මහනුවර යුගයේ සිතුවමින් අලංකාර ඓතිහාසික රිදී විහාරය

කුරුණෑගල නගරයේ සිට කැප්පෙටිපොළ මාර්ගයේ කිලෝමීටර් 15ක් පමණ ගිය විට රිදීගම නගරය
හමුවේ. එය පසුකර තවත් කිලෝමීටර් 15ක් පමණ ඉදිරියට ගිය විට දකුණු පසට හමුවන අතුරු
මාර්ගයේ රිදී විහාරය පිහිටා තිබේ.
අඩි 200ක් පමණ උස්වූ කඳු ගැටයකි. ඒ පාමුල ඉපැරැණි කටාරම් කෙටූ ගල්ලෙන්, ගුහා,
පොකුණු ආදියෙන් සැදි, පුරාවිද්‍යාත්මක සාධකවලින් අනූන ආරාමයක නටබුන් දැකිය හැකි ය.
අවුරුදු දෙදහසක පමණ දිගු ඉතිහාසයක් ඇති, මුල්කාලයේ දී වනවාසී රහතන් වහන්සේගේ
සේනාසනයක් ලෙස ද මෙම රිදී විහාරය පැවතී ඇත.
දුටුගැමුණු රජතුමාට (ක්‍රි.පු. 161-137) අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන්
සෑදීමටත්, එහි තැන්පත් කිරීමටත් මෙම ස්ථානයෙන් රිදී ලබා දුන් බව ජනප්‍රවාදයේ පවතී.
එනිසා මෙම විහාරය රිදී විහාරය නමින් ප්‍රකට වේ. එම කාර්යයට කෘතගුණ සැලකීමට
දුටුගැමුණු රජතුමා විසින් රිදී විහාරය ගොඩනඟා රනින් සැදු බුදු පිළිමයක් එහි තැන්පත්
කළ බව ද මහාවංශයේ සඳහන් ව ඇත. මහාවංශයේ සඳහන් පරිදි රුවන්වැලි සෑය ගොඩනැඟීමටත්, එහි
තැන්පත් කිරීමටත් වස්තුව සොයන විට රිදී විහාරය පිහිටි ස්ථානයේ දී රිදී හමු වී ඇත්තේ
ඉන්ද්‍රගුප්ත නම් රහතන් වහන්සේගේ උපකාරයෙනි. මෙම ප්‍රදේශය හරහා වෙළෙඳ කණ්ඩායමක්
ගමන් කිරීමේ දී ගැල් බැඳි ගවයන් සොයන විට වරකා ගසක් දැක ඇත. ඉන්ද්‍රගුප්ත හිමියන්
ප්‍රමුඛ රහතන් වහන්සේ හතර නමක් ඒ අසල වැඩ සිට ඇති අතර, වෙළෙඳ කණ්ඩායම වරකා
පිළිගන්වා ඇත. පසුව යාමට අවසර ඉල්ලා ඇති විට උන්වහන්සේ මෙම විහාරය හරහා පිහිටි
මාර්ගයක් පෙන්වා දී තිබේ. පිරිස එසේ යන විට රිදී ඉල්ලමක් දැක තම රජ්ජුරුවන්ට සැල කර
ඇත. ඉන්පසු ඇමතිවරුන් ලවා රිදී අස්කරවා ගෙන ඇති අතර, රිදී ලැබුණු සතුටට මේ ස්ථානයේ
විහාරයක් කරවා ඇත. මහා වංශයේ මෙම ලෙන රජත ලෙන වශයෙන් ද හඳුන්වනු ලැබේ.
මෙසේ ආරම්භ වූ රිදී විහාරයෙහි අභිවෘද්ධියට ආමණ්ඩගාමිණී අභය රජු (ක්‍රි.ව. 21 – 31)
, මහා පැරකුම් රජු (ක්‍රි.ව. 1153 – 1186) නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187 – 1196)
සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1782) යන පාලකයන්ගේ අනුග්‍රහය ලැබී
ඇත.
රිදී විහාරයේ නටබුන් ප්‍රධාන කොටස් තුනකි. එනම් මහා විහාරය, උඩ විහාරය සහ වරකා
වැළඳූ විහාරය යනුවෙනි. මෙකී විහාර තුන ම ගල් ලෙන්වලින් සමන්විත ය. මෙහි ඇති ඉපැරණි
ම විහාරාංගය වන්නේ මහා විහාරය යි. ඊට ඇතුළුවන දොරටුව අසල තොරණකි. එහි දේව රූප හා
සත්ත්ව රූපත්, හින්දු සමයත් නිරූපණය කරයි. උඩ විහාරයට යාමට ඇති දොරටුව අසල ඇති
ඇත්දළ කැටයම්වලින් යුතු උළුවස්ස රිදී විහාරයේ ප්‍රකට කැටයමකි. දේශීය කැටයම්වලින්
අලංකාර කර ඇති මෙය අපේ රටේ ඇති එක ම ඇත් දළ උළුවස්සයි.
මෙම විහාරය තුළ ඇති ප්‍රතිමා අතර රන් ආලේපිත පිළිම වහන්සේ, දහ අටරියන් සැතපෙන පිළිම
වහන්සේ, මෛත්‍රි බෝසත් පිළිම වහන්සේ ඉපැරණි ය. සැතපෙන පිළිම වහන්සේ සිරස්තල ලීයෙන්
නිමවා ඇත. ඒ ඉදිරියේ ඇති මලසුනේ අන් තැනක දක්නට නොලැබෙන පිඟන් ගඩොල් මහනුවර රාජධානි
සමයේ සවි කළ ඒවා ය. සැතපෙන පිළිම වහන්සේ පාමුල දුටුගැමුණු රජතුමාගේ රුව ද, මෛත්‍රි
බෝධි සත්ත්ව පිළිම වහන්සේ ද නෙළා ඇත. මෙම පිළිම වහන්සේට සමාන්තර ව වම් පැත්තේ හිටි
පිළිම නවයකි.
වර්තමානයේ මෙම විහාරයේ දක්නට ලැබෙන බොහෝ විහාර හා පිළිම වහන්සේ මහනුවර යුගයේ බව
හඳුනාගෙන ඇත. ප්‍රධාන ගොඩනැඟිලි වශයෙන් පර්වත මුදුනේ පිහිටි කුඩා ප්‍රමාණයේ චෛත්‍යය
ද, ප්‍රාකාරයෙන් වටවූ බෝධීන් වහන්සේ ද, ලෙන් විහාර දෙකක් ද, වරකා වැළඳූ විහාරය
නමින් එක් විහාරයක් ද, සංඝාවාසයක් ද දක්නට ලැබේ. එමෙන් ම සැරහුම් ගල චෛත්‍ය නමින්
චෛත්‍යයක් ද දක්නට ලැබේ.
උඩ විහාරයේ බිත්තිය මහනුවර යුගයේ චිත්‍රවලින් අලංකාර ය. සොළොස්මස්ථානය, සූවිසි
විවරණය, නවනාරි කුංජරය, ගජසිංහ, නරසිංහ ඒ අතර විශේෂිත සිතුවම්ය. එසේම ලෙන් විහාරයේ
වැඩසිටින පිළිම වහන්සේට පිටුපසින් රාමායණයේ එන ඇතැම් සිද්ධි නිරූපණය වේ. උඩ විහාරයට
යාබද ව තවත් කුඩා ලෙනකි. එහි ලෙන් බිත්තියේ හිස අලංකාර සිතුවමිින් සරසා ඇත. උඩ
විහාරයේ දකුණු පසින් විෂ්ණු හා කුමාර බණ්ඩාර දෙවියෝ වෙති. මෙය මහනුවර යුගයේ කීර්ති
ශ්‍රී රාජසිංහ රජුගේ නිර්මාණයකි. එයට ඇතුළු වන දොරටුව අසල අලංකාර කොරවක් ගල් සහ
සඳකඩපහණ දක්නට ඇත.
මෙම විහාරයේ තවත් වැදගත් අංගයක් වන වරකා වැළඳූ විහාරය තනි කළු ගලින් නිමවූවකි.
පිහිටි ලෙනක ගර්භය තුළ බුදුරුව සහිත මල් අසුන ද, පිටත ශෛලමය මණ්ඩපයක් ලෙස ද නිමවා
ඇත. ඒ තුළ සමාධි පිළිම වහන්සේ හා ඊට පිටුපස මකර තොරණකි. එය රහතන් වහන්සේ වරකා වැළඳූ
තැන ලෙස සලකයි. මෙහි මූර්ති හා කැටයම්වලින් පිරී පවතී.
-
දිල්හානි ජයවර්ධන |