පහසුකම් නැති පාසල් දරුවන්ගේ සාක්ෂරතාව දියුණු කිරීමට කැපවෙනවා - නෙලුවේ ඤාණවිමල හිමි

පහසුකම් නැති පාසල් දරුවන්ගේ සාක්ෂරතාව දියුණු කිරීමට කැපවෙනවා

නෙලුවේ ඤාණවිමල හිමි

දන්සලක් යැයි ඇසුණ විට අපට එකවර ම සිහිපත් වන්නේ ආහාරපාන. ඉන් ඔබ්බට ගොස් මිනිසුන්ගේ හිතසුව පිණිස, සැපය පිණිස, සරණක් වීම පිණිස කටයුතුª කරන අපූරු දන්සලක් ගැන අපට අසන්නට ලැබුණා. විහාරස්ථානයක් තුළ පවත්වාගෙන යන මේ අපූරු දන්සල ගැන ඔබට කියන්නට අප නෙලුවේ ඤාණවිමල ස්වාමින් වහන්සේට ආරාධනා කළා. මේ උන්වහන්සේ සමඟ කළ සාකච්ඡාවක්.

ස්වාමීන් වහන්ස, අපේ දන්සල ඇරඹුණේ කවදා ද? කවුරුන් වෙනුවෙන් ද?

“අපේ දන්සල” මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ පුණ්‍ය ව්‍යාපෘතියක්. 2016 වර්ෂයේ දී යි ආරම්භ කළේ. ඒ සිරිපා පුදබිමේ දී. ශ්‍රී පාදස්ථානය කරුණා කරන සැදැහැවතුන්ට ඉදිකටු පහන ළඟ සිට පියගැට පෙළ තරණය කිරීම ඉතා දුෂ්කරයි. ඒ වගේ ම වෙහෙස කරයි. ඉතා අපහසුවෙන් සිරිපා කරුණා කරන පින්වතුන් මම දුටුවා. එනිසා අපි ශ්‍රී පාදස්ථානය කරුණා කරන උදවියට හොඳින් සකස් කළ කුරුඳු ලීයෙන් තැනූ හැරමිටි පූජා කළා. ඊළඟ වාරයේ දී සාම චෛත්‍ය මළුවේ පාන් සමඟ සීනි සම්බෝල දන්සලක් දුන්නා. ඒ පුණ්‍යකර්මයෙන් අපි විශාල පිනක් රැස් කර ගත්තා. 2017දී ඒ ස්ථානයේ දී කඩල දන්සලක් දෙන්නට හැකි වුණා. ඉන්පසු ව වාර්ෂික ව සිරිපා පුදබිමේ දන්සල අඛණ්ඩ ව කරගෙන යනවා.

බණ්ඩාරවෙල සත්බුදු සෑයේ හතරැස් කොටුවේ ධාතු නිධාන පින්කම යෙදුණේ 2017 වසරේ දී. ධාතුන් වහන්සේ වන්දනාවට එන පින්වතුන් උදෙසා රොටී දන්සලක් දුන්නා. ඉන්පසුව දන්සල ක්‍රමයෙන් දියුණූු වුණා. ඒ සමඟ දන්සලට අවශ්‍ය විශාල උපකරණ ක්‍රමයෙන් හදා ගත්තා. දැන් ‘අපේ දන්සල’ විශාල ආහාරමය දානයෙන් එහා ගිය පුණ්‍ය ව්‍යාපෘතියක් දක්වා දියුණු වී තිබෙනවා.

මේ පින්සාර කටයුත්ත ආරම්භ වන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සිතේ මැවුන උදාර සංකල්පයක් අනුව යි. උන්වහන්සේ කුඹල්වෙල මහමෙව්නාව අසපුවට වඩින සෑම දිනක ම කියනවා, මේ කන්ද උඩට එන සැදැහැවතුන්ට තේ එකක් හරි දෙන්න ක්‍රමයක් තිබෙනවා නම් හොඳයි කියලා. කුඹල්වෙල සිට අසපුවට කි.මී. 5 පමණ උඩට එන්න ඕනෑ. ඒ අතරතුර කෑම ගන්න කිසිදු ස්ථානයක් නැහැ. එයට විකල්පයක් ලෙස තමා “අපේ දන්සල්” තේමාව යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඉන්පසුව සත්බුදු සෑයේ කන්ද උඩට ශ්‍රමදාන කරන්න එන පිරිසට කුරහන් කැඳ දන්සල ආරම්භ වුණා. අපි දෛනික ව දෙන කුරහන් කැඳ දන්සලේ ආරම්භය එයයි.

විශාල පිරිසක් වෙනුවෙන් දෛනික ව මෙවැනි දන්සලක් කරගෙන යාමේ දී මුහුණදෙන අභියෝග ජය ගන්නේ කොහොම ද?

අභියෝග නම් රාශියක් තිබෙනවා. ලංකාවේ ආර්ථිකය සමඟ භාණ්ඩ මිල ඉහළ යාම, අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අපහසුව, ප්‍රවාහනය ආදියට විශාල මුදලක් වැය වෙනවා.

මුල් කාලයේ අපි පින්වතුන්ට දන්වා සිටියා අපි මෙවැනි දන්සලක් දෙනවා. පුළුවන් කෙනෙක් අපට අමුද්‍රව්‍ය ගෙනැවිත් දෙන්න කියලා. ඒ අනුව පිරිස අපට උදව් කළා. එහිදී තිබුණ අපහසුතා දුරුකරගෙන එන අභියෝග යම් මට්ටමකට ජය ගත්තා. ඒ වගේම ඇතැම් දෙනා දිනක දන්සලට යන වියදම් භාර ගත්තා. තමන්ගේ ජීවිතයේ විශේෂ දිනවලට ඔවුන් දන්සලේ දින වෙන්කර ගෙන දන්සල පවත්වාගෙන යෑමට උදව් කළා. ඒත් දිනපතා දන්සලක් කරගෙන යාම විශාල අභියෝගයක්.

ස්වාමින් වහන්ස, අපේ දන්සල ව්‍යාපෘතිය මහා පින්කමක් බවට වර්ධනය වෙලා. ඒ ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකි ද?

මේ දන්සලේ ආහාරපානවලට මුල් තැනක් දෙනවා. පසළොස්වක පෝ දින උදේ 6 සිට රාත්‍රී 9 වනතුරු අපි සිල් සමාදන් වූ උපාසක පිරිසට වගේම මෙම පුණ්‍ය භූමියට පැමිණෙන සියලු ම දෙනාට විවිධ ආහාරපානවලින් සංග්‍රහ කරනවා.

ඉන් එහා යමින් පාසල් දරුවන්ට, සෞඛ්‍ය සේවාවට උදව් කරනවා. එලෙස ම අපේ මව්බිමේ කලින් කලට ඇතිවන ස්වභාවික විපත්වල දී සහ හදිසි ආපදාවලදීත් අපේ උපරිම දායකත්වය දෙමින් කටයුතු කරනවා. ඒ වගේම අවස්ථානුකුල ව මැදිහත් විය යුතු යම් යම් කරුණු යෙදුණොත් එයටත් මැදිහත් වීමක් වෙනවා.

එනිසා “අපේ දන්සල” ව්‍යාපෘතිය එක පැත්තකින් අසරණ වූ පිරිසට උදවු කරන ව්‍යාපෘතියක්. ජාති, ආගම් කුල භේදයෙන් තොරව උපකාර කරන පුණ්‍ය ව්‍යාපෘතියක්, පොදුවේ කරන මේ සෑම කටයුත්තක දී ම විනිවිද භාවයෙන් කටයුතු කරනවා. මිනිසුන්ගේ හිතසුව පිණිස, සැපය පිණිස, සරණක්වීම පිණිසයි. මේ සියලු කටයුතු කරන්නේ.

ඔබ වහන්සේ වදාළ ආකාරයට අපේ දරුවන්ගේ යහපත උදෙසා ක්‍රියාත්මක වන වැඩසටහන් මොනවා ද?

2025 ජූනි 25 වැනි දා අප “පරාර්ථයේ සමාජ සත්කාරය” නමින් වැඩසටහනක් ආරම්භ කළා. එය සම්පූර්ණයෙන් ම ‘අපේ දන්සල’ ව්‍යාපෘතියේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ. එහිදී දරුවන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීමට උදව් කරනවා. අපේ රටේ පිටිසර පළාත්වල දුෂ්කර පාසල් තිබෙනවා. කිසිවකුගේ අවධානය යොමු නොවූ වගේ ම නගරබද පාසල් දරුවන්ට ලැබෙන පහසුකම් කිසිවක් නැති හුදෙකලාව තිබෙන පාසල්. විශේෂයෙන් ම අප උත්සාහ කරනවා ඒ දරුවන්ගේ සාක්ෂරතාව දියුණු කිරීමට අපේ දායකත්වය ලබා දෙන්න. අනාගතයේ තිබෙන්නේ තාක්ෂණික ලෝකයක්. තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීමට දරුවා ඒ තාක්ෂණ ලෝකයට ඇතුළත් විය යුතු වෙනවා. මෙය දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙහිදී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නට ලොකු වෙහෙසක් ගත යුතු නිසා අපි අවධානය දුන්නේ ස්මාට් බෝඩ් එකට. ස්මාට් බෝඩ් තුළින් වේගයෙන් දරුවාට දැනුම ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ලක්ෂ 3ක් වටිනා ඒ බෝඩ් දුෂ්කර පාසල්වලට ලබා දී තිබෙනවා. එතැනින් නොනැවතී බටහිර තූර්යවාදන කට්ටල, පාසල් බෑග් සහ අවශ්‍ය සියලු දේ සමඟ කෑම වේලක් දරුවාට ලබා දෙනවා. ගුරුවරුන්ට අවශ්‍ය දේ ලබා දෙන්නත් අපි උත්සාහ කරනවා. එක පාසලක ස්මාට් බෝඩ් එකට සහ තූර්යවාදක කට්ටලය සඳහා අපට ලක්ෂ පහකට අධික මුදලක් වැය වෙනවා.

2025 ජුනි 26 වැනි දා අනුරාධපුර, ගල්ලෑල්ල සිරිසඟබෝ විදුහලෙන් ආරම්භ කළ මේ වැඩසටහන අද වන විට විද්‍යාල එකොළහක් වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබෙනවා.

මීමුරේ, කයිකාවල විදුහල ලංකාවේ තිබෙන ඉතාම දුෂ්කර හුදෙකලා වූ පාසලක්. මෙවර ඒ පාසලේ ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ විභාගයෙන් දරුවෝ ඉහළින් සමත්වෙලා තිබෙනවා. පාසලේ ගුරුවරු අපව දැනුවත් කළේ ස්මාට් බෝඩ් නිසා දරුවන්ට ඉගැන්වීම පහසු වූ බවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර අධ්‍යාපන කලාප දෙකක් තිබෙනවා. එකක් වියලුව. අනෙක පස්සර. මීගහකිවුල අයත් වන්නේ වියලුව ප්‍රදේශයට යි. සම්පූර්ණයෙන් ම ගොවිතැනින් ජීවත්වන පිරිසක් සිටින ප්‍රදේශයක්. 2025 දිට්වා විපතේ දී මීගහකිවුල ජාතික පාසල දැවැන්ත නාය යාමකට හසු වුණා. පාසල්වලට ලබා දී ඇති වැඩිම පිරිවැය අප ඒ පාසල වෙනුවෙන් වැය කළා. සියලුම දේ අහිමි වූ පාසලක් ගොඩනැඟීම දුෂ්කරයි. පාසලට අවශ්‍ය උපකරණ, මාධ්‍ය ඒකකය, පරිගණක, විදුහල්පතිගේ කාර්යාලීය උපකරණ, සංගීත භාණ්ඩ, පොත් කට්ටල සහ පාසලේ විනාශ වූ සියලු ම දේ තිබුණාටත් වඩා හොඳ සන්නාමයක් සහිත දේ ලබා දුන්නා. දරුවන්ට නැවතත් යහපත් මානසිකත්වයෙන් අධ්‍යාපනය හදාරන පාසලක් ලෙස මීගහකිවුල ජාතික පාසල යළි ගොඩනඟන්නට අපට පුළුවන්කම ලැබුණා. එය අප ලැබූ විශාල ජයග්‍රහණයක්.

ස්වාමීන් වහන්ස, අපේ දන්සලේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් යමක් කරන්න අප අවධානය යොමු කරලා තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ ප්‍රධාන රෝහල්වල තිබෙන පිළිකා ඒකක මුල්කරගෙන අපි කෙසේ ද දායකත්වයක් දරන්නේ කියලා සොයමින් සිටින්නේ. මේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් බොහෝ අසරණ වෙලයි ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රෝගීන්ගේ ගමන් වියදම් සමඟ එදිනෙදා අවශ්‍යතා සොයා බලා උපකාර කරන්න. මෙවැනි රෝගියෙක් පවුලක සිටිනවිට ඒ පවුලේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටෙනවා. අප උත්සාහ කරනවා එවැනි පවුල්වලට ආර්ථිකමය ශක්තියක් ලබා දීමට. එලෙස ම වකුගඩු රෝගීන් ද අප රටේ දැන් වැඩි වෙමින් සිටිනවා. අපි අවධානය යොමු කරනවා ඒ රෝගීන් වෙනුවෙන් ද යම් මැදිහත් වීමකට.

ඇසළ පුර පසළොස්වක

ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05න් ගෙවේ.
29 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජූලි 29

Second Quarterඅව අටවක

‍‍‍අගෝස්තු 06

Full Moonඅමාවක

අගෝස්තු 12

First Quarterපුර අටවක

අගෝස්තු 20 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]