[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අකම්පිත සිත් දැරූ ශාස්තෘන් වහන්සේ

සකලික සූත්‍රයෙනි:

අකම්පිත සිත් දැරූ ශාස්තෘන් වහන්සේ

ශාන්තිනායක තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් ගිජ්ඣකූට පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටි සේක. බුදුරජාණන් වහන්සේ මරා දමන්නට ඕනෑ යැයි නොයෙක් උපක්‍රම කරමින් කල්ගත කළා වූ දෙව්දත් තෙර ඒ අවස්ථාවෙහි ගිජ්ඣකූට පර්වත මස්තකයට නැඟ පර්වත ප්‍රාන්තයෙහි සක්මනෙහි යෙදී සිටින බුදුරජාණන් වහන්සේ මරා දමන්නෙමි යි ඇතිකර ගත් පවිටු සිතින් මහ ගලක් ගිජ්ඣකූට පර්වත මස්තකයෙන් පෙරළා හැරියේ ය.

දෙව්දතුන් හට බුදුගුණ තේරුම් ගත නොහැකි වුව ද, සිත් පිත් නොමැති වස්තු පවා බුදු අනුහසින් බුදුරජාණන් වහන්සේගේ ආරක්‍ෂාව සැලසීම ස්වභාවය බැවින්, වෙනත් ගලක් උඩට නැඟ පෙරළෙන්නා වූ ගලෙන් බුදු සිරුර නැසෙන්නට නොදී වළකා, ඒ ගලට හරස්ව සිටියෙන් ගල් දෙක ගැටීමෙන් ගැලවී ගිය පතුරක් බුදු සිරිපා මතැ හැපී ලේ තැල්මක් ඇති විය. බුදු සමිඳුන් නසන්නට යැයි කොතරම් උත්සාහ දැරුවත් කිසිවකුට එය කළ හැක්කක් නොවේ. යටත් පිරිසෙයින් බුදු සිරුරෙන් ලේ බිඳකුදු පිටවී යන්නට පවා සලසාලිය නො හැකි ය. මොනතරම් සතුරකුට වුවත් බුදු සිරුරට කළ හැකි ලොකු ම හානිය නම් තැලීමෙන් සිදුවන්නා වූ ලේ සෙළවීම පමණකි. දෙව්දත් ගල් පෙරළීමෙන් සිදු වූයේ ද එයයි. මෙසේ ගල් පතුරෙන් තැලී ලේ සෙලවී ගියෙන්, එය බුදුරජාණන් වහන්සේට මහත් වේදනාවක් විය. එවිට ගිජකුළු පව් මුදුනට නෙත් යොමු කළ බුදුරජාණන් වහන්සේට දක්නට ලැබුණේ ඊ මතැ සිටි පවිටු දෙව්දත් ය. ඔහු දුටු බුදුරජාණන් වහන්සේ ඔහු අමතා

“බහු තයා මොඝ පුරිස අපුඤ්ඤං පසුතං යො ත්‍වං පදුට්ඨ චිත්තො වධක චිත්තො තථාගතස්ස ලොහීතං උප්පාදෙසීති.”

හිස් පුරුෂය, නුඹ දුෂ්ට සිතින් තථාගත බුදුවරයාගේ ලේ සෙලවීමෙන් මහත් පවක් රැස් කර ගන්නා ලද්දේ යැයි ප්‍රකාශ කළ සේක. දෙව්දත් කළ මේ අපරාධය නිසා බුදුරජාණන් වහන්සේට ඇති වූ වේදනාවෝ අතිශය දුක්ඛදායක වූහ. දැඩි වූහ. රළු වූහ. තියුණු වූහ. අමිහිරි වූහ. අමනාප වූහ. බලවත් ශාරීරික වේදනාවෝ ඇති වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු වේදනා සිහි ඇති ව, මනා නුවණ ඇති ව, නො පෙළෙමින් ඉවසා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මෙසේ දරුණු වූ, කටුක වූ වේදනා ඉවසනු දුටු සතුල්ලප කායික නම් දේව නිකායකට අයිති දෙව් පිරිසක් ඒ ගැන පසසා මෙසේ ප්‍රකාශ කළහ.

කාය බල, ඤාණ බල යන බල ඇති හෙයින් හා අගති විරහිත හෙයින් නාග නම් වූ බුදුරජාණන් වහන්සේ නාග බැවින් ම නො වෙහෙසෙමින් කටුක දුක් ඉවසන සේක. කවර කරුණක් නිසාවත් තැති නොගන්නා වූ නිසා සීහ නම් වූ බුදුරජාණන් වහන්සේ සිංහ බැවින් ම කටුක දුක් ඉවසන සේක. කරුණු නො කරුණු මැනැවින් දැනගත හැකි හෙයින් අජානෙය්‍ය නම් වූ බුදුරජාණන් වහන්සේ අජානේය බැවින් ම, කටුක දුක් ඉවසන සේක. කිසිවකු හා නො සම බැවින් නිසඟ නම් වූ බුදුරජාණන් වහන්සේ නිසඟ බැවින් ම කටුක දුක් ඉවසන සේක. ධුරවහනය කරන බැවින් ධොරයහ නම් වූ බුදුරජාණන් වහන්සේ ධොරයහ හෙයින් ම කටුක දුක් ඉවසන සේක.

දාන්ත වූ බුදුරජාණන් වහන්සේ දාන්ත බැවින් ම කටුක වූ දුක් වේදනා ඉවසන සේක. මෙසේ වූ පුරුෂ නාගයකු, පුරුෂ සිංහයකු, පුරුෂා ජානීයයකු, පුරුෂ නිසභයකු, පුරුෂ ධෝරයහයකු, පුරුෂ දාන්තයකු යමෙක් පෙළෙන්නට සිතන්නේ නම්, ඔවුන්ගේ ඒ දුෂ්ට විමනනය දහම් නො දැනීම මිස අන් කවරක් දැයි ප්‍රකාශ කළහ.

මෙසේ මහත් වේදනායෙන් පෙළුණු බුදුරජාණන් වහන්සේට ගිජුකුළු පව් පෙදෙස සුව පහසු නො වූ නිසා ද, ගිහි පැවිදි සැදැහැත්තන්ට ගැවැසෙන්නට ඉඩ පහසු මඳ නිසා ද, භික්‍ෂූන් වහන්සේ දෝලා ඇඳක තබාගෙන බුදුරජාණන් වහන්සේ මද්දකුච්ඡි නම් වූ මුව වනයට වැඩම කරවාගෙන ආහ. බුදුරජාණන් වහන්සේ සඟල සිවුර සිවු ගුණයක් කොට නමා ඊ මතැ දකුණු පසින් වම් පය මඳක් ඈත්ව තබා සිංහශෙය්‍යාවෙන් සැතැපුණු සේක. එවිට පාපී වූ මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙහි දැක්වෙන ගාථාව කීවේ ය.

මන්‍දියා නු ඛොසේසි
උදාහු කාවෙය්‍යමත්තො
අත්‍ථා නුතෙ සම්පචුරා නසන්ති
එකො විචිත්තේ සයනාසනම්හි
නිද්දාමුඛො කිමිදං සොප්පසෙචාති

තමුන්නාන්සේ මුළාවෙන් හෝ කවිත්‍වයෙන් හෝ මත් වී සයනය කරන්නෙහි ද? තමුන්නාන්සේට

කිසියම් වැඩෙක් නැද්ද? ජනයාගෙන් වෙන් වූ සයනාසනයන්හි නිදිබර මුහුණු ඇති ව තනිවැ ම කුමක් නිසා නිදාගන්නහු ද? එවිට භාග්‍යවතුන් වහන්සේ,

නමන්‍දියා සයාමි නාපිකාචෙය්‍යමත්තො
අත්‍ථා සමෙච්චාහ මපෙත සොකො
එකො විචිත්තෙ සයනාසනම්හි
සයාමහං සබ්බභූතානුකම්පි

මම මුළා බැවින් නොනිදමි. කවිත්‍වයෙන් මත් වැ හෝ නොනිදමි. මම පරමාර්ථයට (උසස්

බලාපොරොත්තුවට) මැනැවින් පැමිණ ශෝක නොකරන්නෙක් ව විවේක වූ සෙනසුනෙක්හි හුදෙකලාව සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙමි.

යෙසම්පි සල්ලං උරසී පවිට්ඨං
මුහුං මුහුං හදයං වෙධමානං
තෙපීධ සොප්පං ලබ්භංර ස සල්ලං
තස්මා අහං න සුපෙ වීතසල්ලො

යම් කෙනකුගෙන් ළෙහි තියුණු හුදෙක් පිවිසියේ ද? එහෙයින් හෘදය මොහොතින් මොහොත සැලෙන්නේ වේ ද? මේ ලෝකයේ එබඳු රාගා දි හුල් ඇති ඔහු පවා නිදි ලබත්, සියලු රාගා දි හුල් පහව ගියා වූ මම කුමක් හෙයින් නිදි නො ලබම් ද?

ජග්ගං න සංකෙ නපි භෙමි සොත්තුං
රත්තින්‍දිවා නානු තපත්ති මා මං
හානං න පස්සාමි කුහිඤ්චි ලොකෙ
තස්මා සුපෙ සබ්බභූතානුකම්පී

නිදි වර්ජිත කොට සිටින්නෙම් ද? සැක නො කරමි. නිදන්නටත් බිය නො වෙමි. රෑ දවල්හු මා තැවීමට පත් නො කරති. ලොව කිසි තැනෙක මාගේ පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරන ස්වභාවය ඇත්තෙන් ම සයනය කෙරෙමි යි වදාළ සේක.

දරුණු වේදනාවෙන් පෙළෙමින් විවේකී ව සයනය කළා වූ බුදුරජාණන් වහන්සේට නින්දා කිරීම පිණිස මාරයා විසින් බුදුරජාණන් වහන්සේ මුළාවට පැමිණීමෙන් හෝ පාණ්ඩිත්‍යයෙන් මත්වීමෙන් හෝ කාලය නාස්ති කිරීමට සැතපෙන බවක් පවසන්නට ප්‍රකාශ කළ ගාථාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ගාථා තුනෙන් උන්වහන්සේ මාරයා සිතන්නා වූ මුළාවකින්, මත්වීමකින් හෝ සයනය නො කරන බවත්, යම් පරමාර්ථයක් ප්‍රත්‍යක්‍ෂ කළ යුතු නම්, ඒ නිර්වාණ පරමාර්ථය ප්‍රත්‍යක්‍ෂ කොට, තමන් වහන්සේ ශෝක රහිත ව හැම සත්ත්වයන් කෙරෙහි ම අනුකම්පා සහගත ව “කවර නම් සත්ත්වයකුට පිහිට වන්නෙම්”දැයි සිතමින් විවේකී ව සයනය කරන බවත්, මුල් ගාථාවෙන් පවසා දෙවැනි ගාථාවෙන් රාගා දී උල් ඇණෙමින් නොයෙක් විට කම්පා වන්නා වූ අය පවා නිදියනවා නම්, එබඳු රාගා දී හුල් උදුරා දමන ලද හෙයින් පහවූ රාග සලල ඇති, පහවූ මෝහ සලල ඇති, මම කුමක් නිසා නිදි නො ලබන්නෙක් වන්නෙම් දැයි ඇසූහ.

තෙවැනි ගාථාවෙන් තමන් වහන්සේ නො නිදා සිටියත් සැක බිය නැති ව වෙසෙන බවත්, රෑ දවල් දෙකෙහි ම කවර මොහොතෙක්හි වුවත් තැවීමට හේතු වන්නා වූ මොන ම පැවැත්මක්වත් හෙයින් කිසි පිරිහීමක් නො දැක ම සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරමි යි වදාළ සේක.

එවිට මාරයා බුදුරජාණන් වහන්සේ තමන් ගැන තේරුම් ගත් සේකැ යි ලජ්ජාවට පත්ව නික්ම ගියේ ය.

පොසොන් අව අටවක

ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22න් අව අටවක ලබා 08 බදාදා
අ.භා. 12.19න් ගෙවේ.
 07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

Full Moonපසළොස්වක

‍ජූලි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]