|
වෙසක් අව අටවක පෝ දා
2026-06-08
තමන් ගැන සොයන්න
සැවැත්නුවර ලජ්ජා බිය ඇතිව හැදුණු කුලඟනක් විය. පාඨිකාජීවක ඇයගේ දරුවන් අතර කෙනෙක්
වුව ද ඔහු ඇයගේ කුසහොත් දරුවකු නොවීය. එහෙත් දරු තනතුරෙහි ලා හදා වඩා ගත්
පාඨිකාජීවකට ඒ මවගේ ආදරය, සෙනෙහස, රැකවරණය නො අඩුව ලැබුණි. විවාහයෙන් පසු මේ ආජීවක
අන් නිවෙසක ජීවත් වුව ද මව ගැන සොයා බලමින් කටයුතු කළේ ය.
මෙකල සැවැත්නුවර වැසියෝ ඉතා සැදැහැයෙන් දහම් අසනු පිණිස වෙහෙරට යති. බුදුරජාණන්
වහන්සේ පුදති. එහෙත් පෙර කී කුලඟනගේ ගෙදරින් කිසිවෙක් වෙහෙරට නොයති. සදහම් ශ්‍රවණයට
යන උවසු උවැසියෝ බුදු ගුණ වණති. දහම් ගුණ, සඟ ගුණ කියති. ‘බුදුගුණ සුවඳ ම ය, දහම්
රස මිහිරි ම ය යි කියති. මේ ඇසූ කුළඟනට ද දහම් අසන්නට වෙහෙරට යෑමේ ආශා වැඩිණි. ඒ
ගැන පාඨිකාජීවකට කීවා ය. එහෙත් ඔහු ඒ ගැන උරණ විය. නොසන්සුන් සිතින් මවගේ ගමන
වැළැක්වීය. එහෙත් මව බුදුරජාණන් වහන්සේ සිය නිවසට වඩමවා දන් පිළිගන්වා දහම් ඇසීමට
සිතීය. පාඨිකාජීවකට කතා කොට “පුත, දානය පිණිස බුදුරජාණන් වහන්සේට අපගේ නිවෙසට වැඩම
කරවන ලෙස ආරාධනා කරන්නැ’යි පිටත් කර හැරියා ය.
මෙවර ද ඔහු නොසන්සුන් විය. වෙහෙරට ගොස් බුදුරදුන්ට දානය පිණිස මවගේ නිවෙසට වැඩම කරන
ලෙස ආරාධනා කරවූවත් නිවැරැදි මඟ වසන් කොට වැරැදි මඟක් කීවේ ය. එහෙත් නියමිත දින
බුදුරජාණන් වහන්සේ ඒ මවගේ නිවෙසට වැඩම කළහ. රස මුසු දන් වළඳා දහම් දෙසන මොහොතේ මව
ඉතා සැදැහැයෙන් සාධුකාර දෙනු අසා ආජීවක මහත් කෝපයට පැමිණුනි. වහා ඉදිරියට පැන මහ
හඬින් දෝෂාරෝපණය කොට ඉවත ගියේ ය. මව බොහෝ ලජ්ජාවට පත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ අනුන්ගේ බැණුම්, දෙඩුම් හා කළ නොකළ දැය නොසිතිය යුතු බවයි. තමා කළ
නොහොඳ හා නොකළ යහපත පමණක් සිතා බැලිය යුතු බවයි. දහම් ඇසූ ඒ මව සෝවාන් මඟ පිහිටියා
ය.
ධම්ම පදයේ පුප්ඵ වග්ගයේ
න පරෙසං විලොමානි
න පරෙසං කතා කතං
අත්තනාව අවෙක්ඛ්‍යෙය
කතානි අකතානි ච යන ගාථා ධර්මයෙන් අර්ථවත් කෙරෙන්නේ ඒ සදුපදේශය යි.
බෞද්ධ ජනතාවට මේ දහම් පණිවුඩයෙන් දෙන ආදර්ශය ජීවිතය බබළවන මිණි පහනක් වැනි ය. බොහෝ
දෙනෙක් පුරුදුව සිටින්නේ අනුන් කළ දේ ගැන සිතමින්, අනුන්ගෙන් තමන්ට වන අකටයුතුකම්
ගැන සිතමින් තමන් පීඩාවට පත්වීම ය. මනස තුළ සිදුවන මේ ගැටීම් නිසා තමන්ට සිදුවන
අකුසලය මහත් ය. අනුන් ගැන සිතමින්, අනුන්ගේ පව්වලට තමන් ද කර ගැසීම අඥාන කමෙකි.
එයින් සිදුවන්නේ මේ ජීවිතයේ පමාදයට පත්වීම ය, විනාශයට පත්කර ගැනීම ය. පරලොව ද
දුගතිගාමී වීම ය. අනුන් කළ කී දේ ගැන සොයන්නට වෙහෙසෙන කාලය තමන් කළ අයහපත්කම් ගැන
සිතා එයින් මිදෙන්නට, කළ හොඳ ගැන සිතා තව තවත් එහි අප්‍රමාදිවීමට යෙදවීම නුවණැති
පුද්ගලයාගේ ස්වභාවය වන්නේ ය. මේ සදහම් මඟ යාමට අප්‍රමාදී වෙමු. දෙලොව යහපත සලසා
ගනිමු. |