මනස සුවපත් කරන ත්‍රිවිධ චෛත්‍ය වන්දනාව
මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
ඕනෑම ආගමක් සම්බන්ධයෙන් ඊට අදාළ පුද පූජා සහ ඇදහිලි ක්‍රම විශේෂයක් දක්නට ලැබේ. එම
පුද පූජාවලට මූලික වන්නේ භක්තිය යි.
බුදු සමය සර්වබලධාරී දෙවියන් බැහැර කරන අදේවවාදී ධර්මයක් වුවත්, බුදුරජාණන් වහන්සේ
වටා නිර්මාණය වූ පුද පූජා සම්ප්‍රදායයක් ගොඩනැඟී ඇති බව පැහැදිලි ව සඳහන් කළ හැකි
ය.
බුදු සමයේ මූලික ඉගැන්වීම්වලට අනුව නම්, පුද පූජා සහ වන්දනා මඟින් විමුක්තිය ලබාගත
නොහැකි ය. ලෝකයේ පවත්නා යථාර්ථය හෙවත් දුක අවබෝධ කර ගෙන, එය නැති කිරීම සඳහා තමන්
විසින් ම ප්‍රතිපත්ති පුරා, විමුක්තිය ලබාගත යුතු ය යන්න, බුදුරජාණන් වහන්සේගේ
අනුශාසනය යි.
ත්‍රිපිටකයට අයත් ධම්මපදය, සුත්ත නිපාත වැනි ග්‍රන්ථවල වන්දනා, පුද පූජා ආදිය
කෙරෙහි විශ්වාසය ලැබීම ගැන දී තිබෙන්නේ ඉතාම අල්ප තැනකි. ගස් කොළන්, ආරාම, චෛත්‍යය
ආදියෙන් පිහිට ප්‍රාර්ථනා කිරීම උතුම් සරණක් නො වන බවත්, එමඟින් දුක් කෙළවර කර ගත
නොහැකි බවත්, ධම්මපදයෙහි සඳහන් වේ.
එසේම හුදෙක් තමන්ගේ රූපකාය වෙනුවෙන් ගෞරව භක්තිය දැක්වීම අර්ථවත් ක්‍රියාවක් නො වන
බවත්, බුදුන් දැකීමට නම් ධර්මය අවබෝධ කරගත යුතු බවත් උන්වහන්සේ වෙත ඉමහත් භක්තියක්
දැක්වූ වක්කලී නම් භික්ෂූන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම ප්‍රකාශ කර ඇත.
මූලික ඉගැන්වීම් සහ ප්‍රථමයෙන් පැවති තත්ත්වය කුමක් වුවත් බුදුරදුන් ජීවමාන කාලයෙහි
ම බුද්ධ වන්දනාව ආගමික අවශ්‍යතාවක් වශයෙන් තහවුරු වූ බව පාලි ත්‍රිපිටකයට අයත්
නිකාය ග්‍රන්ථවලින් ම සාධක ඉදිරිපත් කළ හැකිය. ධම්ම පදයෙහි ම එන ප්‍රකාශයකට අනුව
‘පූජාවට සුදුසු වූ ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය, ඉක්මවාලූ ශෝක පරිදේවයන් ඇති බුදුවරයන් ද
නොහොත් බුදු සව්වන්ද යමෙක් පුදා ද නිවුණු සිත් ඇති මර බිය රහිත වූ එබඳු පුද්ගලයන්
පුදන්නහුගේ පින මේ මෙතෙකැයි ගණින්නට කිසිවකුට නොහැකි ය යි දක්වා තිබීම ඒ සඳහා
පැහැදිලි නිදසුනකි. බුදුරජාණන් වහන්සේට නොව, බුද්ධ ශ්‍රාවකයන්ට හෝ පූජා පැවැත්වීම,
සම්මාන කිරීම, ගරු කිරීම දියුණුවට හේතු වන්නක් බව, මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි බුද්ධ
වචනයෙන් ම දක්වා ඇත. ඒ අතර ම පිරිනිවියා වූ සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් චෛත්‍ය
හෙවත් ස්තූප ඉදි කර ගෞරව දැක්වීම මහා කුසලයක් වශයෙන් මහා පරිනිබ්බාණ සූත්‍රයෙහි
තවදුරටත් ප්‍රකාශ කර තිබේ. ‘තථාගතයන් වහන්සේ වෙනුවෙන් ඉදි කළ චෛත්‍ය චාරිකාව
කරන්නාහු, සෑ වඳිමින් පුදමින් යන්නාහු, පහන් සිතැත්තෝ කළුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ
ම මරණින් මතු දෙව්ලොව පැමිණෙන්නාහු’ යනුවෙනි.
පසු කාලයෙහි වර්ධනය වූ මෙම බුද්ධ වන්දනාව භක්තිය මුල් කරගත් ආගමික ක්‍රියාවලියක්
වශයෙන් කෙතරම් වැදගත් තැනක් ඉසුලුවේ ද යත්, චෛත්‍යයක් වන්දනා කිරීමෙන් රහත්වීමට පවා
හැකි වූ බව සඳහන් කරයි. අපදාන පාලියෙහි එන කතා ප්‍රවෘත්තියකට අනුව, පුලීනථුපිය නම්
තෙරුන් වහන්සේ නමක් කරන මේ විස්තරයට අනුව උන්වහන්සේ පෙර අත් බවයක දී සැදැහැයෙන්
යුක්තව චෛත්‍යයක් කරවීමෙන් දේව ලෝකවල ඉපිද අසූවරක් දිව්‍ය රාජ්‍යයටත්, මිනිස් ලොව
සිය වරක් සක්විති රජ බවටත්, ගැණිය නොහැකි වාරයක් ප්‍රදේශ රාජ්‍යයටත් පත්ව අප බුදුන්
දවස තම මව්පියන් කළ කුඩා ස්වර්ණ ස්තූපයට නමස්කාර කිරීමත් සමඟ ඉහත කළ වැලිසෑය සිහි
කිරීමෙන් රහත් බවට පත් විය. මේ හැරුණු විට චෛත්‍ය වන්දනාවේ ආනිශංස වශයෙන් විවිධ
සම්පත් ලැබූ අවස්ථා ඉදිරිපත් කෙරෙන කතා, ථෙර - ථේරි අපදාන, බුද්ධ වංශ, විමාන වත්ථු
යන පෙළට අයත් ග්‍රන්ථවල කොතකුත් දක්නට ලැබේ.
චෛත්‍ය වන්දනාවේ වඩාත් සංවර්ධිත අවස්ථාව වශයෙන් පාලි අටුවා සාහිත්‍යය හැඳින්විය
හැකිය. පෙළ පොත්වල නොමැති චෛත්‍ය වන්දනාව පිළිබඳ විස්තර, චෛත්‍යය ප්‍රභේද, වන්දනා
විධි, ආනිසංස සහ චෛත්‍යයන්ට හානි කිරීමේ විපාක ආදිය ගැන ද අටුවාවල සඳහන් වෙයි.
අබැටක් පමණ වූ ධාතුවක් ගෙන චෛත්‍යයක් සාදා එයට පූජා සත්කාර කිරීමෙන් මනුෂ්‍යයෝ
සුගතගාමී වත්වයි සම්බුදුරදුන් අදහස් කළ බව, දීඝනිකාය අට්ඨ කථාවේ දක්වා ඇත. ආචාර්ය
අදිකාරම් මහතා සඳහන් කරන්නේ ත්‍රිපිටකයෙහි ඇතුළත් වී නොමැති එහෙත් අට්ඨ කථාවන්හි
දක්නට ලැබෙන දෘෂ්ටි පූජා විධි ආදිය ලක්දිව දී එකතු වූ ඒවා වශයෙන් ගැනීම යුක්ති සහගත
බවය. එහෙත් එම අදහස් අපට එක එල්ලේ ම පිළිගැනීමට අපහසු වන්නේ මිහිඳු මාහිමියන්
ලක්දිවට වඩින අවස්ථාව වන විට චෛත්‍ය වන්දනාව භාරතයේ බෙහෙවින් ජනපි‍්‍රය පූජා
ක්‍රමයක් ව තිබුණු බවට කොතකුත් සාධක තිබෙන බැවිනි. ක්‍රි.පූ. 380 දී වේසාලියෙහි
පැවැත් වූ දෙවන සංගායනාවෙන් පසු බිහි වූ සර්වාස්තිවාදී සම්ප්‍රදාය බුදුසමයේ භක්තිමය
අංශය දියුණු වීමට මූලික වූ බව පිළිගත හැක. සර්වාස්තිවාදීන්ට අයත් අවදාන
සාහිත්‍යයෙහි (දිව්‍යාවදානය, අවදාන ශතකය ආදී) සහ ලෝකෝත්තරවාදී විනය ග්‍රන්ථයක් වන
මහා වස්තුවෙහි බුදුරජාණන් වහන්සේ සහ ස්තූප වැඳීම ලෞකික සැප හා නිවන් දැකීමට ද උපකාර
වන බව අවධාරණය කර පෙන්වයි.
තුන්වැනි සංගායනාව, ස්ථවිරවාදය තහවුරු කිරීමක් වුව ද, සර්වාස්තිවාදී මහා සාංඝික ආදී
සම්ප්‍රදායයන්ගේ අදහස් සමාජය තුළ වර්ධනය වීම හේතුවෙන් ථෙරවාදයෙහි ප්‍රායෝගික අංශය
කෙරෙහි භක්තිය පෙරදැරි කරගත් එම අදහස් බලපෑම අනිවාර්යයෙන් සිදු වූ බව අශෝක රජතුමාගේ
කාලයෙහි ස්තූප ධාතු සහ බෝධි වන්දනාවට ප්‍රමුඛත්වයක් ලැබීමෙන් පැහැදිලි වෙයි. එම
නිසා අපේ අටුවා ග්‍රන්ථවල ඇතුළත් පුද පූජා විධි සියල්ල ලක්දිව දී ඇති වූ ඒවා යැයි
සිතීම යුක්ති සහගත නොවේ.
ත්‍රිවිධ චෛත්‍ය සංකල්පය මුල්කරගෙන අප රටෙහි දී අලුතෙන් එකතු වූ හා සංවර්ධනය වූ පුද
පූජා විධි අටුවා සහ සම්භාව්‍ය සාහිත්‍ය මෙන්ම ජනසාහිත්‍යය ඇසුරෙන් ද කොතකුත්
දැක්විය හැකිය. මෙම කරුණු අනුව බෞද්ධයන්ගේ චෛත්‍යය වන්දනාවේ මුල්ම අවස්ථාව ස්තූපය
හෙවත් ධාතු චෛත්‍යයෙන් ආරම්භ වූ බව අපගේ පිළිගැනීමයි.බොහෝ දෙනාගේ පිළිගැනීම
බුදුරදුන් ජීවත් ව වැඩ සිටින අවදියේ ම ආනන්ද තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන්
වෙනුවට පූජා පැවැත්වීමට බුදු වූ දින පිට දුන් බෝධියෙන් ශාඛාවක් ජේතවනාරාමයෙහි පිහිට
වූ බව ය.
පළමුවරට මේ පිළිබඳ විස්තරයක් සඳහන් වන්නේ පාලි ජාතකට්ඨ කතාවේ එන කාලිංග බෝධි
ජාතකයෙහි ය. ඒ සමඟ ම එහි ඇතුළත් බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳ විස්තර
ආදියෙන් පැහැදිලි වන්නේ බුද්ධ යුගයේ බෝධි වන්දනාවක් නොව පසු කාලයෙහි ශ්‍රී ලංකාවේ
ඉතා ජනපි‍්‍රය බෝධි පූජාවක අන්තර්ගත ලක්ෂණයන් ය. මෙවැනි පූජාවක් පෙළෙහි දක්නට
නොමැති නිසාත්, ධාතු තැන්පත් කර බුදුරදුන් වෙනුවෙන් ස්තූප කරවන බවට මගධ, ලිච්ඡවි,
ශාක්‍ය, කෝලිය ආදී රජවරු බුද්ධ පරිනිර්වාණයේ දී සිදුකර ඇති ප්‍රකාශන පරිනිබ්බාන
සූත්‍රයෙහි වාර්තා වී ඇති නිසාත්, අටුවාවේ එන බෝධි පූජා විස්තරයට වඩා එය පැරැණි යයි
පිළිගත හැකි ය.
කෙසේ වෙතත් වන්දනීය වස්තුවක් වශයෙන් බෝධියට ද මූලිකත්වයක් ලැබී තිබුණු බව බෝධි
වන්දනාව නිරූපණය කෙරෙන සංචි හා භාරත් කැටයම් ආදියෙන් පැහැදිලි වෙයි.
ත්‍රිවිධ චෛත්‍යය සංකල්පය ඇති වූයේ අනිවාර්යයෙන් ම බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ය යනු
අපේ පිළිගැනීම යි. බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු බුද්ධ වන්දනාව සඳහා භාවිත කළ
සියලු පූජා වස්තු වර්ග තුනකට බෙදා ඒ සියල්ල ත්‍රිවිධ චෛත්‍ය නමින් පිළිගැනීමක් ඇති
වූ බව ඉහත දැක් වූ කාලිංග බෝධි ජාතක කථාව නිදසුන් වශයෙන් දැක්විය හැකිය. මෙහි මෙසේ
සඳහන් වෙයි. “බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා ආනන්ද, සැදැහැවතුන් විසින් පිදිය
යුතු චෛත්‍යය තුනක් වෙයි. ශාරීරික, පාරිභෝගික හා උද්දේසික යනු ඒ චෛත්‍ය තුනයි.
“ස්වාමිනී, ඔබවහන්සේ ජීවත්ව සිටිය දී ම චෛත්‍යයන් කරවිය හැකිද?” ආනන්දයෙනි,
ශාරීරිකය කරවන්නට නො පිළිවන. එය බුදුන් පිරිනිවී කල්හි කළ යුත්තකි. උද්දේසිකය
අවත්ථුකය. චිත්තමාත්‍රයකින් වන්නෝ ය. බුදුන් විසින් පාරිභෝග කරන ලදී. ජීවමාන ව
සිටිය දී මෙන්ම පිරිනිවන් පා වදාළ කල්හි ද කළ හැකි ය.
මෙහි ශාරීරික චෛත්‍යය වශයෙන් හැඳින්වෙනුයේ බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු දේහය දවා
ශේෂ වන කොටස් හෙවත් ධාතුන් වහන්සේ තැන්පත් කොට ඉදි කරනු ලබන ස්තූපය යි. පාරිභෝගික
චෛත්‍ය නම්, බුදුන් වහන්සේ පරිහරණය කළ බෝධි වෘක්ෂය, පාත්‍රය ආදී දේ ය. උද්දේසික
චෛත්‍යය නම් එබඳු උතුමන් උදෙසා සකසා ගත් පෙති පිළිම ආදිය යි. මෙහි උද්දේසික
‘අවත්ථුක’ යනුවෙන් දැක්වූයේ ඒ සඳහා නිශ්චිත වස්තුවක් නැත යන්න ය. එහෙත් පසු කාලයෙහි
දී උද්දේසික යනුවෙන් අදහස් කළේ බුද්ධ ප්‍රතිමාව යි. මෙයින් පැහැදිලි වන්නේ ජාතකට්ඨ
කතාව සකස් වන කාලය වන විට බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වී නො තිබුණු බව ය.
අනෙක් අතට ලංකාවට බුදු සමය පැමිණ කලක් ගතවනතුරු මෙහි පැවතියේ ශාරීරික සහ පාරිභෝගික
යන චෛත්‍ය දෙක පමණකි. එයට හේතුව ද ඒ වන විට උද්දේසික චෛත්‍යය හෙවත් බුදු පිළිමයක්
නිර්මාණය වී නො තිබීමයි. බුදු දහම ව්‍යාප්ත කරලීමෙහි ලා වන්දනීය වස්තූන්ගේ
අවශ්‍යතාව ය තේරුම් ගත් මිහිඳු මහරහතන් වහන්සේ එය දෙවන පෑතිස් රජතුමාට ඉදිරිපත් කළේ
ඉතා සිත් ගන්නා සුළු ආකාරයෙනි.
“රජතුමනි අපගේ ශාස්තෘන් වහන්සේ කලකින් නො දැක අනාථවාසයෙන් වසම්හ. මෙහි අපට
උන්වහන්සේ වෙනුවට පිදීමට පූජා වස්තුවක් නැත්තේ යැයි මිහිඳු හිමියෝ ප්‍රකාශ කළහ.
“ස්වාමීනි, සර්වඥයන් වහන්සේ පිරිනිවී සේකැයි වදාළා නොවේදැයි” රජතුමා ඇසීය. “ධාතූන්
දුටු කල්හි බුදුරජාණන් වහන්සේ දැක්කා නම් වේ” යැයි මිහිඳු හිමියෝ වදාළහ.
තමා ලවා සෑයක් කරවීමේ, මිහිඳු හිමියන්ගේ අදහස් තේරුම් ගත් රජතුමා සෑය කරවීම තමා
විසින් සිදු කරන බවත්, ධාතුන් වහන්සේ ගෙන්වා ගැනීම මිහිඳු තෙරුන්ගේ කාර්යයක් බවත්
පැවසූ ය. දඹදිවින් සර්වඥ ධාතුන් වහන්සේ ගෙන්වා ගත් මිහිඳු මාහිමියෝ රජතුමා විසින්
කරවන ලද ථූපාරාම නම් ස්තූපයෙහි තැන්පත් කරන ලදී. මේ අනුව ලංකාවේ ඇති වූ ප්‍රථම
චෛත්‍යයත්, ප්‍රථම ස්තූපයත් ථූපාරාමය ලෙස සඳහන් කළ හැකි ය. එසේම ත්‍රිවිධ චෛත්‍ය
වන්දනා සහ පුද පූජාවන්ගේ සමාරම්භය ද එය ම විය.
ථූපාරාම ස්තූපය කරවීමෙන් පසු නොබෝ දිනකින් ම පාරිභෝගික චෛත්‍යය වශයෙන් ශ්‍රී මහා
බෝධි ශාඛාව වැඩම කරවීම සිදු විය. මෙය ධාතුන් වහන්සේ වැඩමවීමටත් වඩා ආශ්චර්යවත්
සිදුවීමක් ලෙස මහා වංශයෙහි විස්තර කෙරේ. උද්දේසික චෛත්‍යය හෙවත් බුද්ධ
ප්‍රතිමාවහන්සේ ලංකාවේ ප්‍රථමයෙන් ම නිර්මාණය වූයේ කිනම් වර්ෂයේ දී ද යන්න ස්ථිර ව
නිගමනය කළ නොහැක. ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය මෙන් ස්ථිරව වන්දනා සඳහා පළමුවෙන්
පිහිටු වූ බුද්ධ ප්‍රතිමාවක් ගැන මහාවංශයේ හෝ දීප වංශයෙහි හෝ සඳහන් නොවේ.
මේ පිළිබඳ ව ප්‍රථම වරට මහා වංශයෙහි සඳහන් වී ඇත්තේ දුටුගැමුණු රජුගේ කාලයේදී ය.
එතුමන් රුවන්වැලි මහා සෑයෙහි ධාතු ගර්භයෙහි බුද්ධ පර්යංකාරූඪව සිටින සේ බුදු
පිළිමයක් කරවූ බව එහි සඳහන් වේ. එහෙත් මේ පිළිබඳ උගතුන් අතර විවිධ අදහස් දක්නට
ලැබේ. පාලි අට්ඨකථාවල බුදු පිළිම වන්දනාව නොසලකා හැර තිබුණත්, ක්‍රි.ව. 5 වැනි
ශතවර්ෂය වනවිට ලංකාවේ විශාල බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම ආරම්භ වී තිබුණු බව පරණවිතාන
මහතා පවසයි. ඔහුගේ මතය අනුව ලංකාවේ ප්‍රථම විශාල බුද්ධප්‍රතිමාව කරවන ලද්දේ ගෝඨාභය
රජුගේ කණිටුපුත් මහාසේන (ක්‍රි.ව. 276 - 304) රජු විසින් ය. එය රැස්සේරුව හිටි
පිළිමය යි.
ලංකාවේ බුද්ධ ප්‍රතිමාව කවදා ආරම්භ වුවත් අටුවා ලියන අවධිය වනවිට බුද්ධ ප්‍රතිමා
වන්දනීය, පූජනීය වස්තුවක් ලෙස සලකා නැති බව පෙනේ. ත්‍රිවිධ චෛත්‍යය ගැන පාලි
අටුවාවන්හි ඉහත දැක්වූ ස්ථාන දෙක තුනක සඳහන් වුව ද, ස්තූපය, බෝධිය වන්දනා කිරීමේ
පිළිවෙළ හා වැදගත්කම ගැන විනා උද්දේසික වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනා කිරීම
පිළිබඳ විස්තර ඇතුළත් නොවේ. මෙයට හේතුව වශයෙන් මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ මත
දෙකක් ඉදිරිපත් කරති. එකක් හෙළටුවා ලියැවෙන විට පිළිම වැඳීම පුරාණ පූජා ක්‍රමයෙන්
පිටස්තර වූවක් වීම සහ අනෙක බුද්ධ පිළිම ලංකාවට හඳුන්වාදීම මහායාන බලපෑමෙන් සිදු
වූවක් නිසා එය නොතකා හැරීමයි.
මුලින්ම බුද්ධ ප්‍රතිමා ස්තූපය ඇතුළත තැන්පත් කරන ලදී. අටුවාවන්හි සඳහන් එකී එකම
බුද්ධ ප්‍රතිමාව වුවත් සාමාන්‍ය ප්‍රතිමාවක් නොව ධාතු නිදන් කරන ලද්දකි. ආචාර්ය
අදිකාරම් මහතා සඳහන් කරන්නේ ‘එහෙයින් එය දරන්නේ පිළිමයක තැනට වඩා ස්තූපයක
තත්ත්වයක්” බව ය. බුද්ධ ප්‍රතිමාවට වන්දනීය තත්ත්වයක් ලබාදීම සඳහා ය. එම නිසා
ප්‍රථමයෙන් තැනූ බුද්ධ ප්‍රතිමාවල ධාතු නිදන් කළ බව පිළිගත හැකි ය. මජ්ක්‍ධිම නිකාය
අට්ඨකථාවට අනුව බුදු පිළිම, බෝධියට වඩා උසස් වන්නේ එහි ධාතු තැන්පත් කර තිබුණහොත්
පමණි. මීළඟට බෝධි වන්දනාවට ම සම්බන්ධ වන ආකාරයට බුදුපිළිම බෝධිය අසලින් ම බෝමළුවෙහි
තැන්පත් කරන ලදී. එහෙත් පසුව ක්‍රමයෙන් බෝධියෙන් පිටස්තර ව බුද්ධ ප්‍රතිමා තනා ඒවාට
පිළිම ගෙවල් ආදිය ද කරවන්නට යෙදින. මේ අයුරින් ක්‍රි.ව. 5 ශත වර්ෂය පමණ වන විට
බුද්ධ ප්‍රතිමා වන්දනාව ද ස්තූපය, බෝධිය හා සමාන ව සම්භාවනාවට ලක් වූයේ යැයි සිතිය
හැකි ය.
පූජනීයත්වය අතින් සලකන විට ත්‍රිවිධ චෛත්‍යය අතරෙහි සම්ප්‍රදාය විසින් ප්‍රමුඛත්වය
ලබා දී ඇත්තේ ධාතු වන්දනාව නැතහොත් (ශාරීරික) ධාතු චෛත්‍ය වන්දනාවට ය. ධාතූන්
වහන්සේගේ සම්බන්ධය කෙළින්ම බුද්ධ ශරීරය සමීප ව සම්බන්ධ වන හෙයිනි. “ධාතුන් වහන්සේ
පවතී නම් ජීවමාන ව බුදුන් වැඩ සිටිති.” යන අදහසින් එය වඩාත් පැහැදිලි වෙයි. බෝධියට
දෙවැනි තැන හිමිවන්නේ බුදුන් වහන්සේම නොවූවත් බුද්ධ පාරිභෝගිකත්වයට පත්ව ඇති
හෙයිනි. උද්දේසිකය හෙවත් ප්‍රතිමා වහන්සේ වන්දනීය වස්තුවක් වශයෙන් තෙවැනි තැන ගන්නේ
එය බුදුන් වහන්සේ වෙනුවෙන් අමුතුවෙන් නිරිමාණය වූවක් නිසා ය. ව්‍යවහාරික බුදු සමයේ
ද ත්‍රිවිධ චෛත්‍යය වන්දනාවේ අනුපිළිවෙල සකස් වූයේ මේ අන්දමට ය. ත්‍රිවිධ චෛත්‍ය
වන්දනාවට සකස් වූ
වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානෙසුපතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා” යන ඉපැරැණි ගාථාවෙන් ද එය පැහැදිලි වෙයි.
කෙසේ වෙතත් භාවිතයෙහි දී මෙම චෛත්‍ය තුන අතුරින් පාරිභෝගික චෛත්‍යය වඩාත් ජනපි‍්‍රය
වූ බව කනිංහැම් මහතා පෙන්වා දෙයි. ඒ සඳහා ඔහු හේතු සාධක වශයෙන් දක්වන්නේ බෝධි වැඩි
කර ගැනීමට ඇති හැකියාවත්, මූලික බෝධියෙන් අංකුරයක් හෝ ලබා ගැනීම ඇති පහසුකමත් ය.
බෝධියක් රෝපණය කර ගැනීමට බුදුපිළිමයක් නිර්මාණය කර ගැනීමටත් වඩා පහසුවෙන් කරගත
හැකිය යනු ඉන් අදහස් කෙරේ.
ඒ අතර ම බෝධි පුජාව ජනපි‍්‍රයවීමට තවත් හේතුවක් නම් බෝධිය සජීවී වස්තුවක් වීමත්,
බෝධියට පුද පූජා පැවැත්වීම ලෞකික අපේක්ෂාවන් ඉටු කරගන්නා වු, පූජා විධියක් ය යන්න
සමාජය තුළ තහවුරු වීමත් බව අපගේ අදහසයි.
අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ත්‍රිවිධ චෛත්‍යය වන්දනාව මෙසේ ක්‍රමයෙන් විකාශයට
පත්ව අනාදිමත් කාලයක සිට බෞද්ධ සමාජය තුළ තහවුරු වී ගිය ප්‍රධානතම පූජා විධියක් වූ
අතර, ඊට අදාළව වර්ධනය වූ සාහිත්‍යය, කලා ශිල්ප, ජනශ්‍රැති, විශ්වාස හා සිරිත්
විරිත් වශයෙන් විශාල සංස්කෘතියක් ගොඩනැඟී ඇති බව ය. ඒ පිළිබඳ ව කරුණු සාකච්ඡා කිරීම
වෙනම ම අධ්‍යයනයක් ලෙස සිදු කළ යුතු ය.
බෙල්ලන්විල විමලරතත අනුනාහිමිපාණන් වහන්සේට කෘතෝපහාර පිණිස
මෙම ලිපිය පළ කෙරේ. |