|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 57 කොටස: සියලුදෙනා එකට බඳින
සදාතනික ධර්මතාව
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
නා නා විධ රෝගාබාධවලින් පෙළෙමින් රෝහල්ගත ව සිටින සියල්ලන් වෙත සාමය හා සතුට ළඟා
වේවා! ඔවුන්ගේ වේදනා, දුක්පීඩා, සන්තාප, කලකිරීම්, සාංකා හා බිය දුරු වේවා! මේ
මෛත්‍රී සිතිවිලි ඔවුන් වැළඳගෙන වසා ගනිත්වා. ඔවුන්ගේ සිත කය මෙත් සිතුවිලිවලින්
පිරේවා!
දරුවන් ප්‍රසූත කරමින් ප්‍රසව වේදනාවෙන් පෙළෙමින් සිටින සියලු මව්වරුන්ට සාමය හා
සතුට ළඟා වේවා! ඔවුන්ගේ සිත්වල හා සිරුරවල සෑම ලේ බිංදුවක් ම, සෑම සෛලයක් ම, සෑම
පරමාණුවක් ම, සෑම අංශුවක් ම මෙත් සිතිවිලිවලින් ශක්තිමත් වේවා!
සිය දරුවන් රැකබලා ගන්නා සියලු මව්වරුන්ට හා පියවරුන්ට සාමය හා සතුට ළඟා
වේවා! ජීවිතයේ නොවැළැක්විය හැකි පරාජය වීම්, ගැටලු හා දුෂ්කරතාවලට මුහුණදී ජය
ගැනීමට අවශ්‍ය ඉවසීම, ධෛර්යය, අවබෝධය හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා! ඔවුහු සුවපත්
වෙත්වා! සතුටු වෙත්වා! සාමකාමී වෙත්වා!
වැඩිහිටියන් විසින් නොයෙක් ආකාරයෙන් අපයෝජනය කරන ලද සියලු ළමයින්ට සතුට හා සාමය ළඟා
වේවා! ඔවුහු මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා සහගත සිතිවිලිවලින් පිරෙත්වා! ඔවුහු
මුදුමොළොක් වෙත්වා! සන්සුන් වෙත්වා! ඔවුන්ගේ හදවත් සෞම්‍ය වෙත්වා! ඔවුන්ගේ වචන
ප්‍රියමනාප වෙත්වා! ඔවුහු බිය, ආතතිය, සාංකාව, අසහනය හා නොසන්සුන්කමින් මිදුණෝ
වෙත්වා!
සියලු පාලකයෝ මෘදු වූ, කාරුණික වූ, ත්‍යාගශීලී වූ, දයාබරිත වූවෝ වෙත්වා! පීඩාවට පත්
වූ, අඩු වරප්‍රසාද ඇත්තා වූ වෙන්කොට සලකනු ලබන්නා වූ, දිළිඳු බවෙන් මිරිකුණා වූ
තැනැත්තන් ගැන අවබෝධයක් ඔවුන්ට ලැබේවා! අවාසනාවන්ත රටවැසියන්ගේ දුක්පීඩා කෙරෙහි
හදවත් උණුවේවා! මේ මෛත්‍රී සිතිවිලි ඔවුන් වැළඳගෙන වසාගෙන පැතිරේවා! ඔවුන්ගේ සිත්
සතන්හි සෑම සෛලයක් ම, සෑම ලේ බිඳුවක් ම, සෑම පරමාණුවක් ම, සෑම අංශුවක් ම මෛත්‍රී
සිතිවිලිවලින් පිරේවා! මෛත්‍රියෙන් පැනනඟින සාමය හා සැනසුම ඔවුන්ගේ සිත් සතන්
වෙළා
ගනිත්වා! පීඩාවට පත්වූ අඩු වරප්‍රසාද ඇත්තා වූ, දිළිඳුකමින් පීඩා විඳීන්නා වූ සහ
වෙන්කොට සලකනු ලබන්නා වූ, සියල්ලන් වෙත සාමය හා සතුට ළඟා වේවා! ඔවුහු වේදනා,
දුක්පීඩා, සන්තාප, කලකිරීම් සාංකා හා බිය නැත්තෝ වෙත්වා! විශ්වය හාත්පස, සියලු
දිසාවන්හි සිටින එබඳු සියල්ලෝ ම සුවපත් වෙත්වා! සතුටු වෙත්වා! සාමකාමී වෙත්වා!
ජීවිතයේ නො වැළැක්විය හැකි පරාජය වීම්, ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දී ජය ගැනීමට
අවශ්‍ය ඉවසීම, ධෛර්යය, අවබෝධය හා අධිෂ්ඨානය ඔවුන්ට ලැබේවා! මේ මෛත්‍රී සිතිවිලි
ඔවුන් වැළඳගෙන වසාගෙන පැතිරේවා! ඔවුන්ගේ සිත් සතන් මෛත්‍රී සිතිවිලිවලින් පිරෙත්වා!
සියලු දිසාවන්හි සිටින සියලු ආකාර සත්ත්වයෝ ද, දෙපා සත්ත්වයෝ ද, සිවුපා සත්ත්වයෝ ද,
බහුපා සත්ත්වයෝ ද, අපා සත්ත්වයෝ ද, උපන් සත්ත්වයෝ ද, උපත බලාපොරොත්තු වන්නා වූ
සත්ත්වයෝ ද, මේ සක්වල හා අනෙකුත් සක්වල සිටින සත්ත්වයෝ ද සතුටු සිත් ඇත්තෝ වෙත්වා!
කිසිවකු තව කිසිවකු රැවටීමට ලක් නොකෙරේවා! කිසිවෙක් තව කිසිවකුට ගැරහුම් නොකෙරේවා!
කිසිවෙක් කිසිවකුට නපුරක් නො සිතාවා! මගේ අප්‍රමාණ වූ මෛත්‍රී සිත සියලු සත්ත්වයන්
කෙරෙහි උඩ, යට, හාත්පස, සියල්ලන් කෙරෙහි බාධාවකින් තොරව, වෛරයෙන් තොරව, අමනාපයෙන්
තොරව පැතිරේවා, සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා! ශාන්ත සැපතට පත්වෙත්වා!
මෛත්‍රිය, සියලු සීමා බිඳගෙන ආගමික, සංස්කෘතික, භූගෝලීය, භාෂාමය හා ජාතිමය, සියලු
සීමාවලින් ඔබ්බට යන්නකි. අප කුමන රූපයකින් පෙනී සිටිය ද මෛත්‍රිය අප සියලු දෙනා එකට
බඳීන, විශ්වීය හා සදාතනික ධර්මතාවකි. සීමා බන්ධන කිසිවකින් තොරව මෛත්‍රිය පුරුදු කළ
යුතු ය. මගේ සතුරාගේ වේදනාව මගේත් වේදනාවයි. ඔහුගේ කෝපය මගේත් කෝපයයි. ඔහුගේ
මෛත්‍රිය මගේත් මෛත්‍රිය යි. ඔහු සතුටින් නම් මාත් සතුටිනි. ඔහු නිරෝගි නම් මම ද
නිරෝගි වෙමි. අපගේ වෙනස්කම් අමතක කොට, දුක බෙදා ගන්නා සේ ම සියලු දෙස, සියලු දෙනා
සමඟ මෛත්‍රිය ද අපි බෙදා ගත යුතු වෙමු. කිසිම ජාතියකට අනෙකුත් ජාතීන්ගේ ආධාර
උපකාරයෙන් තොරව පැවතිය නොහැකි සේ ම, කිසිම පුද්ගලයකුට හුදෙකලාව ජීවත් විය නොහැකි ය.
ජීවිතය පවත්වා ගැනීම සඳහා, අවශ්‍යයෙන් ම අපට වඩා වෙනස් වූ අනෙකුත් සත්ත්වයන් අපට
වුවමනාම ය. ලොව පවත්නා සැටි එසේ ම ය. අප අතර ඇති වෙනස්කම් නිසා ම මෛත්‍රිය පුරුදු
කිරීම අනිවාර්ය ය. අප සියල්ලන් එකට බැඳ තබන්නේ මෛත්‍රිය යි. |