය
කිරීමට සමත් වෙයි. ශ්‍රාවක මනසේ සැරිසරන සැබෑ ම අහිංසකයකු අපට මැවි මැවී පෙනෙයි.
අංගුලිමාල චිත්‍රපටයේ මොහිදින් බෙග් ගායනා කරන ගීතය ද මෙහිදී අපගේ විශේෂ අවධානයට
යොමු විය යුතු ය.
“ඔබේ රාගී මන කැළඹේදෝ
ද්වේශය මෝහය නෑවේදෝ
එමවිට පවසන මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි”
මානව සිත් සතන් රාගයෙන් කැළඹෙන විට, ද්වේශයෙන්, මෝහයෙන් නැහැවෙන විට එකී පාපී
සිතිවිලිවලින් සිත නිදහස් කර ගෙන කුසල චේතනා ජනිත කරවීමට නම් බුදුරජාණන් වහන්සේ සරණ
යෑම කොතරම් ආශ්වාදජනක ද යන්න ගායකයා අපට කියා දෙයි.
“මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවි දෝ - මිනිසා
තිරිසන් වේවි දෝ
ඝෝර විසැති නයි පොළඟුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්.......”
මෛත්‍රී කරුණා සිතිවිලි වනගත වී, ඊර්ෂ්‍යා ක්‍රෝධයක් පිරුණු සිත් නිසා මිනිසා
තිරිසන් තත්ත්වයට පත්වීම කොතරම් නම් ඛේදජනක ද?
මිනිස් ගුණ කඳුළක් නැති නො මිනිසුන් මිනිස් වෙස් ගෙන අප වටා සැරිසරන්නේ විෂ ඝෝර
සර්පයන් මෙනි. එවැනි ලෝකයක් තුළ බුදුන් වහන්සේ අපට දේශනා කළ දහමට අනුව ජීවත්වීමට
හැකි නම් මේ ලෝකය කොතරම් සුන්දර ලොවක් බවට පත් කළ හැකි දැයි ගායකයා ව්‍යංග්‍යයෙන්
පවසා ඇත.
එසේම තවත් ව්‍යංග්‍යාර්ථයක් මෙහි ඇත. වන සතුන් සත්‍ය වශයෙන් ම අවංක ය. ඔවුන්ගේ
නපුරු බව මනස විවෘත කොට මුළු ලෝකයට ම පෙන්වා දී ඇත. මිනිසා එසේ නැත. සමහර මිනිසුන්
වංක ය.
“කොටියා සිංහයා ගොරවා රවා පනී
එනිසා ඔවුන් රුදු බව ලෝකයා දනී
මිනිසා සිනා සී කරුණා දයාවෙනී
අතගා ඔළුව ඇස් දෙක සූරලා ගනී”
එවැනි කුරිරු සමාජයක් හමුවේ එයින් මිදීමට නම්, ඇත්තේ බුදු බණ පදයක් බව මෙම ගායකයා
අවධාරණය කරයි.
“අමා ශාන්තියේ සෙවණැල්ලේ
ජන මන නැහැවූ ප්‍රේම ජලේ
මර සටනින් අපරාජිත වී
සුර නර පුද ලැබ පූජිත වී
ලෝක සිවංකර මාහිමිගේ
ධර්මය දස දෙස පැතිරේවා
සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි”
මේ ලෝකය සුවපත් කිරීමට නම් බුදුරදුන්ගේ ධර්මය දස දෙස පැතිරේවා යනුවෙන් කරන පැතුම
ගායකයා කුමන ජාතිකයකු වුව ද අප කාගේත් විශේෂ ගෞරවයට බඳුන් විය යුතු ය. ජීවත්වීමට
මිනිසාට අවශ්‍ය සදූපදේශ ඔවුන් වෙත නො ලැබී යාම නිසා ලෝකය අවුලෙන් අවුලට පත් වී ඇත.
කවියා මෙම ගීතය අවසන් කරන්නේ සැදැහැවත් උවසුවකුගේ හදවතින් ගලා යන කරුණා සීතල ජලයෙන්
මුසු වුණු සුන්දරතම වදන් පෙළකිනි.
“සැම දන තුඩ තුඩ රැව් දේවා
බුද්ධං සරණං ගච්ඡාමි”
මුළු මහත් ලෝකය ම දැහැමි, පැහැපත්, ප්‍රසන්න, ප්‍රියංකර, සුන්දර ලෝකයක් නිර්මාණය
කිරීමට නම් සියලු ලෝ වැසියන්ගේ මුවෙහි නිරන්තරයේ ම රැව් පිළිරැව් දිය යුත්තේ
‘බුද්ධං සරණං ගච්ඡාමි’ යන පූජනීය වදන් පෙළයි. |