මාර බලය දුක සේ මැඬලිය යුතුයි

මාර බලය දුක සේ මැඬලිය යුතුයි

බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට ලොවුතුරා බුද්ධත්වයට පත්වීම බොහෝ සෙයින් ත්‍රිපිටකයෙහි නිරූපණය කරන්නේ මාරයා ජය ගැනීමක් සේ ය. එහිලා පාපිම පජාපතී පමත්තබන්ධු - අන්තක - නමුචි කණ්හ ආදී පර්යාය නාම රාශියකින් හැඳින්වෙන පුල්ලිංගවාචී මාර ශබ්දය තුන් පිටකයේ සෑම ග්‍රන්ථයක ම පාහේ දක්නට ලැබෙන බුදු දහමට ආවේණික වූ සුවිශේෂී ශබ්දයකි.

නේරංජනා නදී තීරයේ ප්‍රධන්වීර්ය වඩන බෝසතාණන් වහන්සේ වෙත පැමිණි මාරයා ඔබ දුර්වලයි. මරණය අත ළඟයි. ඔබ දහස් පංගුවකින් මරණයට ළඟා වී ඇත. ජීවත්වීමට ඇත්තේ දහසකින් පංගුවක් පමණයි. පින්වත ජීවත්වන්න. ජීවිතය ශ්‍රේෂ්ඨයි. ජීවත්වීමෙන් පින් කළ හැකි ය. ප්‍රධන් වීර්යයෙන් කුමක් කළ හැකිද? යනුවෙන් කියයි. බෝසතාණෝ අංශු මාත්‍ර පිනකින් මට වැඩක් නැත. යමෙකුට පිනෙන් වැඩක් වේ නම් එය ඔවුන්ට කියන්න. මට ශ්‍රද්ධාව ඇත. වීර්යය ඇත. වජ්‍රයක් හා සමාන ප්‍රාඥාව ඇත. මෙසේ නිවන් පිණිස කැප වූ මට ජීවත්වන්න කියන්නේ කුමක් නිසාද? මාගේ ශරීර වාතය ගඟදිය දහර වුවත් වියළවයි. ප්‍රහිතාක්ම වූ මා නො වියළවයි ද ලේ වියළුනාම පිතත්, සෙමත් වියළයි. මස් වියළද්දී බොහෝ සෙයින් සිත ප්‍රසන්න වෙයි. මාගේ සිහිය, ප්‍රඥාව හා සමාධිය වැඩෙයි. මෙසේ වෙසෙන වේදනාවට පත් මාගේ සිත කාමයන් අපේක්ෂා නොකරයි. සත්වයාගේ පාරිශුද්ධිය බලව. බෝසතාණන් වහන්සේ සමීපයට මාරයා පැමිණ ළෙන්ගතු ස්වරූපයෙන් බුද්ධත්වය වැළැක්වීම පිණිස ගත් උත්සාහය මින් ප්‍රකට කෙරේ.

එසේම දුෂ්කකර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක්. බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ඳ ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේව මාරයාට සිය වසඟයට ගත නොහැකිවිය.

උකටලී වූ මාරයා මාර දියණියන් වන තණ්හා, රතී, රගා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න මාරාධිතු සූත්‍රයෙන් හෙළිවේ. මාරයා ඇතෙකු ලෙස මහා සර්පයකු ලෙස වෙස්ගත් අවස්ථා සූත්‍රයන්හි සඳහන් වේ. සංයුක්ත නිකායේ ගෝධික වැනි සූත්‍රවලින් මාරයා දුමක් සේ අතුරුදන් වන ආකාරය ප්‍රකටයි.

මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මනිමන්තණික සූත්‍රයේ බක බ්‍රහ්මයා දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බඹ ලොවට වැඩම කළ අවස්ථාවේ දී මාරයා එක්තරා බ්‍රහ්මයකුට ආවේශ වී ඔහු එම බ්‍රහ්මයා දමනය නොකරන ලෙස බුදුරජාණන් වහන්සේට තර්ජනය කොට ඇත. මැදුම් සගියේ මාර තජ්ජනිය සූත්‍රයේ මුගලන් මහ රහතන් වහන්සේගේ ආමාශයට මාරයා පිවිසි කතාවක් සඳහන් වේ. එම සූත්‍රයේ මාරයා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සමයේ දුසී නැමැති මාරයාව උපන් බවත්, තම සොහොයුරිය වූ කාලි නැමැත්තියගේ පුතා වශයෙන් මුගලන් මහ රහතන් වහන්සේ එදා උපන් බවත් මාරයා කියයි. බුදුරජාණන් වහන්සේට පමණක් නොව ශ්‍රාවක ශ්‍රාවිකා දෙපිරිසටම අවැඩ කළ බව ත්‍රිපිටකාගත සූත්‍රයන්හි එයි. මෙතෙක් ඉදිරිපත් කළේ පෙළෙහි ඇතුළත් මාරයා පිළිබිඹු කරන සූත්‍රයන්ගෙන් අතළොස්සකි.

මින් මාරයාගේ ස්වරූපය යම් ආකාරයකින් හඳුන්වා දිය හැකි ය. විශේෂයෙන් පුද්ගලත්වාරෝපිත මාර ස්වභාවයක් මේ ආදී බොහෝ සූත්‍රයන්හි ඇතුළත් වේ. මේ නිසා පුරාතනයේ සිට මාර සංකල්පය විවාදාපන්න මාතෘකාවක් බවට පත්ව ඇත. එම නිසා යහපත් ගුණධර්මවලට නො කැමැති මාරයෙක් හෝ අන් නමකින් කියවෙන එවැනි පුද්ගලයන් හෝ ඕනෑ කරන්නේ මැවුම්කරුවන් විශ්වාස කරන ආගම්වලට බවත්, කර්ම විපාක අදහන බෞද්ධ ආගමට එවැනි දෙවියකුගෙන් ඵලක් නැත යනුවෙන් ඇතැම් බහුශ්‍රැත පඬිවරු මාර සංකල්පය විවේචනය කරති. ධර්මයෙහිත්, ධර්ම වියරණයෙහිත් සඳහන් මාරයා පිළිබඳ ප්‍රවෘත්ති කිසිසේත් ම බැහැර නොකළ යුතු බව තවත් බහුශ්‍රැත විශාරද පඬිවරුන්ගේ අදහසයි.

ප්‍රාණය නිරුද්ධ වීමෙන් සිදුවන මරණය මච්චුමාර නම් වන අතර සත්ත්වයන්ට සියලු කරදර සිදුකරන හේතු ද බුදුදහමේ මාර නාමයෙන් ගැනෙන බව පූජ්‍ය හෑගොඩ ඛේමානන්ද නාහිමියන්ගේ ලිපියක සඳහන් වේ.

පාලි භාෂාවටම ආවේණික වූ මාර ශබ්දය බ්‍රාහ්මණ සාහිත්‍යයේ එන පාප්මා මෘත්‍යු වැනි හෝ වචනයන්ගේ ආභාෂයෙන් බිහිවූවක් නොවේ. අමනුෂ්‍යයන් අතර ඇති වූ සටන් පිළිබඳ පුරාවෘත්ත බ්‍රාහ්මණ සාහිත්‍යයේ ඇතත් එහි ආභාෂයෙන් මාර පර්යාය නමුචී යන්න බිහිවූයේ හෝ නොවේ. මාරයාගේ විෂය ඉක්මවීමට රුචි දෙව් මිනිසුන් නොමිදෙන්නට කරදර පීඩා කරන නිසා නමුචී යැයි අටුවාවේ එම පදය විග්‍රහ කරයි. පවු බැහැර කළ යන අර්ථයෙන් රහතන් වහන්සේට බ්‍රාහ්මණ යන වචනය භාවිත කළාක් මෙන් තත්කාලීන පූජනීයත්වයෙන් සැලකු ආගමික ව්‍යවහාරයන් ධර්ම සංකකල්ප සඳහා යොදා ගත් න්‍යාය ඊට බලපා ඇත.

නරකය, පාපය, අකුසලය, මැරීම මරණය, විනාශය, රෝගය, හිතුවක්කාරකම, චණ්ඩිකම, සදාචාර විරෝධි ක්‍රියාකාරකම් ලෝභාදී කෙලෙස් නානාප්‍රකාර අර්ථ මාර යන වචනයෙන් ගම්‍ය වේ. එම නිසා ධර්ම විරෝධි බලවේගයන්ගේ ක්‍රියාකාරකම් විචිත්‍ර ලෙස සාහිත්‍යයේ නිරූපණය කොට ඇත.

අටුවාකරණයේ දී මාර සංකල්පය ක්‍රමයෙන් වර්ධන වන ආකාරය පැහැදිලි කරුණකි. දීඝ නිකායේ අටුවා කතාවේදී මාරයන් තිදෙනකු ද සුත්ත නිද්දේස අටුවාවේ දී එය සිවුදෙනෙක් ලෙස ද පෝෂණය වී ඇති බව පෙනේ. සිවු වැදෑරුම් මාර සංකල්පය පස් වැදෑරුම් ලෙස වර්ධනය වූ බවද පෙනේ.

1. බන්ධමාර 2. ක්ලේශමාර 3. අභිසංඛාරමාර 4. මච්චුමාර 5. දේවපුත්තමාර

යනු ඒ පඤ්ච මාරයෝය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ, අභිසංස්කාර මාර යනු කුසලාකුසලයන්ගේ විග්‍රහයයි. එය තෙවදෑරුම් වේ.

මාරයා යනු කවරෙක්දැයි ප්‍රශ්න කළ රාධ තෙරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ රූපං බෝ රාධ මාරෝ, වේදනා මාරෝ, සඤ්ඤා මාරෝ, සංකාරා මාරෝ, විඤ්ඤාණං මාරෝ යනුවෙනි. සංයුක්ත නිකායේ බන්ධක වර්ගයේ මාර සූත්‍රයේ සඳහන් එම දේශනාව අනුව මාරයා යනු රූප, වේදනා සඤ්ඤා සංස්කාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයයි.

කායික, වාචසික, මානසික සියලු කෙලෙස් ධර්ම මාර සේනාව ලෙස මහා නිද්දේස පාලියෙහි පැහැදිලි කරයි. අභිධර්මයේදි තෘෂ්ණාව හඳුන්වා ඇත්තේ මාරයාගේ කොටස, මාරයාගේ බිලී කොක්ක, මාරයාගේ විජිතය යනුවෙනි. දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ මාර බලය සේ ඉතා දුක සේ මැඬලිය යුතු අන් එකදු බලයක් මම නොදකිමි වදාරති.

පඤ්චකාම නමැති අගොචරස්ථානයේ වසන්නා නිරන්තරයෙන් මාරයාට ගොදුරු වන බවත්, සතර සතිපට්ඨාන නමැති ගෝචරස්ථානයේ වසන්නා මාරයාගේ අරමුණුවලට අසු නොවන බවත් එම සූත්‍රයේ පැහැදිලි වේ. බුදුදහමෙහි කරනු ලබන්නේ සකලවිධ ප්‍රපංච ධර්මයේ ක්ලේෂ ප්‍රහාණය මාර යුද්ධයක් වශයෙන් වෙලාවකට එහි ඇති අතිශය දුෂ්කරත්වය පෙන්වීම විය හැකි ය.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරිණි.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]