දුර්භික්ෂ කාලයක දුන් දානයේ අනුසස්
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
ලංකා ද්වීපයේ රජරට රාජ්‍ය පවතින කාලයේ ‘සුළුන්තර’ නම් පළාතට නායක ව හිටියා ‘වේණිගල’
නමින් අමාත්‍යවරයෙක්. මේ ඇමැති ඉතාම තේජස් සම්පන්න ව ජීවත් වුණ කෙනෙක්. උපභෝග
පරිභෝග සම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ.
මෙහෙම සැප සම්පත් විඳිමින් ජීවත් වෙන කොට ඔහුට දාව බිරිඳට පුතෙක් ලැබුණා. මේ
කුමාරයා ‘අම්බ’ නම් වූවා. කාලයත් එක්ක ටිකෙන් ටික ලොකු වුණා. රාජ්‍ය සේවයට අවශ්‍ය
ශිල්පයත්, අධ්‍යාපනයත් ලබා ගත්තා. අම්බ කුමාරයා තරුණ වයසට පත් වෙන කොට ‘වේණිගල’
අමාත්‍යවරයා බොහෝම වයසට පත්වෙලයි හිටියේ. ඒ නිසා තමන්ගේ අමාත්‍ය තනතුරු ඉදිරියට
කරගෙන යන්නට ‘අම්බ’ කුමාරයාට බාර කළා. කුමාරයාත් හරිම උනන්දුවෙන් රාජ්‍ය කටයුතුවල
නිරත වුණා. මේ අතරේ මව්පිය දෙදෙනා කළුරිය කළා. හැබැයි ඒ දෙන්නා මිය ගියේ අම්බ
කුමාරයාට සුදුසු කුලයකින් කුමාරිකාවක් විවාහ කරදීලයි. මේ දෙන්නා මව්පියන් දායාද කළ
ඉඩකඩම්, මිලමුදල්, රන් රිදී, මුතු මැණික්, සේවක-සේවිකාවන් ආදි හැම උපභෝග පරිභෝග
සම්පත්තියක් ම භුක්ති වින්දා. හරිම සතුටින් ජීවත් වුණා.
මේ අතරේ දැඩි නියං සමයක් උදා වුණා. මාස පහ හයක් බලන් හිටියා වැස්සේ නෑ. අවුරුද්දක්
බලන් හිටියා ඒත් වැස්සේ. නෑ. එන්න එන්නම මිනිසුන් හරිම අමාරුවෙන් තමයි ජීවත්
වෙන්නේ. වැපිරු කුඹුරු ඔක්කොම වේළිලා ගියා. වැව් පොකුණු හිඳිලා ගියා. ඒ විතරක්
නෙවෙයි මහා වනාන්තර ලැව් ගිනිවලින් පිච්චී ගියා. දෙපා, සිවුපා, උරග සත්තු තැන තැන
සාපිපාසාවෙන් දුවන්න පටන් ගත්තා. මිනිස්සු එහේ මෙහේ මැරී වැටෙන්න පටන් ගත්තා. මේ
අතරේ සමහර භික්ෂූන් වහන්සේ හිස ගිනි ගත්තකු එ ගිනි නිවන ලෙස කියනවා වගේ ලහි ලහියේ
භාවනා කරමින් අර්හත්භාවය ලබා ගන්නට උත්සාහවත් වෙමින් විදර්ශනා භාවනාවේ යෙදෙන්න පටන්
ගත්තා. ඒ විදිහට උත්සාහ ගත්ත භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ කථාවක් තමයි මේ කියන්න
යන්නේ.
ඉතින් මේ කාලයේ ඒ විදිහට උත්සාහයෙන් විදර්ශනා භාවනාව වැඩුවා ‘චූලපිණ්ඩපාතික නාග‘
නම් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ භාවනා කළේ ‘බටකඩ’ කියන පධානඝරයක. දවස් ගණනක්
භාවනාවෙන් ම කාලය ගත කරලා ධ්‍යානවලින් මිදිලා තීරණය කළා පිණ්ඩපාතය ටිකක් හොයාගෙන
එන්න ඕන කියලා. ඉතින් සිවුර ගැටවටු ගන්වාගෙන පාත්‍රයත් අරගෙන භාවනා කුටියෙන් එළියට
වැඩම කරලා ‘සුළුන්නරු’ ජනපදයේ පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා. මේ කාලය හරිම දුෂ්කර
කාලයක් නිසා තියෙන ආහාර වුණත් ඉතාම පරිස්සමින් තමයි මිනිස්සු ආහාරයට ගත්තේ. එහෙම
කාටවත් දෙන්න අදහසක් පහළ වෙන්නේ නෑ. තමන්ගේ ජීවිතයත්, තමන්ට සමීපතම අයගේ ජීවිතත්
ආරක්ෂා කර ගන්න තමයි හැමෝම කටයුතු කළේ. මුළු ජනපදයේ ම ඇවිදගෙන ගියත් කිසිම තැනකින්
බත් ඇටයක්වත් හම්බ වුණේ නෑ. ඒ නිසා මේ චූලපිණ්ඩපාතික නාග තෙරුන් වහන්සේ නැවතත්
තමන්ගේ ‘බටකඩ’ භාවනා කුටිය බලා වැඩම කරන්න යෙදුණා.
මේ කාලයේ අර මුලින් සඳහන් කරපු අම්බ අමාත්‍යතුමාටත් එදාවේලටවත් යමක් හොයා ගන්න බැරි
තරම් අසරණ වෙලයි හිටියේ. තිබුණු උපභෝග පරිභෝග සියල්ල ම නැතිවෙලා ගිහින්. මෙදින උදේම
අවධිවෙලා තමන්ගේ බිරිඳගෙන් අහනවා ‘උයන්න මොනවා හරි තියෙනවාද?’ කියලා. බිරිද කියනවා
‘අද උයන්න මොකුත්ම ගේ අහලකවත් නෑ’ කියලා. ඒ නිසා තමන්ට හිටපු සේවකයකුට අමතලා
කියනවා.
‘පින්වත, නුඹ ගල්වල රටට ගිහින් කෑමට යමක් අරගෙන එන්න’ කියලා ඔහුව පිටත් කරලා
හැරියා. මේ ගල්වල රට කියන්නේ වතුර තිබුණ පළාතක්. ඒ පළාතේ කොළ වර්ග, අලවර්ග තියෙනවා.
ඒවා අරගෙන එන්න කියලා සේවකයාට අණ කළා. ඒ පුරුෂයාත් පිටත් වෙලා ගියා. ඔහුට නැවතත්
එන්න දවස් ගණනාවක් ගතවෙනවා. ඒ වෙනකම් බඩගින්නේ ඉන්න වෙනවා. දහවල් වෙන්න වෙන්න මේ
අම්බ අමාත්‍යවරයාට බඩගින්න ඉවස ගන්න ම බැරිව ගියා. ඒ නිසා දෙන්නාම එකතුවෙලා මුළුගේම
පීරලා බැලුවා මොනවා හරි දෙයක් තියෙනවාද කියලා. එහෙම බලනකොට හම්බ වුණා බොහෝ කාලයකට
ඉස්සර තමන්ට මඟහැරුණු හාල් නැළියක්. ඉතිං සන්තෝෂයෙන් ඒ හාල් ටික ලිප තියලා උයා
ගත්තා. බත් පත අතට අරගෙන කන්න හදනකොට ම දැක්කා අර චූලපිණ්ඩපාතික නාග තෙරුන් වහන්සේ
හිස් පාත්‍රය අතැති ව නැවතත් කුටිය බලා
වැඩම කරනවා. ඉතින් තමන්ගේ අතේ තියෙන බත්පත උන්වහන්සේට දෙන්න පූර්ව චේතනාව ආවා. ඒත්
තමන්ගේ බඩගින්නත්, ජීවිතයත් ගැන හිතලා ඒ චේතනාව ආපහු යටපත් කර ගත්තා. දෙවන වතාවටත්
දන් දෙන චේතනාව පහළ වුණා. ඒ වතාවේත් යුද්ධ කරනවා වගේ ලෝභකමත්, අලෝභකමත් අතර සටන්
වැදුණා. අවසානයේ මෙහෙම කල්පනා කරන්න පටන් ගත්තා.
‘සංසාරයේ ආහාරපාන නැති ව අනන්තවත් දුක් විඳින්න ඇති, තිරිසන් ආත්මවල බඩගින්න ඉවස
ඉවසා ඉන්න ඇති, ඒ වගේම අවීචි ආදි නිරයවල කුසගින්නේ පැසිපැසී ඉන්න ඇති, මනුෂ්‍යයන්
බත් කන තැන්වල හිටියත් මට බත් කටක්වත් නොලැබුණු තැන් තියෙන්න ඇති, මිනිස්සු
සෙම්-සොටු-කෙළ-අලුත වදා දැමුණු වැදෑමහ විසි කරනකම් බලා ඉන්න ප්‍රේතයෙක් විදිහට ඉන්න
ඇති. ඒවා කාලා කුස ගින්න නිවා ගන්න ඇති.
පෙර ජාතිවල ආහාරයක් දන් දී ගන්න බැරි නිසා තමයි මේ සියල්ල ම සිද්ධ වුණේ. මට ඒවා අද
නො දැනුණත් ඒ ආත්ම භාවයේ ඉපදුණහම ඒවා දැනෙන්න පටන් ගන්නවා. තව ටික කලකින් මම මිය
යනවා. ඒ නිසා පරලොවට අවශ්‍ය ආහාරපාන සකසා ගන්න මේ හොඳම අවස්ථාව. ආහාර හිඟ කාලයක මට
දෙන්න යමක් තියෙනවා. ආහාර හිඟ කාලයක ම දෙන්න සුදුසුම කෙනෙක් මගේ ගේ ඉස්සරහින් වැඩම
කරනවා. මගේ දීමේ චේතනාවයි දැන් මට අවශ්‍ය. මම ඒ දීමේ චේතනාව සකසා ගන්නවායි තීරණය
කරලා සතුටු සිතින් අර බත් පත චූලපිණ්ඩපාතික නාග තෙරුන් වහන්සේට පූජා කළා.
තෙරුන් වහන්සේ ‘මේ දායකයා ඉතාම ශ්‍රද්ධාවෙන් තමයි මෙවැනි දුර්භික්ෂ සමයක මට දන්
දුන්නේ. මම මේ ආහාර දානය අර්හත් භාවය ලබාගෙන මිස වළඳන්නේ නෑ‘යි එවලේම ඒ අසල වනයට
වැඩම කරලා විදර්ශනා වඩලා අර්හත්භාවයට පත් වුණා. මේ මහා කුසලයේ බලයෙන් ඒ මොහොතේ ම
අම්බ අමාත්‍යගේ ගෙදර බත් මුට්ටිය සමන් කැකුළු වගේ ලස්සන බත්වලින් පිරී ගියා. ‘අම්බ
අමාත්‍යවරයා දානය පාත්‍රයට පූජා කරලා හරිම සතුටින් ගෙදරට ඇවිත් ඇඳට වෙලා සතුට
භුක්ති විදිමින් හිටියා. ඒත් හවස් වෙන්න වෙන්න බඩගින්න ඉවසා ගන්න ම බැරිම තැන බිරිඳ
අමතලා කියනවා
‘සොඳුර, බත් මුට්ටියේ අඩිය පිහල ගන්නවත් බත් ටිකක් නැද්ද?’ කියලා. බිරිඳ කියනවා ‘නෑ
ස්වාමීනි, තිබුණු ඔක්කොම තමයි පිහිලාම ගත්තේ’ කියලා. නැවතත් ටිකවෙලාවකින් අහනවා
‘බත් මුට්ටියට වතුර ටිකක්වත් දාලා සෝදලා බොන්නවත් බත් අටයක්වත් නැද්ද?’ කියලා. ඒ
අවස්ථාවේත් කියනවා ‘නෑ, තිබුණ ඔක්කොම හෝදලා වගේම තමයි ගත්තේ’ කියලා. තුන්වෙනි
වතාවේත් කියනවා ‘ගිහින් බත් මුටිට්ය බලන්න කියලා. ඒ වතාවේ සැමියාගේ දැඩි ඉල්ලීමට
ගිහින් බත් මුට්ටියේ පියන ඇරලා බැලුවා. බිරිඳ පුදුමයෙන් පුදුමයට පත් වෙලා දුවගෙන
ඇවිත් කියනවා
‘ස්වාමීනි, බත් මුට්ටිය බත්වලින් පිරී ගිහින්, මේ නම් හිතගන්න බැරි ආශ්චර්යයක්.
මහතෙරුන් වහන්සේට දුන් දානයේ විපාක අද ම අපට ලැබිලා‘යි‘ සතුටට පත් වෙමින් කියන්න
පටන් ගත්තා. ඒ දෙන්නා ඇති තරම් බත් පිඟානවලට බෙදා ගත්තත් බත් මුට්ටිය වසා තබන කොටම
නැවතත් බත් මුට්ටිය පිරී යනවා. මේ නිසා අඩු නොවන බත් මුටිටියෙන් මුළු ප්‍රදේශයේ
ජනතාවගේ ම කුස ගින්න නිවා දැම්මා. ජීවිත කාලය පුරාවට ම ඒ බත් මුට්ටියෙන් දන් දීලා
බොහෝ පින් කරගෙන ආයු කෙළවර මේ දෙදෙනා දෙව්ලොව උපත ලැබුවා‘යි රසවත් දානකතාවක්
සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
පින්වත්නි, නැතිබැරි කාලයක වගේ ම දුර්භික්ෂ කාලයක සීල ගුණයෙන් පිහිටි භික්ෂුවකට දන්
දීලා මෙවැනි ආශ්චර්යවත් සැප සම්පත් ලබන්න ‘අම්බ අමාත්‍යවරයාටත්, ඔහුගේ බිරිඳටත්
පුළුවන් වුණා. ඒ නිසා දන් දීමට අවස්ථාවක් ලැබුණොත් මඟ නොහැර දන් දෙන්න. දෙන දෙය ඉතා
කුඩා දෙයක් වුණත් ශ්‍රද්ධාවෙන්, දාන චේතනාවෙන් දන් දීලා සිත සකසා ගන්න. එයම ඔබගේ
මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සැප සම්පත්වලින් ආඪ්‍ය කරවන්න හේතු වාසනා වෙනවා. |