නොමියෙන මඟ
සද්ධර්මාරක්ෂක ධර්මාචාර්ය,
මනෝවිද්‍යා උපදේශක,
විද්‍යාවේදී (ගෞරව)
බුද්ධික ඉන්දීර ගුරුල්ලගොඩ
අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ බොහෝ
ලස්සනට ප්‍රමාදය කියන පදය විස්තර කොට තියෙනවා.
ප්‍රමාදය කියන්නේ කුමක්ද?
කයෙන් සිදුවන ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය කියන අකුසල් තුනත්, වචනයෙන්
සිදුවන බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන, කීම, හිස් වචන කීම කියන අකුසල් හතරත්,
මනසින් සිදුවන විෂම ලෝභය, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය යන අකුසල් තුනත් කියන මේ දස
අකුසල් සිදු කරනවා.
ඇස, කන, නහය, දිව, කය මේ ඉන්ද්‍රියයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශය කියන පංච කාම
සම්පත් කෙරෙහි අකුසල් සිදුවන ආකාරයට සිත මුදා හරිනවා. සිහියෙන් තොරව සිත මුදා
හරිනවා, කැමති විදිහට ඒවායේ සිත හැසිරෙනවා, නැවත නැවතත් ඒ විදිහේ අයහපත් විදිහට
ජීවිතය පවත්වනවා.
දන් දෙනකොට, සිල් රකින කොට, භාවනා කරනකොට, පින් දෙනකොට, පින් අනුමෝදන් වෙනකොට, ධර්ම
ශ්‍රවණය කරන කොට, වැඩිහිටියන්ට උපකාර ගරු බුහුමන් දක්වන කොට, ගෙදරදොර වතාවත් කරනකොට
, බුද්ධ වන්දනා ආදි වත්පිළිවෙත් කරනකොට අගෞරවයෙන් කරනවා, නොසැලකිලිමත් ව කරනවා,
සකස් කරන්නේ නැති ව කරනවා, නැවත නැවතත් ඒ විදියෙහි අයහපත් විදිහට ජීවිතය පවත්වනවා,
දන් දීම්, සිල් රැකීම්, භාවනාදී කුසල කර්ම, වත්පිළිවෙත් ආදී දේ නැවත නැවත නොකර
අත්හරිනවා, පින්කමක් කරන්න ගියත් නිමාවක් දකින්නේ නැති ව මඟහරිනවා, පින්කම් කිරීමේ
දී මඟින් නැඟිටලා යනවා. පින්කම සම්පූර්ණ කර ගන්නේ නැහැ, පසුබට වෙවී පින්කම් කරනවා,
කුසල කැමැත්ත සිතින් අත් හරිනවා. “ඕවා වැඩක් නැහැ කියලා“, කුසල් කිරීමේ උත්සාහයත්,
වීර්යයත් අත්හරිනවා, කුසල් කළත් එය නැවත නැවත සිහි නොකර අත් හරිනවා, කුසල් කිරීමේ
සතුටු වන්නේ නැහැ, බහුල වශයෙන් නැවත නැවත එය භාවිත නොකර අත්හරිනවා. මෙය ප්‍රමාදයයි.
නොසැලකිල්ලෙන් ආවාට ගියාට විසිකරන ආකාරයෙන් තරහෙන් පුපුරමින් සතකුට හෝ දෙන විට අපේ
සිත දූෂණයට පත්වෙනවා. කුසලයක් කරන විට සතුටු සිතින් කිරීම ද, නුවණින් යුක්තව කිරීම
ද, පසුබට නොවී තමන් ම මහත් කැපවීමෙන් කිරීම ද, කුසලය මහත් ඵල විපාක ලැබීමට හේතු
වෙනවා. විසිකරන ආකාරයට, කරදරයෙන් බේරෙන්න කරන ආකාරයට කුසල් කිරීම ප්‍රමාදයක්.
සිල්වතුන්ට, ගුණවතුන්ට, වැඩිහිටියන්ට උපස්ථාන කිරීම හොඳ දෙයක්. නමුත් එය ගෞරව
සම්ප්‍රයුක්ත නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. මල් පූජාවක් කරන තැන පරමල් තිබෙනවා.
කූඹි හැසිරෙනවා. වතුර වැටිලා සෑම තැන ම අපිරිසුදු වෙලා තියෙනවා. එතැන ගිහින් පරමල්
උඩින් අලුත් මල් පූජා කරනවා නම් ඒකත් ප්‍රමාදයක්.
මල් පූජා කරන ආසනය, මල් පූජා කරන ස්ථානය පිරිසිදු කරන්නේ නෑ, අපිරිසිදු වූ තැනක
පූජා කටයුතු කරනවා, ගෙදර වන්දනා කරන තැන බුදුපිළිම වහන්සේ වැඩ සිටින තැන ලස්සනට තබා
ගන්නේ නැහැ. පිරිසිදුව තබා ගන්නේ නැහැ. මකුළු දැල් බැඳීලා, දුහුවිලි බැඳීලා සුද්ද
කරන්නේ නැහැ, ඒකත් ප්‍රමාදයක්.
බුද්ධ පූජාවක් කරන්න ගියත් භාජන සෝදන්නේ නැහැ, මළ බැදුණු භාණ්ඩ, දුර්වර්ණ වූ
භාණ්ඩවල ම පූජා කටයුතු කරනවා. බුද්ධ පූජා භාණ්ඩ, රත්තරන් භාණ්ඩ වගේ බොහොම පිරිසිදුව
තබාගන්න ඕනෑ. දන්දෙන්න ගියත්, සිල් රකින්න ගියත්, භාවනා කරන්න ගියත්, වෙන පින්කම්
කටයුත්තක් කරන්න ගියත් අඩුපාඩුකම් හදාගැනීම අවශ්‍යයි.
නොසැලකිල්ලෙන් පින්කම් කිරීම ප්‍රමාදයක්.
පින්කම් කරන්න යන විට වරක් දෙකක් කරනවා. ආයේ කරන්නේ නැහැ. බුද්ධ පූජාවක් කරනවා. ආයෙ
කරන්නේ නෑ. එක දවසක් පන්සිල් ගන්නවා. ආයෙ නැහැ, තව දවසක් බණ අහනවා. ආයේ නැහැ.
විනාඩි කිහිපයක් භාවනා කරනවා. ආයෙ නැහැ, අමතක කරනවා. සර්වඥයන් වහන්සේගේ උපදේශය
කිසියම් යහපත් දෙයක් කරනවා නම් නැවත නැවත එය කිරීමයි. සමහරු කිසියම් පින්කමක් කරන්න
ගියා ම නිමාවක් දකින්නෙ නැහැ. බණක් අහන්න ගිය විට සමහරු පැයයි නම් පැයට කලින්
නැඟිටිලා යනවා, දැන් දහවල් වුණා. දැන් ඇති. දැන් යන්න ඕනි කියා පිටත් වෙනවා,
පින්කමේ වැඩ නිම වුණේ නෑ.
භාවනාවට වාඩිවෙනවා. විනාඩි කිහිපයක් මේ භාවනාව කරගෙන යන විට ටිකක් ගුණ පේනවා. නමුත්
දැන් වේලාව හරි නැඟිටිනවා. මෙය ප්‍රමාදයක්.
පින්කමක් කරන්නෙ නැති වෙලාවල දී පින්කම් කිරීමේ කැමැත්ත තිබිය යුතුයි. මට පින්කමක්
කර ගන්න ඕනේ, මට දානයක් දෙන්න ඕනේ, බුද්ධ පූජාවක් කරන්න ඕනේ, උදේ සවස භාවනා කරන්න
ඕනේ, බණ පොතක් පිටුවක් දෙකක් හෝ කියවන්න ඕනේ, බණක් අහන්න ඕනෙ ආදී නොසිතන එක කුසල
ඡන්දය අත්හැරීමක්, ප්‍රමාදයක්. කුසල් කිරීමට විරිය තිබිය යුතුයි. සමහර අයට කුසල්
කිරීම සඳහා බාධා එනවා. අද සීතලයි, අද රස්නේ, දැන් බඩගිනි, මේ වෙලාවේ ආහාර ගත්ත
විතරයි, දැන් රෑ වුණා, දැන් පාන්දර, මොනවා හරි කියනවා, නැතිනම් දරුවා ලෙඩින්, මොනවා
හරි මාතෘකාවක් අරගෙන අමතක කරනවා. කුසල් කිරීමේ විරිය ලිහිල් වූ නිසා, ඒක
ප්‍රමාදයක්.
අප්‍රමාදී පුද්ගලයා කොපමණ වැඩ තිබුණත්, කොපමණ අපහසුතා තිබුණත්, පින්කමක් කරන්න සිත
යෙදුණු වෙලාවේ දානයක් දෙන්න හරි , සීලයක් ගන්න හරි, භාවනාවක් කරන්න හරි, ඕනෑම
වෙලාවක දී කුසල් කිරීමට තමන් නිතර අවදියෙන් සිටිනවා, සූදානමින් සිටිනවා, ඒ
අප්‍රමාදයක්.
දාන, සීල, භාවනා ආදී කුසල ක්‍රියා කිරීමේ දී සකස් කොට කරනවා නම් එය අප්‍රමාදයක්.
නිතර නිතර කරනවා නම් අප්‍රමාදයක්, කුසල් කරන්න සිත ආවම එය නිමාවක් දක්වා ම කරනව නම්
අප්‍රමාදයක්. කුසල් කිරීමෙන් පසුබට නොවී කිරීම අප්‍රමාදයක. කුසල් කිරීමේ කැමැත්ත
අත් නොහැර කරනවා නම් එයත් අප්‍රමාදයක්. කුසල් කිරීමේ පසුබට නොවී විරිය උපදවා කිරීම
අප්‍රමාදයක්. කුසල් කිරීම ආදරයෙන්, ගෞරවයෙන් කිරීම අප්‍රමාදයක්. නැවත නැවත කිරීම
අප්‍රමාදයක්. බහුල වශයෙන් කිරීමත් අප්‍රමාදයක්.
ප්‍රමාදය යනු සිහිය අමතක වීමයි. සිහිය එළැඹ සිටිනවා නම් ඒ අප්‍රමාදයක්. සිහිය සතිය
කියන්නේ අපේ සිතේ ඇතිවන සෝබන චෛතසිකයක්. සතිය හැම කුසලයකට ම මුල් වෙනවා. අපේ ගුණ
ජීවිත, අපේ සිල් ජීවිත, පිළිවෙත් පුරන ජීවිත, සැබෑ ගුණවත් නැණවත් බෞද්ධ ජීවිත බවට
පැමිණවීමට මේ සතිය අවශ්‍ය වෙනවා.
සතිය අයහපතෙන් වළක්වනවා. යහපත් දේට යොමු කරනවා. සතිය තමයි රහත් බවට, පසේ බුදු බවට,
සම්මා සම්බුදු බවට පත්කරන්නේ. සතිය තිබෙනවා නම් දාන පාරමිතා, සීල පාරමිතා ආදී පාරමී
ධර්ම පිරීමට මුල් වෙනවා. ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ ඇති ගාථා අපගේ ජීවිතය සකසා
ගැනීමට ඉතාමත් වැදගත්.
අප්‍රමාදය නිවනට මඟයි, ප්‍රමාදය නම් මරණයට මගයි, අප්‍රමාද අය කවදාවත් මරණයට පත්
නොවෙයි. ප්‍රමාද වූ අය සැමදා මළවුන් වගේයි.
මේ කාරණා දැනගෙන අප්‍රමාදී ව, බලවත් සතුටින් කුසල් කරනවා. සම්මා සම්බුද්ධ, පසේ
බුදු, මහරහතන් වහන්සේගේ ගොදුරු බිම කියන සතිපට්ඨාන පුණ්‍ය භූමිය සිත් අලවා වාසය
කරනවා. ඒ ඥානවන්තයෝ සමථ විදර්ශනා වඩමින් සිත දියුණු කරනවා. සිත දියුණු කරමින්
යෝගක්ෂේම සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා. අප ද බුදුරජාණන් වහන්සේගේ අවසාන
වදන අනුගමනය කරමින් ප්‍රමාදයෙන් වැළකී, අප්‍රමාද සංඛ්‍යාත කුසල දහම් කිරීමට
අධිෂ්ඨාන කර ගනිමු. සිත පිහිටුවා ගනිමු. |