දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්තෘන් වහන්සේ

දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්තෘන් වහන්සේ

විස්මිත ප්‍රඥා කෞශල්‍යයෙන් මුළුමහත් ලෝකය ම අවබෝධ කළ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ කොට ගෙන ආර්ය ශ්‍රාවක බවට පත්වීමට ලැබීම මේ ජීවිතයේ අප ලද මහත් ම භාග්‍යය යි. ඒ සම්මා සම්බුදු රජාණන වහන්සේ් සරණ යාම මේ ලොව ප්‍රඥාවන්තයන් විසින් පමණක් සිදු කරන්නකි. ඒ සරණ දුෂ්්ප්‍රාඥයන්ට හඳුනා ගැනීමට නො හැකි ය.

එනිසා පිබිදෙන්නට සූදානමින් හිරු මඬල නැඟෙන තුරු බලා සිටින පියුමන් බඳු ප්‍රඥාවන්තයන්ට අප සම්බුදු රජාණෝ මහා හිරු මඬලක් බඳු ය. ඒ හිරු මඬලේ සරණ ලැබුවෝ ලොව නුවණැත්තෝ ම පමණි. එබඳු නුවණැත්තෝ මිනිසුන් අතර සිටිති. එමෙන් ම දෙවියන් අතර ද සිටිති. ඒ නුවණැති බොහෝ දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් තථාගතයාණෝ ලොව පහළ වී වදාළහ.

දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝ සතුන් එක ම කටුවක සිර වී සිටින්නෝ ය. ඒ කටුව වූ කලී ‘අවිද්‍යාව‘ යි. තීක්ෂණ ප්‍රඥාව නම් වූ නිය සිළෙන් අවිද්‍යා කටුව සිඳගෙන විද්‍යාව පහළ කර ගත්තේ අපගේ පරමෝත්තම ශාස්තෘවර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ය. ඒ මහෝත්තමයාණෝ අවිද්‍යා කටුව සිඳලූ නිසාවෙන්, ඒ කටුව ගැනත් මනාව දන්නා සේක. ඒ කටුව සිඳිනා අයුරුත් මනාව දන්නා සේක. කටුව සිඳලූ පසු උදාවන ආලෝකය ගැනත් දන්නා සේක.

ඒ පුළුල් අවබෝධය සහිත ව අපගේ සම්බුදු රදුන් වහන්සේ අන්ත අසරණ ව සසර ගමනක පැටළුණු ලෝ සතුන්ට උතුම් පිළිසරණ දායාද කළ සේක. ඒ පිළිසරණ නම් උතුම් බුද්ධ රත්නයේ සරණ ය. අමෘතයක් බඳු වූ ධර්ම රත්නයේ සරණ ය. අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝ රත්නයේ සරණ ය. සියලු දුක් නැසීමටත්, ක්ෂේම වූ නිවන අත්දැකීමටත්, උතුම් ම සරණ වූ තෙරුවන් සරණේ පිහිටීමටත් පරිපූර්ණ මඟ පෙන්වීම කරන හෙයින් අප බුදුරජාණන් වහන්සේ සත්ථා හෙවත් ශාස්තෘ වන සේක. ඒ මඟ පෙන්වීම නුවණැති දෙවියන්ටත්, නුවණැති මිනිසුන්ටත් ජීවිතාවබෝධය කිරීමට හේතු වන නිසා, උන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ නොහොත් සත්ථා දේවමනුස්සානං වන සේක.

ක්ලේශ වසඟ ව සිට සම්බුදු රජුන්ගේ සරණ ලබා ජීවිත සුවපත් කරගත් නුවණැති මිනිසුන් ගැන අප කොතෙකුත් අසා ඇත. මේ මනුලොවට වඩා අතිශයින් ම උසස් කාම සම්පත් විඳින දෙවියන් ද, ඒ කාමයන්ට වසඟ ව ප්‍රමාදී ව සිට අසරණ වූ කල්හි ඔවුන්ට ද එක ම පිළිසරණ වූයේ අපගේ සම්බුදු රජාණෝ ම ය.

තව්තිසා දෙව්භවනේ නන්දන උයනේ පරසතු රුක එකල බොහෝ මලින් ගැවසී ගත් කාලය යි. දෙව්ලොව දෙවියන්ට පරසතු රුකේ මල් පිපුණු සමය විශේෂ සැණකෙළි සමයකි. සුබ්‍රහ්ම නම් දිව්‍ය පුත්‍රයා තම පරිවාර පන්සියයක් දිව්‍ය අප්සරාවියන් ද පිරිවරාගෙන මේ නන්දන වනයට පිවිසියේ ය. ඔවුහු බොහෝ වේලා වනයේ සතුටු වෙමින් සිටියෝ ය. එහෙත් එක්වර ම පන්සියයක් අප්සරාවියෝ නො පෙනී ගියෝ ය. මහත් තැති ගැන්මට පත් සුබ්‍රහ්ම දෙව්පුතු තම පි‍්‍රයමනාප අප්සරාවියන් උපන් ස්ථානය විමසන්නට විය. අහෝ සියලු දෙනා නිරයේ උපත ලබා සිටී.

මොහොතකට පෙර දිව්‍ය සළු හැඳ, සොඳුරු නන්දන උයනේ දිව්‍යමය ඵලවැලින් තුටු වෙමින්, කිංකිණි හඬින් සිනාසෙමින් සිටි ඔවුන් දැන්, ගිනිදැල් අතර විලාප නඟමින් දැවෙමින් සිටී. එවිට සුබ්‍රහ්ම දෙවියාගේ සිහිය උපන්නේ ය. තාවකාලික කම් සැපයකට වසඟ ව මේ විඳවන්නේ අපමණ දුක් ගොඩක් බව වැටහී ගියේ ය.

ඒ මොහොතේ ඒ දෙවියන් පිළිසරණක් සොයන්නට විය. දෙවියන්, මරුන්, බඹුන් සහිත මේ ලොව අන් කිසිවකුත් ඔහුට පිළිසරණයට නොවී ය. ඉරක් සඳක් මෙන් බැබළී පෙනුණේ අප සම්මා සම්බුදු රජාණෝ ම ය. භාග්‍යවතුන් වහන්සේ හමුවට ගිය ඒ සුබ්‍රහ්ම දෙවියන් සතර පද ගාථාවක් අසා ජීවිතාර්ථය සලසා ගෙන දහම දුටු ශ්‍රාවකයකු බවට පත්වීමට වාසනාවන්ත විය.

මෙසේ නුවණැති බොහෝ දෙවිවරු අප සම්බුදු රජාණන් වහන්සේ තම ජීවිතයට එක ම මාර්ගෝපදේශකයාණන් බවට පත් කර ගත්තෝ ය. ඉන්ද්‍ර නම් සක් දෙව් රජුන් වරක් ඉන්දසාල නම් ගුහාවේ දී බුදුරදුන් අභිමුඛයේ දී දහම් අසා සෝවාන් පලයට පත්ව දිවි හිමියෙන් අප බුදුරදුන් සරණ ගියේ ය. එපමණක් නොව තම ආයුෂ අවසන් වූ සක්දෙව් රජු එකෙණෙහි ම චුත ව නැවත සක්දෙව් රජු ලෙස එහි ම උපත ලැබුවේ ය. ඒ සක් දෙව් රජු තව්තිසා වැසි දෙවිවරුන්ගේ සුධර්මා නම් දිව්‍ය සභාවේ දී අප බුදුරජාණන් වහන්සේ තුළ විද්‍යමාන වූ ගුණ අටක් ගැන වර්ණනා කළ අයුරු දීඝ නිකායේ ‘මහා ගෝවින්ද සූත්‍රයේ’ දැක්වේ.

මේ අසිරිමත් සම්බුදු ගුණ වර්ණනාව අසා සිටි සුධර්මා දෙව් සභාවේ දෙවිවරු ‘අහෝ මෙබඳු උත්තම ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ හතර පස්නමක් ලොව පහළ වෙයි නම් එය කොයිතරම් අගනේ දැයි සතුටු වූහ. එවිට සක් දෙවිඳුන් මෙසේ පැවසීය.

“නිදුක්වරුනි, එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙනමක් පෙර පසු නොවී පහළ වන සේක් යන මෙකරුණ සිදු නොවන දෙයකි. එවැන්නකට අවකාශ නැත්තේ ය. එය දකින්නට නොමැති දෙයකි.

අහෝ නිදුක්වරුනි, ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අසනීපයක් නැති ව, නීරෝගි ව චිරාත් කාලයක් වැඩවසන සේක් නම් එය බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස ම හේතු වන්නේ ය.”

මෙසේ අප සරණ ගිය ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ගුණ ඝෝෂාව දෙවියන් අතර නිතර පැන නඟී. තුන් ලොවට ම ප්‍රඥාව උපදවන දහම දායාද කළ ඒ සම්බුදු රදුන්ගේ සරණ පමණි මේ සත්ත්වයන්ට ඇති එක ම පිළිසරණ වන්නේ. ඒ සම්බුදු රදුන්ගේ මංගල දම් දෙසුම මනුලොව ශ්‍රවණය කළේ පස් දෙනෙක් පමණි. එහෙත් කෙළ ගණනක් දෙවියෝ ඒ අසා සුවපත් වූවෝ ය. එතැන් පටන් ඒ දහමේ පිහිට ලද දෙවිවරුන් මෙපමණකැයි කිව නොහැකි ය. දෙව්ලොවින් දෙව්ලොවට ඉහළට යන්නට යන්නට රැව් දෙන්නේ සම්බුදු රදුන්ගේ ගුණ රාවය යි. තෙරුවනේ ගුණ රාවය යි. මේ ලෝක අතරේ ඉහළින් තිබෙන සුද්ධාවාස බ්‍රහ්මලෝකවල වසන බ්‍රහ්මකායික දෙවියන් අතරේ ඇත්තේ තෙරුවන් සරණ කර ගත් පිරිස පමණි. ඔවුහු සම්බුදු රදුන්ගේ ශාසනයේ අනාගාමී ඵලයට පත් ශ්‍රාවකයෝ ය.

දුක්ඛිත සසර ගමනක යෙදෙන සත්ත්වයන්ට සැප සලසාගත හැක්කේ සැබැවින් ම ඒ සම්බුදු ඔවදන් අනුගමනය කිරීමෙන් ම පමණි.

අප බුදුරජාණන් වහන්සේ සුගති රැකවරණය සලසාලන උතුම් අංග පහක් ගැන පෙන්වා දුන් සේක. ඒවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අවබෝධයෙන් යුතු චිත්තප්‍රසාදයත් (ශ්‍රද්ධා), පංච දුෂ්චරිතයෙන් වැළකී සිල්වත් වීමත් (සීල) බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනාකොට අසා ඒ ධර්මය පිළිබඳ පැහැදිලි නිරවුල් දැනුමක් ඇතුව සිටීමත් (ශ්‍රැත), මසුරුකම දුරුකොට දන්දීමත් (ත්‍යාග) චතුරාර්ය සත්‍ය පිළිබඳ ඇති අවබෝධයත් (ප්‍රඥා) යන සේඛ බලයන් ය. මේ සේඛ බලයන් උපදවාගෙන ඒවා දියුණුූ කරන ශ්‍රාවකයා ඒකාන්තයෙන් ම මිනිස් දිවිය අවසන් වූ පසු සුගති රැකවරණය ලබන්නේ ය. එකල මේ උතුම් සේඛ බල උපදවාගෙන සිටි මනුෂ්‍යයෝ මියගොස් තව්තිසා දෙවියන් අතර උපන්නෝ ය. ඒ දෙවිවරු අන්‍ය දෙවිවරුන්ට වඩා පැහැයෙනුත්, යසසිනුත් බබළන්නට වූහ. ඒ දැකීමෙන් සක් දෙවියන් ප්‍රධාන දෙවිවරුන් තුටු වූ අයුරු මහා ගෝවින්ද සූත්‍රයේ මෙසේ දැක්වේ.

“භවත්නි, ඒකාන්තයෙන් ම ඉන්ද්‍ර දෙව් රජු ප්‍රමුඛ තව්තිසා වැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයේ ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් පී‍්‍රති වෙති.

සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අලුතින් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද සිටිනු දකිමින් සතුටු වෙති.

මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මාර්ගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද අතිශයින් ම බබළති.

මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවේ දෙවිවරු තථාගතයන් වහන්සේටත්, තථාගත ධර්මයේ තිබෙන උතුම් පිළිසරණටත් නමස්කාර කරමින් සතුටු වෙති.

දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ, මහා කාරුණික වූ, දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, තිලෝක සරණ වූ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපිත් දිවි හිමියෙන් සරණ යමු.

“යමෙක් ඒ සම්බුදු රදුන් සරණ ගියේ නම්, ඔවුහු අපායේ නො යති. මේ මිනිස් දේහය අත්හරින විට ඔවුහු දෙව්ලොව උපදිති.”

වෙසක් අව අටවක

ජුනි 08 සඳුදා පූ.භා. 03.25න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23න් ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

Full Moonපසළොස්වක

‍ජුනි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]