පල්ලාවෙල සුමේධවංශ නාහිමියෝ පැවිදි දිවියේ අඩසියවස සපුරති

පල්ලාවෙල සුමේධවංශ නාහිමියෝ පැවිදි දිවියේ අඩසියවස සපුරති

“පරත්‍ථං පටිපජ්ජථ” යන උතුම් සම්බුද්ධ දේශනාවට අනුව තම පැවිදි දිවි මඟ පරාර්ථය වෙනුවෙන් කැප කළ මහා යතිවරයාණන් වහන්සේ නමකි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය, සමස්ත ලංකා සාමවිනිසුරු, ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති, පණ්ඩිත පල්ලාවෙල සුමේධවංස නාහිමියන් වහන්සේ. උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වී මෙම මස 10 වැනි දිනට පුරා වසර 50ක් සපිරේ. ආදර්ශමත් පැවිදි දිවියක් ගත කරන අප නාහිමියන්ට ආශිර්වාද පිණිස විශේෂ පින්කම් මාලාවක් ද එදින සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මාතර දිස්ත්‍රික්කයේ දකුණු පල්ලාවෙල ගමේ දී අයි. සයින්දරා සහ කේ. ඒ. හර්මානිස් මව්පිය දෙපළට 1956 නොවැම්බර් මස 15 වැනි දින මෙලොව එළිය දුටු පින්වත් කුමරු වූයේ කේ. ඒ. සුමනසේනයි. දරුවන් හත් දෙනකුගෙන් යුත් පවුලක හැදී වැඩුණු සුමනසේන දරුවා නිසි වයස එළැඹීමෙන් අනතුරුව මූලික අධ්‍යාපනය සඳහා පිටවල්ගමුව කණිෂ්ඨ විද්‍යාලයට ඇතුළු විය. අනතුරුව තම පියාගේ කටයුතු සඳහා විවිධ අයුරින් සහාය දැක්වූ මෙම කුමරුන්ට පැවිදි වීමේ මහත් ආශාවක් ඇති වූ අතර, තෙරුවන් කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නට විය.

ස්වකීය පවුල් පරිසරයෙන් ම යහපත් ගුණධර්මවල පිහිටි සුමනසේන තරුණයා මහත් අවබෝධයෙන්, සසුන් කෙතට ඇතුළත් වීමේ අදිටනින් ම පසු විය. ඒ අනුව මවුපිය සහෝදර ඥාතීන්ගේ පූර්ණ ආශිර්වාදයෙන් හක්මන දකුණු පල්ලාවෙල ශ්‍රී නිග්‍රෝධාරාමයේ දී ප්‍රවෘජ්ජා දිවියට ඇතුළත් වූයේ පල්ලාවෙල සුමේධවංස යන ශාසනික නාමයෙනි. එහි දී උන්වහන්සේගේ ආචාර්ය වහන්සේ වූයේ දේවාලේගම සුවණ්ණ ජෝති නාහිමියන් ය. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසුව අධ්‍යාපන කටයුතු කෙරෙහි බෙහෙවින් රුචිකත්වයක් දැක් වූ මෙම තරුණ සාමණේරයන් වහන්සේ ස්වකීය ගුරු දේවයන් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා පරිදි පොත්තේවෙල ජිනරාජ පිරිවෙනට ඇතුළත් කරන ලද්දේ මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා ය. පසුව ඇතුළත් වූයේ අම්බලන්ගොඩ ශාසත්‍රෝදය පරිවේනස්ථානයට ය. එහි දී ද ඉතා දක්‍ෂ ලෙස සියලු කටයතු සිදු කරන ලද මෙම සාමණේරයන් වහන්සේ උසස් අධ්‍යාපනය සඳහා ගාල්ල පුඤ්ඤසාර පරිවේනස්ථානයට ඇතුළත් වෙමින් එකී කටයුතු මනාව සිදු කරන ලදී. එහි දී බද්දෙගම දේවරක්‍ඛිත, ගාල්ල විද්‍යාලෝක පරිවෙනාධිපති ව වැඩ විසු අකුරැටියේ නන්දසාර වැනි උගත් මහා සංඝ පීතෘන් වහන්සේ ඇසුරින් තම පැවිදි දිවිය ආලෝකය කරා යොමු කරගත් සුමේධවංස හිමියෝ 1984 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. අධ්‍යාපන කටයුතු දක්‍ෂ ලෙස සිදු කළ මෙම තරුණ යතිවරයාණන් වහන්සේ පුරාවිද්‍යා විෂයය ධාරාවෙන් පළමු පන්ති සාමාර්ථයක් ලැබීම ප්‍රසංසනීය කරුණකි.

නොපසුබට උත්සාහය, අධිෂ්ඨානය ඔස්සේ ක්‍රියා කළ සුමේධවංස හිමියන් එකී විශ්වවිද්‍යාලයෙහි පුරා විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කළේ ය. එහි දී අනුරාධපුර අභයගිරි ආදී පුරාවිද්‍යා ස්ථානවල කැණීම් කටයුතු සිදු කරමින් සුවිශාල මෙහෙවරක නිරත වූ බව සිහි කළ යුතු ය. මෙකී කාලය තුළ දංගෙදර සුගතසීල නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් අධිසීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූ

සුමේධවංස තරුණ යතිවරයන් වහන්සේ එතැන් පටන් තම ශාසනික, අධ්‍යාපනික හා සමාජීය සේවාව පුළුල් කරමින් ක්‍රියා කරන්නට විය. එම කාල වකවානුවේ දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, බෞද්ධ දර්ශන ඩිප්ලෝමාව ද, ශාස්ත්‍රපති උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ලැබීමට තරම් භාග්‍ය සම්පන්න වූ සුමේධවංස හිමියෝ 1993 දී පළමුව පාසල් ගුරුවරයෙක් ලෙස මොරටුව ශාන්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සේවයෙහි නිරත වූහ.

ස්වකීය ගුරු දේවයන් වහන්සේ වන දංගෙදර සුගතසීල නාහිමියන් අපවත් වීමෙන් පසුව ජම්බුකැටිය ශ්‍රී සුගතාරාම විහාරස්ථානයෙහි වැඩ වාසය කරමින් බොහෝ විහාරංග ගොඩනංවා ශිෂ්‍ය බාලාදීන් තනමින් තම රාජකාරී පාසල් සේවාව ද මනාව සිදු කිරීම බෙහෙවින් ප්‍රශංසනීය ය. පසුව දංගෙදර ජයවර්ධනාරාම මූල මහා විහාරස්ථානයට වැඩම කළ සුමේධවංස ස්වාමීන් වහස්සේට එහි වැඩ විසූ පල්ලාවෙල සුමනවංශ හා වලකුඹුරේ ධම්මරාම යන ස්වාමීන් වහන්සේගේ ආරාධනාවට අනුව 2015 අග භාගයේ දී මෙම විහාරස්ථානයෙන් සියලු කටයුතු බාර ගැනීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉතාම සුළු කාලයක දී මෙම පින්බිම රමණීය, සියලු විහාරාංගවලින් පරිමිත මහා විහාරස්ථානයක් බවට පත් කිරීමට පල්ලාවෙල සුමේධවංස හිමියන්ට හැකි විය.

මෙලෙස සුවිශාල ආගමික, සාමාජීය හා අධ්‍යාපනික සේවාවක නිරත වූ උන්වහන්සේ බොහෝ උගත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පිරිසක් ගොඩනැඟීම ද බෙහෙවින් අගය කළ යුතු කරුණකි. ඒ අතර ශාස්ත්‍රවේදී කිරම සුභාහු, ශාස්ත්‍රපති පස්ගොඩ සුමිත්ත, ගෞරව, ශාස්ත්‍රවේදී පස්ගොඩ සුදත්ත, ශාස්ත්‍රවේදී කලේගානේ සුභාරත, ශාස්ත්‍රපති මුතුකණ්ඩියේ සුනෙත්ත ආදී උගත් දක්ෂ ශිෂ්‍යවරයන් වහන්සේට සියලු විහාර ස්ථානයන්හි කුදු මහත් කටයුතු සිදු කරගෙන යාමට අවැසි නිදහස දී ඇති සුමේධවංස නාහිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මහා සත්පුරුෂයෙකි. සියලු සත්ත්වයන්ට එක සේ සලකන උන්වහන්සේ දිනකට බොහෝ තිරිසන් සතුන්ගේ කුස ගිනි නිවන අයුරු දකින විට එය මනාව සනාථ වේ.

උතුම් ගුණාංගයන්ගෙන් හෙබි, සසුන් කෙත බබළවමින් බොහෝ සේවාවක නිරත වූ සුමේධවංස නාහිමියන් 2023 වර්ෂයේ දී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකාය විසින් සුමන ජෝත්‍යභිධාන සුගතශීලවංශාවතංස සුවණ්ණජෝත්‍යාලංකාර ශාසන කීර්ති ශ්‍රී සද්ධම්මවාගීෂ්වර” යන ගෞරව නාමය සහිත ගාල්ල, මාතර, හම්බන්තොට තෙදිශාවේ මහා අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇත.

මෙලෙසින් සියලු විහාරස්ථාන තම ශිෂ්‍ය පුත්‍රයන්ට පවරා දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරස්ථානයෙහි නිදහස් මානසික සුවයෙන් වැඩවසන අප නාහිමියන් මෙම මස දහ වැනි දිනට පැවිදි දිවියට ඇතුළත් වී පුරා පනස් වසරක් සපිරේ. ඒ වෙනුවෙන් උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරන අතර, තවදුරටත් ගුණ දහම් වඩන්නට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනෙමු.

වෙසක් අමාවක

ජුනි 14 ඉරිදා අ.භා. 12.20න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26න් ගෙවේ.
 14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]