[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සෑම මොහොතක ම සිහියෙන් සිටින්න

සෑම මොහොතක ම සිහියෙන් සිටින්න

අපගේ පෞද්ගලික ජීවිතයේ දී හෝ සාමාජීය ජීවිතයේ දී හෝ වෘත්තීය ජීවිතයේ දී හෝ දවසේ වැඩවල දී කයින්, වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීම සතර සතිපට්ඨානය වැඩීමයි. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟපසඟ හැකිළීම, දිගු කිරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬ වීම, ආහාරපාන ගැනීම, අනිකක් තබා මළ පහ කිරීම යනාදි හැම වැඩක් කරන මොහොතේ ම ඒ ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතුයි.

වෙන වචනවලින් කියතොත්, මේ මොහොතෙහි හෙවත් දැන් කරන වැඩෙහි ජීවත් විය යුතුයි. අතීතය හෝ අනාගතය ගැන කිසිසේත් නො සිති යුතු ය යනු මෙහි අදහස නො වේ. සැබැවින් ම දැන් කරන වැඩය හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක් හෝ අනාගතයක් වේ නම් ඒ ගැන මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතු ය.

මේ මොහොතේ අප බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවල නොවේ. අපි අතීතයේ හෝ අනාගතයේ හෝ ජීවත් වෙමු. අප මෙතැන වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත්, අපේ සිතිවිලි පවත්නේ වෙන තැනක ය. සිතින් මවාගත් කරදරවල හෝ ප්‍රශ්නවල ය. බොහෝ විට මේ සිතිවිලි අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳ කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත් ය. එහෙයින් අපි මේ මොහොතේ කරන වැඩෙහි ජීවත් වන්මෝ නො වෙමු. එයින් සතුටු වන්නෝ නො වෙමු. මේ පවත්නා මොහොත හෙවත් දැන් කරන වැඩය සතුටට හේතු නො වන විට, එ වැඩේට සිත මුළුමනින් යොදන්නට බැරි වීම ස්වභාවික ය.

බොජුන් හලක ආහාර ගන්නා මිනිසකු යමක් කියවනු සමහර විට අපට දක්නට ලැබේ. එවැන්නකු දුටු විට අප සිතන්නේ ඔහු අහර ගැනීමට පවා ඉඩක් නැති වැඩ අධික කෙනකු විය යුතු ය කියායි. ඔහු කරන්නේ අහර ගැනීම ද, නැතහොත් කියවීම දැයි අපට තේරුම් ගත නො හැකි ය. ඇතැම් විට ඔහු ඒ දෙක ම කරතැයි ද සිතිය හැකි ය. එහෙත් ඇත්ත නම් ඔහු එයින් එකක් වත් නො කරන බව ය. එකකින් වත් තෘප්තියක් නො ලබන බව ය. ඔහුගේ සිත කලබල සහිත ය. හේ දැන් කරන දෙයින් සතුටක් නො ලබයි. ඔහුගේ ජීවිතය මේ මොහොතට අයත් නො වෙයි. හේ ජීවිතයට මුහුණ නො පා මඟ හැරීමට අඥාන ලෙස, තමා නො දැන ම, යටි සිතින් උත්සාහ කරයි. (අහර ගන්නා අතර මිතුරකු සමඟ දෙඩීම නුසුදුසු යැයි මෙයින් අදහස් කරනු නො ලැබේ.)

අප කොතරම් උත්සාහ දැරුව ද, ජීවිතය මඟ හරින්නට අපට බැරි ය. නගරයක වුවද, වනාන්තරයක, ගුහාවක වුවද ජීවත්වනතුරු ජීවිතයට මුහුණ පෑ යුතු ම ය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස, මිය ගිය අතීතයේ මතක හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත් වන්නා සැබැවින් ම ජීවත් වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත.

දවසට එක් ආහාර වේලක් පමණක් වළඳමින්, සැහැල්ලු ජීවිතයක් ගත කරන ශ්‍රාවකයන්ගේ පෙනුම එතරම් පැහැපත් වන්නේ කවර හෙයින්දැයි වරක් විමසනු ලැබූ බුදුරදුන් මෙසේ වදාළහ. ‘ඔවුහු අතීතය ගැන ශෝක නො කරති. අනාගතය ගැන කල්පනා නො කරති. වත්මනින් යැපෙති. එහෙයින් වර්ණය පැහැපත් වෙයි. අනාගතය ගැන කල්පනා කිරීමෙන් ද, අතීතය ගැන ශෝක කිරීමෙන් ද අඥානයෝ, බාලයෝ (අව්වෙහි) කපා දමන ලද නිල් බට ගසක් මෙන් වියළෙති.’

ස්මෘතිය හෙවත් සිහිය එළඹීම නම් ‘මම මෙය කරමි’ ‘මම එය කරමි’ යැයි සිතීම හෝ ඒ අදහසින් යුක්තවීම නො වේ. එය වනාහි සිහිය එළවීමේ අනික් පැත්ත ය. ‘මම මෙය කරමි’ යයි සිතන පුද්ගලයා ස්ව චේතන වෙයි. මෙහිදී ඔහු ජීවත් වන්නේ ක්‍රියාවේ නො ව ‘මම වෙමි’ යන හැඟීම තුළ ය. එය ඔහු කරන වැඩට බාධාවකි. මුළුමනින් ම තමා අමතකර දමා, කරන වැඩට ම වසඟ විය යුතුය. කතාවක් පවත්වන කෙනකු ‘මම මේ සභාව අමතමි’ යැයි ස්ව චේතන වීම සමඟ ම ඔහුගේ කතාව නරක් වෙයි. අදහස් මාලාව ද බිඳෙයි. එහෙත් මාතෘකාවට වසඟ වී, එහි ගිලී, තමා අමතක කර කතාව පැවැත්වුවොත්, එය ඔහුට කළ හැකි ඉතා හොඳ කතාව වන්නේ ය. එවිට හේ මැනවින් කතා කරයි. කරුණු හොඳින් පැහැදිලි කරයි. කලාත්මක, කාව්‍යමය, ආධ්‍යාත්මික හැම විශිෂ්ට කෘතියක් ම, ඒ කෘතියේ උත්පාදකයා තමාගේ ඒ කාර්යයට වසඟව, තමා මුළුමනින් අමතක කොට, ස්වචේතනාවෙන් නිදහස් ව සිටි අවස්ථාවක කරන ලද්දකි.

බුදුන් වහන්සේ වදාළ පරිදි අපේ වැඩ කටයුතු පිළිබඳ සිහිය නම් දැන් කරන වැඩෙහි හෙවත් මේ මොහොතෙහි ජීවත් වීම ය. මේ භාවනා ක්‍රමයේ දී සිහිය දියුණු කර ගැනීම සඳහා අමුතුවෙන් කළයුතු දෙයක් නැත. කළ යුතු එකම දෙය නම්, කරන කවර වැඩකට වුවද සිහිය යෙදීම ය. අපේ මාහැඟි කාලයෙන් තත්පරයකුදු මේ භාවනාව සඳහා අමුතුවෙන් යෙදිය යුත්තේ නො වේ. කළ යුත්තේ ජීවිතයේ හැම වැඩක දී ම, රෑ දවල් හැම විටක ම, සිහියෙන් යුක්ත වීම ය. ඉහත විස්තර කරන ලද භාවනා ක්‍රම දෙක අපේ ශරීරයට සම්බන්ධ ය.

අපේ වින්දන අරමුණු කර ගෙන, සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛ හෝ අසුඛ හෝ සියලු වේදනා අරමුණු කර ගෙන වැඩිය හැකි භාවනාවක් ද වෙයි. අපි නිදසුනක් ගනිමු.

අපට කිසියම් දුක්මුසු වේදනාවක් ඇති වෙයි. එවිට අපේ සිත පැටළිලි සහිත වෙයි. අඳුරු වෙයි. පීඩිත වෙයි. මේ දුක්මුසු වේදනාව ඇති වූයේ කවර හෙයින් දැයි සමහර විට පැහැදිලි නැත. අපට ම එය තේරුම් ගන්නට බැරි ය. පළමුවෙන් ම, අපේ දුක් වේදනා ගැන දුක් නො වීමට ද පීඩා ගැන පීඩිත නො වීමට ද, ඉගෙන ගත යුතු ය. එහෙත් දුකක්, කනගාටුවක්, පීඩාවක් වෙත බලා එබඳු වේදනාවක් ඇතිවන්නේ කවර හෙයින් දැයි හොඳින් දැක ගන්නට අප උත්සාහ කළ යුතු ය. එය හටගන්නේ කෙසේ ද, කවර හේතුවක් නිසා ද, අතුරුදන් වන්නේ කෙසේද, නැති වන්නේ කෙසේද යන මේ සියල්ල විමසා බැලිය යුතු ය.

මෙහි දී වස්තුවක් පරීක්ෂා කර බලන විද්‍යාඥයෙකු සේ, තමාගේ ය යන හැඟීමක් නැති ව බැහැර සිට බලන්නාක් මෙන්, ඒ වේදනාව විමසා බලන්නට උත්සාහ කළ යුතුය. මගේ වේදනාව යයි පුද්ගල නිශ්ශි‍්‍රතව නො බලා ‘වේදනාවක්’ යයි විෂය නිශ්ශි‍්‍රත ව එය පිරික්සිය යුතුය. ‘මම’ යන මිථ්‍යා අදහස අමතක කර දැමිය යුතු ය. ඒ වේදනාව කෙබඳු ද, එය හටගන්නේ කෙසේ ද, අතුරුදහන් වන්නේ කෙසේ ද, නැතිවන්නේ කෙසේ ද යනු දක්නට ලැබුණු විට අපේ සිත එයින් නොකැළඹී, එයට නො බැඳී එයින් නිදහස් වෙයි. සෙසු වේදනා ද මෙපරිද්දෙන් ම තේරුම් ගත යුතු ය.

මී ළඟට අපි චිත්තානුපස්සනා භාවනාව ගනිමු. මෙහි දී අප කළ යුත්තේ අපේ සිත සරාග ව පවත්නා විට ද, විරාග ව පවත්නා විට ද, වෛරයෙන් හෝ ක්‍රෝධයෙන් හෝ ඊර්ෂ්‍යාවෙන් හෝ මෛත්‍රියෙන් හෝ කරුණාවෙන් හෝ එබඳු වෙන හොඳ හෝ නරක ගුණයකින් යුක්ත වන විට ද, එයින් තොර ව පවත්නා විට ද ඒ බව මැනවින් දැන ගැනීම ය. අපි බොහෝ විට අපේ සිත තුළට එබී බැලීමට ලජ්ජිත හෝ භීත වෙමු. එහෙයින් එය මඟ හැරීමට අපි කැමැත්තෙමු. කන්නාඩියෙන් මුහුණ බලන්නාක් මෙන් සිත ද බැලීමට අප අභීත විය යුතු ය. අවංක විය යුතු යි.

මේ භාවනාව විවේචනයක් හෝ විනිශ්චයක් හෝ නො වේ. යුක්තියත්, අයුක්තියත් නැතහොත් හොඳත් නරකත් සසඳා බැලීමක් ද නො වේ. මේ වූ කලි හුදු නිරීක්ෂණයකි. විමසිල්ලෙන් බැලීමකි. මෙහි ලා අපි විනිශ්චයකාරයෝ නොවෙමු. නමුත් විද්‍යාඥයෝ වෙමු. සිත පිරික්සා බලා එහි සැබෑ තතු දුටු විට, එහි ඇති වන ආවේග, භාව, තත්ත්ව යන මේවා ගැන අපි උපේක්ෂා සහගත වෙමු. එවිට අපි ලෝකයේ යථා තත්ත්වය දැන ගැනීමට සමත් වෙමු.

මෙහිදී අපි නිදසුනක් ගෙන බලමු. කිසියම් කෙනකු කෝපයෙන් වෙළී සිටිතැයි සිතමු. මෙසේ කුපිත වී කෝපයට යටත් ව සිටින තැනැත්තා, තමා එසේ කුපිත වී සිටින බව නො දනියි. මෙය පුදුම කාරණයකි. එහෙත් තම තත්ත්වය මෙබඳු යැයි දැනගත් වහාම, තම කෝපය දැකගත් වහාම ඔහුගේ සිත ලැජ්ජාවට පැමිණෙයි. කෝපය ද සංසිඳෙන්නට පටන් ගනී. එහෙයින් අප ඒ කෝපයේ ස්වභාවය ද, එය හටගන්නා සැටි ද, යළි අතුරුදන් වන සැටි ද විමසා බැලිය යුතු ය. මෙහිදී ‘මම කුපිත ව සිටිමි’ යයි හෝ ‘මගේ කෝපය’ යයි හෝ සිතීම නුසුදුසු ය. අප කළ යුත්තේ කුපිත වූ සිතක තත්ත්වය දැන ගැනීම පමණකි.

මේ හැර ධාර්මික, ආධ්‍යාත්මික, බුද්ධිමය විෂයයන් පිළිබඳ භාවනා ක්‍රමයක් (ධම්මානුපස්සනා) ද වෙයි. මේ විෂයයන් ඉගෙනීම, කියවීම, සාකච්ඡා කිරීම, විවේචනය කිරීම මේ භාවනාවට ඇතුළත් ය. මේ පොත කියවීමත් මෙහි විස්තර කරන ලද කරුණු ගැඹුරට සිතා බැලීමත් මේ ගණයේ භාවනාවක් වෙයි.

ඛේමක භික්ෂුව හා තව භික්ෂු පිරිසක් අතර පැවති සාකච්ඡාව භාවනාවක් වූ සැටි ද, එය නිර්වාණ ලාභයට හේතු වූ සැටි ද පෙර සඳහන් කරන ලද්දේ ය.

කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන මේ පංච නීවරණ හැදෑරීමත්, පිරික්සා බැලීමත් මේ භාවනා ක්‍රමයට ඇතුළත් වෙයි.

මේ පස කවර අවබෝධයකට වුවත්, කවර දියුණුවකට වුවත් බාධක යැයි සලකනු ලැබේ. මේ නීවරණවලට වසඟ වී සිටින, ඒවා වනසන සැටි නො දන්නා පුද්ගලයා හොඳ නරක, යුක්ති, අයුක්ති තේරුම් ගැනීමට අසමත් වෙයි.

අධි වෙසක් අමාවක

මැයි. 16 සෙනසුරාදා පූ.භා. 05.13න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31න් ගෙවේ.
16 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]