අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනා ගැනීම
බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩවසන සමයෙක “වස්සකාර” නමැති මගධ මහාමාත්‍යයා
උන්වහන්සේ වෙත පැමිණ අසත්පුරුෂයා හා සත්පුරුෂයා හඳුනාගැනීම පිළිබඳ සංවාදයක් ඇති
විය.
එනම්,
වස්සකාර :– භවත් ගෞතමයන් වහන්ස, අසත්පුරුෂයෙක් හට අසත්පුරුෂයකු ගැන මේ
අසත්පුරුෂයෙකැයි දැන ගත හැකි වේ ද?
බුදුරජාණන් වහන්සේ :– බමුණ, එය නොහැකි ය. නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
වස්සකාර:- ස්වාමීනි, අසත්පුරුෂයාට සත්පුරුෂයකු ගැන මොහු සත්පුරුෂයෙකැයි දත හැකි වේ
ද?
බුදුරජාණන් වහන්සේ :– බමුණ, නොහැකිය. එය නොවනසුලු ය. වන්නට අවකාශ ද නැත.
වස්සකාර :– ස්වාමීනි, සත්පුරුෂයාට අසත්පුරුෂයකු ගැන මේ අසත් පුරුෂයායි දැනගත හැකි
වේද?
බුදුරජාණන් වහන්සේ :– බමුණ, හැකිය. එය වනසුලුය.
වස්සකාර:– සත්පුරුෂයාට සත්පුරුෂයකු ගැන සත්පුරුෂයායි දැන ගත හැකිවේද?
බුදුරජාණන් වහන්සේ:– බමුණ හැකිය. එය වන සුළුය.
සැකෙවින් කියතොත් අසත්පුරුෂයා, අසත්පුරුෂයාවත් සත්පුරුෂයාවත් හඳුනන්නේ නැත.
සත්පුරුෂයා අසත්පුරුෂයාත් සත්පුරුෂයාත් හඳුනන්නේය. මෙහිලා සත්පුරුෂ – අසත්පුරුෂ
දෙදෙනා හඳුනාගැනීමේ මිනුම්දණ්ඩ කෙළෙහිගුණ සැලකීම බව සැලකිය යුතුයි.
දිනක් බුදු රජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, සතර දෙනකුන් කෙරෙහි වරදවා පිළිපදින
අව්‍යක්ත වූ මෝඩ වූ අසත්පුරුෂයා කොහෙත්ම ගුණ නැති හෙයින් පුද්ගලත්වයක් පරිහරණය කරන
බවත්, නුවණැත්තන් විසින් දොස් කියන, උපවාද කරනු ලබන කෙනකු වන බවත් වදාළ සේක. එනම්,
මව කෙරෙහි පියා කෙරෙහිබුදුන් කෙරෙහි බුද්ධ ශ්‍රාවකයෙක්. කෙරෙහි වරදවා පිළිපදින
තැනැත්තාය.
එසේම සතර දෙනකුන් කෙරෙහි මානය නොකළ යුතු බව ද
“මාතරී වා පිතරිවා අථො
ජෙටඨම්භි භාතරි,
ආචරියෙ චතුත්ථම්හි න
තෙසු මානං කයිරාථ”
මව ද පියා ද දෙටු සොහොයුරා ද සතරවැනිව ගුරුවරයා ද කෙරෙහි මානය හෙවත් ආඩම්බරය
නොදැක්විය යුතු බව වදාළහ.
සියලු සත්ත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් බුදු රජාණන් වහන්සේ විශේෂයෙන් මනුෂ්‍යයන්
තුළ පවතින ඇතිවන වරදවා සිතීම හෙවත් මිථ්‍යාදෘෂ්ටිය නැතිකර, නිවැරැදිව සිතීම හෙවත්
සම්‍යක්දෘෂ්ටිය ඇතිකිරීම දුකින් මිදීම සඳහා අත්‍යවශ්‍ය මාර්ගය බව අවබෝධ කොට
චතුරාර්ය සත්‍යය තුළින් නොයෙක් ආකාරයෙන් එය පැහැදිලි කර වදාළ සේක. දහම් සයුරෙහි ලවණ
රසය මෙන්, පැතිර පවතින ප්‍රධාන ගුණධර්මය වූ “කතඤ්ඤුතාව“ හෙවත් කෙළෙහිගුණ සැලකීම බිඳ
වැටෙයි. මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් දසවිධ නියත මිථ්‍යාදෘෂ්ටි අතර” නත්ථි මාතා නත්ථි
පිතා” යන දෘෂ්ටි දෙක විශේෂයෙන් බලපවත්වයි.
මෙහි මව නැත. පියා නැත. යනුවෙන් අදහස් කරන්නේ “මවට සැලකීමෙන් වැඩක් නැත. පියාට
සැලකීමෙන් වැඩක් නැත” යන හැඟීම් දෙකය. කෙනකුන්ට එසේ සිතන්නට සිද්ධ වන්නේ කුමක්
නිසාද? සැකෙවින් කියතොත්, අසත්පුරුෂ ධර්මයේ විෂබීජය ඔහුගේ හද තුළ රෝපණය වීම නිසා
යැයි කිව යුතුය. ඒ කෙසේද “මිච්ඡාපණීහිතං චිත්තං පාපියො නං තතො කරේ” වරදවා තැබූ සිත
ඔහු පාපියකු කරන්නේය යන බුද්ධ දේශිතය අනුව ආත්මාර්ථකාමීත්වය බලපා යුතුකම
ඉටුකිරීමෙන් වැළකීමට හේතුඵල වශයෙන් ඔහු කල්පනා කිරීමට පටන් ගත් විට තමාගේ පැවැත්මට
තමා කොතෙක්දුරට වගකිව යුතු දැයි සිතන්නට පටන් ගනී. එවිට පුද්ගලයන් දෙදෙනකුගේ හෝ එක්
අයකුගේ හෝ ඕනෑකමට සිදුවූ කාර්යයක ප්‍රතිඵලයක් වශයෙන් තමාද ඇතිවී ඇති සැටි පෙනී යයි.
එවිට සත්ගුණය බිඳ වැටේ.
කළගුණ නොදත් තැනැත්තාට නිග්‍රහ කොට දෙසූ ධර්මයද ඇත. එනම් කෙළෙහිගුණ නොදැනීම වසල
ගතියක් බව වසල සූත්‍රයේ මෙසේ වදාරා ඇත.
“යො චෙ පරකූලං ගන්ත්වා
භූත්වාන සුචිභෝජනං
ආගතං න පටිපූජෙති තං
ඡඤ්ඤා වසලො ඉති”
ඥාති මිත්‍ර නිවෙසකට ගොස්, රස ආහාර කා බී පැමිණ, ඔහු පැමිණි විට පුද සත්කාර නොකෙරේ.
නම් ඔහු වසලයෙකි. එසේ ම මහලු වූ, වයසට පත් මව හෝ පියා හෝ තමාට හැකියාව ඇතිව
සිටිමින් පෝෂණය නොකරන්නා වසලයෙකු බවද වදාළහ.
ඇතැම් ආත්මාර්ථකාමී මනුෂ්‍යයන්ට වඩා කෘතඥ වන තිරිසන් සත්තු උතුම් වන අවස්ථා ඇතැම්
කතාවස්තු තුළින් ප්‍රකට වේ. පෙර දඹදිව එක් නියං සමයක ගිරා පැටියෙක් පිපාසිතව වතුර
සොයා යන අතර සැට රියන් පමණ ගැඹුරු ආවාටයක ජලය ඇති බව දකී. ඊට බැස බොහෝ ආසාවෙන් වතුර
බී ගිය නිසා ගොඩට එන්න බැරිව එවළෙහිම වැටී සිටින අතර, එලෙසින්ම පැන් බීම සඳහා එහි
ගිය මනුෂ්‍යයෙක්ද? නාග රාජයෙක්ද පැන් බී ගොඩට එන්නට බැරිව එහිම කීප දවසක් සිටියහ.
එකල වනයෙහි ඇවිදගෙන යන මනුෂ්‍යයෙක් මේ වළේ මේ ගිරවා, නාගයා හා මිනිසා ගොඩ එන්ට
බැරිව දුක් විඳිනවා දැක අනුකම්පා කොට කැලයෙන් වැල් කපාගෙන ඇවිත් කූඩයක් වියා
වැලකින් බැඳ දිය වළට බහා තුන් දෙනා ම ගොඩට ගත්තේය.
එවිට මේ සත්පුුරුෂ මනුෂ්‍යයා ගැන පැහැදී ඔහුටත් ප්‍රත්‍යුපකාර කිරීමට සිතා අවශ්‍ය
වූ විටෙක ඔවුන් සිටින තැන් දන්වා උපකාර ඉල්ලා දන්වන ලෙස මඟ සලකුණු කියා ගියහ.
ටික කලකට පසු ඒ පරෝපකාරි මනුෂ්‍යයාට කිසියම් කටයුත්තක් ඇති වූ කල යට කී මිත්‍රයන්
වෙත යන්ට සිත්වී පළමුකොට ගිරා පෝතකයා ලකුණු කියා, තිබූ පරිදි බරණැස්නුවර දකුණු
වාසල් දොර අසල නුග ගස ළඟට ගොස් ගිරවාණෙනි, කියා හඬ නැඟූ කල එය අසා වහා පැමිණි ගිරවා
කරුණු අසා උපායක් කල්පනාකොට උපකාරයක් කිරීම සඳහා මා එන තෙක් මෙහි රැඳී සිටුව“ යි
කියා ගොස් බරණැස් රජ ස්නානය කරන වේලාවෙහි පොකුණ අසල රුකක සැඟවී බලා සිට රජු සියලු
ආභරණ ගලවා තබා ස්නානය කරන අතරතුර රැකවලුන්ගේ ප්‍රමාදයක් දැක ඒ ක්ෂණයෙහි පහළට බැස
රජුගේ මුතුහර හොටෙන් ගෙන වහා පියඹා ගොස් තම මිතුරා අත තබා “මේ මුතුහර සුරැකිව
තබාගෙන මතු ප්‍රයෝජන ගන්නැ’යි” කියා පියඹා ගියේය. ඔහුද මුතුහර අතට ගෙන මෙය පරෙස්සම්
වීමට කා වෙත භාරදී තබමිදැයි සිතා, අර වළෙන් ගොඩ ගත් මනුෂ්‍යයාට භාර දෙමැයි සනිටුහන්
කොට විස්තර කියා “පරිස්සම් කර තබව“ යි කියා භාර දුන්නේය.
බරණැස් රජ ස්නානය කොට අබරණ පලඳද්දී මුතුහර නැති බව දැන අණබෙර ලවා එය සොයාදෙන අයට
බොහෝ සම්පත් දෙන බව පළ කළේය. මේ පුවත ඇසූ මුතුහර ඇති මිත්‍රද්‍රෝහි මනුෂ්‍යයා
විස්තර කියා මුතුහරත් එය භාරදුන් පුරුෂයාත් රජුට පාවාදී සම්පත් ලබාගත් අතර රාජ
නියෝගය අනුව හොරාගත් බවට සැක කරන මනුෂ්‍යයාව හුල හිඳුවා මරණයට පත් කරන ලෙස නියම
කළේය. වධබෙර ගසමින් ගෙන යන මේ අහිංසක පුරුෂයා කලින් දැන සිටි පරිදි “නාගයා” සිහිකර
ඌ වසන තුඹස දැක “යහළු දීර්ඝ” යි හඬ ගෑ වේලෙහි වහා පැමිණ නාගයා මොහුගෙන් සියලු
තොරතුරු අසා වහා ගොස් රජ බිසවට දෂ්ටකොට මූර්ඡාවට පත් කොට, මිනිස් වෙසින් සිට “අර
වධයට ගෙන යන අය සර්ප විෂට දිව්‍ය ඖෂධයක් දන්නේය”යි කියා වහාම තම මිතුරා කරා ගොස්
රජු කියා එවූ පසු බිසව කරා ගොස් පැන් ඉස විෂ බස්වාලන්නැ යි කියා ගියේය. ඒ සියල්ල කී
පරිදි සිදුවූ අතර, බිසොව සුවපත් වූ බව දුටු රජතුමා යථෝක්ත මනුෂ්‍යයාට බොහෝ සම්පත්
දී සත්කාර කළේය. පසු අවස්ථාවක මොහු තමා පාවා දුන් අර අසත්පුරුෂ මිනිසා ඇතුළු
තුන්දෙනා පිළිබඳ සියලු පුවත කීවේය.
“මහරජතුමනි, ඇතැම් කෙනෙක් මනුෂ්‍යයෝ යි කියා විශ්වාස කටයුත්තෝ නොවෙත්. සිතේ වංචා
නැති ඍජු සිත් ඇති අවංක තිරිසන් සත්ත්වයෝද වෙති.”
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ
ලිපි ලේඛන ඇසුරිනි.
- හේමමාලා රන්දුණු |