සුවපත් මනසක් සුවබර දිවියක් - 55 කොටස: මහපොළොව සේ නොසැලෙන මෙත් සිත

සුවපත් මනසක් සුවබර දිවියක් - 55 කොටස:

මහපොළොව සේ නොසැලෙන මෙත් සිත

බුදුරජාණන් වහන්සේට සතුරු වූ දේවදත්ත භික්ෂුව උන්වහන්සේ මැරීමට උපායක් යෙදීය. නාලාගිරි නම් ඇතකුට රා පොවා ප්‍රකෝප කොට බුදුරදුන් වඩිනා මඟට මෙහෙයවීය. මඟ දෙපස සිටි සියලු දෙනා පැන දිවූහ. බුදුරජාණන් වහන්සේට මාර්ගයෙන් ඉවත් වන ලෙස හැමදෙනා අනතුරු ඇඟවුව ද පිටුපසින් වඩිමින් සිටි අනඳ තෙරණුවෝ උන්වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අදහසින් බුදුරදුන් ඉදිරියෙන් සිටගත්හ. අනඳ හිමියන්ගේ කායික ශක්තියෙන් පමණක් ඇතා නවතාලිය නොහැකි බව දත් බුදුරජාණන් වහන්සේ අනඳ තෙරණුවන්ට පසෙකට වන ලෙස දැන්වූහ.

ඇතා බුදුරජාණන් වහන්සේ වෙත හිස ඔසවා, කන් පෙති කෙලින් කර, හොඬ ඉහළට ඔසවා ගෙන ප්‍රකෝපයෙන් උමතුව පහරදීමට සැරසී දිව ආවේ ය. බුදුරජාණන් වහන්‌සේ නො සැලී සිටගත් වනම සිට, මෙම තිරිසන් සතා වෙත අපමණ වූ මෛත්‍රී කරුණා සිතිවිලි මුදා හැරි සේක. ඇතා ගල් ගැසුණාක් මෙන් එතැන ම නැවතුණේ ය. බුදුරදුන් ඇතා ඉදිරියේ සිට දකුණත අභය මුද්‍රාවෙන් ඔසවා ඔහු වෙත මෛත්‍රිය මුදා හරියහ. ඇතා බැටළු පැටවකු මෙන් කීකරු ව බුදුරදුන් ඉදිරියෙහි දණින් වැටුණේ ය. මෛත්‍රියෙහි අසීමිත බලය පමණක් යොදා ගනිමින් මාරාවේශ වූ තිරිසන් සතෙක් මෙසේ බුදුරජාණන් වහන්සේ දමනය කළ සේක.

කෝපයට කෝපයෙන් පිළිතුරු දීම, සහජ ප්‍රතික්‍රියාවකට වඩා ආරෝපිත ප්‍රතික්‍රියාවකි. කුඩා කල සිටම ඉවසීම, කරුණාව, මෘදු බව පුහුණු කර තිබුණේ නම් මෛත්‍රිය අපගේ ජීවිතයේ අංගයක් විය හැකි ව තිබුණි. එය පුරුද්දක් වන බවට පත්වන බැවිනි. එසේ නැති වූ විට කෝපය හෙවත් තරහ අපේ පුරුද්ද බවට පත්වේ. කෙසේ වුවත් වැඩිහිටියන් ලෙස වුව ද, අපගේ පුරුදු සහ ප්‍රතිචාර වෙනස් කිරීමට හැකියාව තිබේ. වෙනත් අන්දමකට ප්‍රතිචාර දැක්වීමට අපට පුහුණු විය හැකි ය.

පරුෂ වචන හා නින්දා කිරීම්වලට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි උගන්වන තවත් කතාවක් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් අපට දැකගත හැකි ය. බුදුරජාණන් වහන්සේට සතුරු වූ පිරිසක් චිංචා නම් ගණිකාවකට අල්ලස් දී ඇය ලවා උන්වහන්සේට නින්දා අපහාස කරන්නට සැලැස්වූහ. ඈ ඇගේ ඇඳුමට යටින් දර මිටියෙක් බඩ බැඳගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසන දම් සබා මණ්ඩපය ඉදිරියට පැමිණ මෙසේ නින්දා කරන්නට වූවාය. “හොර මුඩු මහණ, තොපි කිසිත් නො දන්නා මුනිවරයකු සේ මේ ජනකායට දහම් දෙසමින් සිටින්නෙහි ය. එසේ වුව ද තෝ මට කළ දේ බලව, මම දැන් තොප නිසා ගැබ්ගෙන සිටිනු නොපෙනේදැ”යි විචාළාය. බුදුරජාණන් වහන්සේ කිසිදු තරහවකින්, ක්‍රෝධයකින් තොරව සන්සුන් ව ඇයට පිළිතුරු දුන්හ. උන්වහන්සේගේ කටහඬෙහි ගැබ්ව තිබුණේ මෛත්‍රිය සහ කරුණාව පමණි. “නැඟණිය, සිදුවූ දේ දන්නේ ඔබත් මාත් පමණ ය” බලාපොරොත්තු නොවූ මේ පිළිතුරෙන් ඈ තැති ගත්තා ය.

ඇයගේ කම්පනය කෙබඳු වී ද යත් ආපසු හැරුණු ඈ පය පැකිලී බිම වැටුණි. දරමිටිය බැඳ තිබූ රැහැන් බුරුල් වී එය විසිරී ගියේ ය. දුටුවන්ට සියල්ල වැටහිණි. එහි සිටි ඇතැමෙක් ඇයට හිංසා කරන්නට තැත් කළ ද බුදුරජාණන් වහන්සේ ඔවුන් වැළකූහ. ඇයට උපකාර විය යුත්තේ හිංසාවෙන් නොව ධර්මය අවබෝධ කර දීමෙනි. එය වඩාත් ප්‍රතිඵලදායි දඬුවම යැයි උන්වහන්සේ වදාළහ. බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මය ඉගෙනගත් පසු ඇයගේ පෞරුෂය සම්පූර්ණයෙන් වෙනස් විය. ඈ මුදු මොළොක්, දයා කරුණා පිරි තැනැත්තියක් වූවා ය.

යම්කිසි කෙනෙක් ඔබ ප්‍රකෝප කරවීමට හෝ ඔබට රිදවීමට යමක් කරයි නම්, ඔහු වෙත මෛත්‍රි සහගත සිතින් යුතු ව සිටින්න. එබඳු සිතිවිලිවලින් යුතු ව සිටින පුද්ගලයා මහපොළොව වැනි යැයි බුදුහු වදාළහ. මහපොළොව කැනීමෙන්, එය අතුරුදන් කිරීමට කෙනකු තැත් කරන්නේ නම්, එය නිශ්ඵල ක්‍රියාවක් වන්නේ ය. ඔහුගේ මුළු ජීවිත කාලය මුළුල්ලේ ම ඔහු එම ක්‍රියාවෙහි යෙදී සිටිය ද මහපොළොව අතුරුදන් කළ නොහැකි ය. එය කිසිදු බලපෑමකට යටත්ව නොවී කිසිදු අඩුවීමකින් තොරව එසේම පවතී. එබඳු මහපොළොව මෙන් මෛත්‍රී සහගත සිතිවිලිවලින් යුතු පුද්ගලයා ද තරහ හෝ ක්‍රෝධය හෝ විසින් සෙලවිය නොහැකි ය.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]