[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අමාවක පෝ දා 2026-06-14

නොතැවෙන දිවියකට මඟ

පාපය මිහිරි සේ සිතමින්, ගැලවීගත නොහැකිව එහි ම ඇළුණ පිරිස් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයෙහි වූහ. අද ද වෙති. එහෙත් එදා අද වෙනසක් නොමැතිව පාපයෙහි විපාක විඳින්නට වූ කල ඔවුහු බොහෝ තැවෙති. අශ්වයා ගියාට පසු ස්ථාලය වසා ප්‍රයෝජනයක් නොවන්නේය. පාපී සිතිවිලි ක්‍රියාවට නඟන්නට පෙර එහි අනර්ථය ගැන සිතා ඉන් වළකින්නට නුවණැති විය යුතු ය. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ යමක වග්ගයේ දී දේශනා කොට වදාළ ගාථා ධර්මයක් මෙහිලා සදූපදේශ කොට ගන්නට පුළුවන.

ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මෙ කතන්ති තප්පති
හිය්‍යො තප්පති දුග්ගතිං ගතො

පව් කරන තැනැත්තා මෙලොව තැවෙයි. පරලොව ද තැවෙයි. මා විසින් පව් කළේ යැයි තැවෙයි. දුගතියට ගොස් බෙහෙවින් තැවෙයි. යනු එහි අර්ථයයි. දෙව්දත් තෙරුන් මුල් කරගෙන දේශනා කොට වදාළ මේ ගාථා ධර්මය තුළ දෙන පණිවිඩය මේ ජීවිතයේ බියකරු බව, සසර බියකරු බව පෙන්වන කැඩපතක් වැනි ය. එහෙත් ඒ සසර ජය ගන්නට, ජීවිතය සුවපත් කර ගන්නට යා යුතු මඟ තීරණය කළ හැකි තමන්ට ය. අනුන්ට නොවේ. අනුන් මත තීරණය නොවන නිසා එය තමන්ට වාසිදායක ය. තමන්ගේ ජීවිතයේ සුවය සතුට හා දුක වේදනාව තමන්ට ම සලසා ගත හැකි බැවිනි. එහෙත් බොහෝ දෙනා එය දැකීමෙහි ලා අන්ධ ය. සම්බුදු දහම ඒ අන්ධ බවින් මිදී ආලෝකය දකිනු පිණිස දේශිත උතුම් දහමෙකි.

දෙව්දත් තෙරුන්, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සැරියුත් මුගලන් දෑගසව්වන් වහන්සේට, සැදැහැති ජනයාගෙන් ලැබෙන අපමණ ගරු සැලකිලි, පුද සත්කාර නිසා කෝපයට පත්විණි. දිනෙන් දින සිත බුර බුරා නැඟෙන වෛරී සිතිවිලි නිසා බුදුරජාණන් වහන්සේගෙන් පළිගන්නා තරමට සිතිවිලි වර්ධනයට කරන්නට තරම් පාපකාරී විය.

අජාසත් කුමරුට මිතුරුව, ඔහුගේ පියරජු මරවා රජකම අත්පත් කර ගන්නා ලෙස ගිවිස, තමන් ද බුදුරදුන් නසා බුදු බව ලබා ගන්නා බවට පොරොන්දු වූයේ ය. අජාසත් කුමරු පියා මරවා රජවිය. දෙව්දත් බුදුහිමි නැසීමට අපමණ වෙර වැඩූහ. උපාය යෙදූහ. ගිජුකුළු පව්වට නැඟ බුදුරදුන්ට ගල් පෙරලුවේත්, නාලාගිරි ඇතාට රා පොවා බුදුරදුන් වඩින මඟ ඉදිරියට යැවුයේත් ආශාවේ සහ වෛරයේ දැඩි සිතිවිලි ක්‍රියාත්මක වීම නිසා ය. පවේ බරපතළකම දකින්නට නොහැකි තරමට හේ අන්ධ විය. අවසන මහ සංඝයා භේද කිරීමේ පාපකර්මයට ද කර ගැසීය. අන්තිමේ වරද දුටුව ද ජීවිතාවසාන මොහොතේ බුදුරදුන්ගේ පිළිසරණ සොයා දෙව්රම් වෙහෙරට එන මඟ පොළොව ගිලිී අවීචි මහා නරකයේ ඉපදුණි. ඔහු අද ද ඒ අපා දුක් විඳිමින් සිටින්නේ ය.

පාපය ඒ සා බලවත් ය. මේ කතා පුවතින් වුව ද දෙන පණිවිඩය අපේ බෞද්ධ සමාජයට අතිශය වැදගත් ය. අනුන්ගේ දියුණුව, යසස දකිමින් එය ඉවසා ගත නොහැකිව ඊර්ෂ්‍යාවෙන් පෙළීම, එය වැඩී වර්ධනය වීමෙන් තමන්ට ඒ තැනට පත්වනු සඳහා අනිසි මං සෙවීම, පළිගැනීම, ඒ සඳහා අතිශය පාපකාරී ක්‍රමවිධි සැලසුම් කිරීම, පසමිතුරු ඇසුරේ බරපතළ ආදීනව ආදී අවගුණවලින් මිදීමේ වටිනාකම කියන මා හැඟි සදුපදේශ රැසක් මෙහි අන්තර්ගතය. මේ දහම් කරුණු පොත පතෙහි වුවාට ප්‍රමාණවත් නොවේ. කියවා දැන ඉගෙන ගත්තාට ද ප්‍රයෝජනයක් නොවේ. දැන ඉගෙන ගත් ඒ දහම තම ජීවිතයට ආදේශ කර ගත යුතු ය. මේ ජීවිතයෙත්, පරලොවත් නොතැවී සුවපත් දිවියක් ගත කළ හැකි එවිට ය.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]