[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තථාගතයන් වහන්සේගේ අසිරිමත් පුණ්‍ය මහිමය

තථාගතයන් වහන්සේගේ අසිරිමත් පුණ්‍ය මහිමය

ලොව පහළ වූ අසහාය අද්විතීය මනුෂ්‍ය රත්නය වනාහී තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. සෑම මනුෂ්‍යයකුගේ ම ජීවිතයේ ඉරණම තීරණය වන්නේ තම තමන් විසින් කරන කුසල අකුසල කර්ම මත යි. එය මෙසේ ය.

සෑම සත්වයෙක් ම කර්මය දායාද කරගෙන සිටිත්. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිත්. කර්මය ඥාතියා කරගෙන සිටිත්. කර්මය පිළිසරණ කරගෙන සිටිත් යහපත් හෝ අයහපත් හෝ යම් කර්මයක් කරන්නේ ද ඔහුට පිළිසරණට පවතින්නේ එය යි.

නිධිකණ්ඩ සූත්‍රයේ පෙන්වා දී ඇති පරිදි සෑම මගඵලලාභී ශ්‍රාවකයෙක් ම බිහිවන්නේ තම තමන්ගේ පුණ්‍ය ශක්තියට අනුව යි. සෑම පසේ බුදුරජාණන් වහන්සේ නමක් ම පහළ වන්නේ පුණ්‍ය ශක්තියට අනුව යි. එමෙන් ම සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ ද පුණ්‍ය ශක්තියට අනුව යි. පුණ්‍ය ශක්තියේ අග්‍රතම ඵලය වන්නේ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීමයි.

බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් පුණ්‍ය බලය මෙසේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නොපෙරෙලෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාග් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසථ සිල් රැකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුල දෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය.

සම්බුදු රජාණෝ බෝසත් අවදියෙහි දී ඒ කර්ම කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ් දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි කිසිවකු විසින් හෝ මැඬලිය නොහැක්කේ වෙයි.

මෙසේ බුදුරජාණන් වහන්සේ කිසිවකුට මැඬලිය නොහැකි පුණ්‍ය මහිමයෙන් යුතු ව වැඩ සිටි සේක. එපමණක් ද නොව මහා පරිවාර සම්පත්තියක් ලබා වැඩ සිටි සේක.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය.

සොරුන්ගෙන් වන භය දුරු කොට, අමනුෂ්‍ය භය දුරුකොට, ධාර්මික ආරක්ෂාව සලසනුයේ විය. එමෙන් ම බොහෝ දෙනාගේ සුව පහසුව සලසනුයේ පිරිවර හා එක් ව දන් දුන්නේ ය. බුදුරජාණන් වහන්සේ ඒ කර්ම කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහා පිරිවර ලබන්නේ වෙයි. භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ලබන්නාහ.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්ව ඝාතනය අත්හැර සතුන් මැරීමෙන් වැළකී සිටියේ විය. දඬු මුගුරු අත්හැරියේ විය. අවි ආයුධ අත්හැරියේ විය. සතුන් මැරීමෙහි ලජ්ජා ඇත්තේ විය. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි දයානුකම්පා ඇත්තේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කල් සිටින දීර්ඝායුෂ ලබන්නේ ය. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරෙයි. ඒ අතරතුර ජීවිතය සතුරු වූ, විරුද්ධකාර වූ, කිසි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි කිසිවකු විසින් හෝ ඒ බුදුරදුන් ඝාතනය කළ නොහැක්කේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට දෙලොව යහපතට හේතු වන කුසල් දහම් වැඩීමට උපකාරී වන වචන කියන ලද්දේ ය. බොහෝ ජනයාට දෙලොව යහපත සැලසුවේ ය. ප්‍රාණීන්ට හිතසුව සැලසුවේ ය.

ධර්මයාගය කරන්නෙක් වූයේ ය. ඒ කර්ම කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, සියලු සත්වයන්ට අග්‍ර වූයේත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේත් වෙයි. ප්‍රමුඛ වූයේත් වෙයි. උතුම් වූයේත් වෙයි. වඩාත් උතුම් වූයේත් වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ශ්‍රමණයකු හෝ බ්‍රාහ්මණයකු හෝ කරා යන හේ කරුණු දැන ගැනීම පිණිස විමසන්නේ වෙයි. එනම් ‘ස්වාමීනි, කුසලය යනු කුමක් ද? අකුසලය යනු කුමක් ද? වැරැදි දෙය යනු කුමක්ද? නිවැරැදි දෙය යනු කුමක් ද? සේවනය කළ යුතු දේ යනු කුමක්ද? සේවනය නො කළ යුතු දේ යනු කුමක්ද? මා විසින් කුමක් කරන ලද්දේ, බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස පවතින්නේ ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් හිත පිණිස, සැප පිණිස පවතින්නේ ද?’ යනාදී වශයෙනි. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහා ප්‍රඥාව ඇත්තේ වෙයි. පැතිර පවත්නා ප්‍රඥාව ඇත්තේ වෙයි. සතුට බහුල ප්‍රඥාව ඇත්තේ වෙයි. වේගවත් ප්‍රඥාව ඇත්තේ වෙයි. තියුණු ප්‍රඥාව ඇත්තේ වෙයි. විනිවිද යන ප්‍රඥාව ඇත්තේ වෙයි. ඒ බුදුරදුන්ගේ ප්‍රඥාවට සමාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ කිසිවෙක් සියලු සත්වයන් අතර නැත්තේ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට පින්කම් කිරීමෙහි ප්‍රධාන වූයේ ය. කාය සුචරිතයෙහි දී, වාග් සුචරිතයෙහි දී, මනෝ සුචරිතයෙහි දී, දන් පැන් බෙදීමෙහිදී, සීල සමාදානයෙහි දී, උපෝසථයෙහි දී, මවුපිය උපස්ථානයෙහි දී, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමෙහි දී, කුලදෙටුවන් පිදීමෙහි දී වෙනත් බොහෝ අධිකුසල ධර්මයන් හිදී බොහෝ ජනයාට ප්‍රමුඛ වූයේ විය. ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහජන තෙමේ ඒ බුදුරදුන්ගේ වචනය අනුව යන්නේ වෙයි. භික්ෂූහු භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරදුන්ගේ වචනය අනුව යන්නෝ ය.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියේ විය. සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගළපනුයේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු බස් ඇත්තේ, ලොව නො රවටන බස් ඇත්තේ විය. ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, මහජන තෙමේ ඒ බුදුරදුන්ගේ අදහසට අනුව පවතින්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරදුන්ගේ අදහසට අනුව පවතින්නාහ.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම හිස් වචනය බැහැර කොට හිස් වචනයෙන් වැළකුණේ වූයේ ය. කල් දැන වචන කිව්වේ ය. සිදු වූ දෙය ම කිව්වේ ය. යහපත ම කිවේ ය. ධර්මය කිව්වේ ය. විනය කිව්වේ ය. සිතෙහි රඳවා ගන්නට නිසි වචනයක් ම කිව්වේ ය. සුදුසු කල්හි උපදේශ සහිත ව, සීමාවක් ඇති ව අර්ථයෙන් යුතු වචන කිව්වේ ය. ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, අභ්‍යන්තර හෝ බාහිර හෝ සතුරන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන්් හෝ ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලෝකයෙහි වෙන කවරකු විසින් හෝ නෙරපිය නො හැක්කේ වෙයි.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මිථ්‍යා ආජීවය දුරු කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළේ ය. තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා,. මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැවටීම, නො වටිනා දේ වටිනා හැටියට පෙන්වා රැවටීම, අත් පා සිඳීම, වධ දීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැර ගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද?, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය. ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, පිරිසුදු පිරිවර ඇත්තේ වෙයි. ඒ බුදුරදුන්ගේ ශ්‍රාවක වූ භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදි පිරිවර පිරිසුදු වෙති.

බුදුරජාණන් වහන්සේ විසින් ම ය, දීඝ නිකායෙහි ලක්ඛණ සූත්‍රයෙහි බෝසත් අවදියේ දී රැස්කළ පින ගැන මේ අයුරින් වදාළේ. මෙසේ පිනෙන් අගතැන්පත් සම්බුදු රජාණෝ අග්‍රස්ථානයෙහි පිහිටා සම්බුදු සසුන් රැක ස්ථාපිත කළ සේක. කෙතරම් ආශ්චර්යය අද්භූත ලෙස සසුන් රැක පිහිට වූවාහු ද යත්, පළමු දම් දෙසුම දේශනා කරන කල්හි අකනිඨා බඹලොව තෙක් පී‍්‍රති ඝෝෂාව පැතිර ගියේ වෙන කිසිවකුට හෝ මේ පවත්වන ලද ධර්ම චක්‍රය ආපසු කරකවාලිය නොහැකි ය යන්න සනාථ කරමිනි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී. එය වනාහී ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ ලෝකයෙහි වෙන කවරකුට හෝ වෙනස් කළ නො හැක්කේ ම යැයි කියා අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්වූවාහු ය.

මෙසේ අපගේ සම්බුදු රජාණන් වහන්සේ මනා පුණ්‍ය මහිමයෙන් හෙබියේ, ගෞතම බුදු සසුනෙහි ඵල ලබනු රිසි සැදැහැතියන් වෙත මනා රැකවරණය ද, ආරක්ෂාව ද සලසා දුන් සේක. එවන් සොඳුරු සම්බුදු සසුනක ඵල ලබනු රිසි සැදැහැතියන් සම්බුදු රදුන්ගේ අසීමිත පුණ්‍ය මහිමය අබියස රොද බඳිත්වා! සැදැහැයෙන් ඉපිල සසුන් රුක්හි ඵල නෙළත්වා! සියලු දෙනාට ම උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණය වේවා!

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]