[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විශිෂ්ටත්වයට පැමිණීමට

විශිෂ්ටත්වයට පැමිණීමට

තම අසීමිත ප්‍රඥාවට අනුව බුදුරදුන් දැන සිටි එක් කරුණක් නම්, සියලු මිනිසුන්ට ආධ්‍යාත්මික පිරිපුන් බව එක්වරම ලබාගත හැකි සමාන දක්ෂතාවන් ඔවුන් අතර නොමැති බව යි. එබැවින් උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කර දෙන ලද්දේ ප්‍රායෝගික ලෙස ආධ්‍යාත්මික ජීවන මාර්ග ක්‍රමක්‍රමයෙන් සංවර්ධනය කර ගැනීමට ය.

එක් ජීවිත කාලයක දී සියලු දෙනාට ම විශිෂ්ටත්වයට පත්වීම අසීරු බව උන්වහන්සේ දැන ගත් සේක. ශීල, සමාධි, ප්‍රඥා වර්ධනය ජීවිත කාල රැසක දී සංවර්ධනය කර ගත හැක්කේ අප්‍රතිහත ප්‍රයත්නයකින් බැව් වදාළ සේක. මේ මාර්ගය අවසන් වශයෙන් යොමු වන්නේ ශාන්තියට පත්වීමෙනි. අසතුටුදායක කිසිවක් එහි නැත්තේ ය.

අෂ්ටාංගික මාර්ගයට පහත සඳහන් සාධක අට අයත් වේ.

 

 

 

 

 

 

 

 

යහපත් අවබෝධය නම් කුමක්ද? එය චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනීම් බැව් පැහැදිලි කර ඇත. වෙනත් වචනවලින් කිවහොත් ඒ ඒ දේ තත් වූ පරිදි දැන ගැනීම යි. සම්මා දිට්ඨි යනුවෙන් අදහස් කරන්නේ. යමකු යමක ස්වභාවය කුසල හෝ අකුසල් දැයි අවබෝධ කර ගැනීමත්, එය ශාරීරික ව හෝ, වාස්තවික ව හෝ, මානසිකව හෝ ක්‍රියාවට නැඟිය යුත්තේ කෙසේද? යනු හරි හැටි දැන ගැනීම ය.

කුසල් යනු කුමක්දැයි දැනගත් පුද්ගලයා අයහපත් දේ මඟහැර යහපත් දේ කිරීමට උගනී. ඒ අනුව තම ජීවිතයේ ඉතා යෝග්‍ය ප්‍රතිඵල උත්පාදනය කරයි. යම් පුද්ගලයකුට නිවැරැදි අවබෝධය ඇති කල්හි ජීවිතයේ තෙවැදෑරුම් ලක්ෂණ එනම්, සියලු සංස්කාර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වන බවත්, පටිච්ච සමුප්පාද ධර්මයත් අවබෝධ වෙයි.

නිවැරැදි අවබෝධයක් ඇති පුද්ගලයා අවිද්‍යාවෙන් තොර වූවෙකි. එබඳු ප්‍රඥාවේ ස්වභාවය තම සන්තානයේ මුල්බැස ඇති අකුසල් නසා විමුක්තිය ලැබීම යි.

බුදුදහම හදාරන්නකුගේ උත්තුංග අරමුණ විය යුත්තේ ප්‍රඥාව වැඩීම යි. යහපත් අවබෝධය තමා ගැනත්, තම ජීවිතය ගැනත්, ලෝක ස්වභාවය ගැනත් විය යුතු ය. යම් පුද්ගලයකු වෙත යහපත් අවබෝධයක් ඇති කල්හි හෙතෙම යහපත් සිතිවිලි උපදවයි.

මේ සත්‍ය කාරණය ඇතැම් විට හඳුන්වන්නේ යහපත් තීරණය, නිවැරැදි ප්‍රාර්ථනය, මාහැඟි අදහස යනුවෙනි. තවද එයින් දක්වන්නේ වැරැදි අදහස් උදහස් තුරන් කර නිවනට යොමු කරන සෙසු සුචරිත සාධකයන් දියුණු තියුණුූ කිරීමයි. ඒ සාධකය පරමාර්ථ දෙකකට එනම්, පවිටු සිතුවිලි දුරු කිරීමටත් පිවිතුරු සිතුවිලි වැඩීමටත් ආධාර වෙයි. යමකු පාපිෂ්ටයෙක් හෝ ධර්මිෂ්ටයෙක් වන්නේ ඔහුගේ සිතිවිලිවලිනි.

යහපත් සිතිවිල්ල අංශ තුනකින් යුක්තයි.

පළමුවැන්න,

පුද්ගලයා ලෞකික ආශාවන්හි එල්බ සිටීමට වඩා එයින් මිදීමේ ආකල්පය පවත්වා ගත යුතු ය. ඔහුගේ සිතිවිලිවල මමත්වයට වඩා අන්‍යයන්ගේ සුබ සාධනය ගැන යොමුවීමක් තිබිය යුතු ය.

දෙවැන්න,

තම සිතෙහි. මෛත්‍රිය, කරුණාව, දයාව හා පරිත්‍යාගය පවත්වා ගත යුතු ය.

තෙවැන්න,

සියලු සත්වයන් කෙරෙහි අවිහිංසාව, කරුණාව, පෙරදැරිව ක්‍රියා කළ යුතු ය.

මෙම ක්‍රියා අනුන් නො සලකා හැරීමට, හිංසාකාරී බවට ප්‍රතිවිරුද්ධ විය යුතු ය. ආධ්‍යාත්මික මාර්ගය ඔස්සේ පුද්ගලයකු ප්‍රගතියක් දක්වන්නේ ද එවිට ඔහුගේ සිතිවිලි වැඩි වැඩියෙන් පරිත්‍යාගශීලි වෙයි. අවිහිංසාවාදී වෙයි. ආත්මාර්ථකාමී නො වෙයි. කරුණා මෙත් සිලිලෙන් පිරී යයි. යහපත් අවබෝධය හා යහපත් සිතිවිලි නැණවත්කමේ ප්‍රධාන සාධක දෙක යි.

ඒවා යහපත් හැසිරීමට යොමු කරවයි. යහපත් ගති පැවතුම් සඳහා සාධක තුනක් තිබේ. නිවැරැදි කතාව, ක්‍රියාව හා දිවිපෙවෙතයි. යහපත් කතාව අන්‍යයන්ගේ සුබ සාධනය හා සත්‍යය ගරු කරයි. එහි අදහස බොරු කීමෙන් වැළකීම, කේළාම්, රළු වදන් හා හිස් බස් බිණීමෙන් වෙන් වී සිටීම ය.

අපි බොහෝ විට කතාවේ බලය අඩුවෙන් තක්සේරු කරමින් කතා විලාශය පාලනය කිරීමට එතරම් උනන්දුවක් නො දක්වමු. එහෙත් අපේ ජීවන සමය තුළ අනුන්ගේ කතාවලින් අපට වේදනා දැනුණු අවස්ථා එමට ය. අනුන්ගේ කතාවලින් අප උදම් වූ අවස්ථා අනන්ත ය. අමිහිරි වදන්වලින් තියුණු අවියකින් මෙන් හදවත තුවාල කළ හැකි ය. එමෙන්ම සුමිහිරි වදනින් දරුණු අපරාධ කරුවකුගේ වුවත් සිත් සතන් වෙනස් කළ හැකි වෙයි.

සාමකාමී එක්සත් සමාජයක් බිහිකර ගැනීමට අප ගේ කතාව නිසි ලෙස ඵලදායි අන්දමින් හැඩගස්වා ගත යුතු ය. සත්‍ය වූ, එකඟ විය හැකි, කාරුණාන්විත, අරුත් සරු වචන අප කතා කළ යුතු ය. බුදුරදුන් විසින් වරක් වදාරන ලද්දේ පි‍්‍රයජනක කතාව මී පැණිමෙන් මිහිරි බව ය. අප්‍රිය කතාව කසළ මෙන් අමිහිරි බව ය.

යහපත් සිල්වත් හැසිරීම පිළිබඳ ඊළඟ සාධකය නිවැරැදි ක්‍රියා ය.

නිවැරැදි ක්‍රියාව හා සම්බන්ධ වන්නේ ජීවිතයට දක්වන ගෞරවය හෙවත් සැලකිල්ල දේපළ හා පෞද්ගලික නෑ සබඳතාවට ඇති ගෞරවය සමඟ ය. බෞද්ධයන් පිළිපැදිය යුතු පන්සිල් අතුරෙන් මුල් ශික්ෂාපද තුනට එය අනුකූල වේ. එනම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර නම් වූ මැරීම, සොරකම් හා වැරැදි පස්කම් ආදිය යි. ජීවිතයට සියල්ලෝ ම ආදරය කෙරෙති. දඬුවමින් සියල්ලී ම බිය වෙති. මරණයෙන් හැම දෙනා ම තැති ගනිති. එසේම ජීවිතය අගය කරති. එ බැවින් නැවත දිය නො හැකි ජීවිතය පැහැර ගැනීමෙන් අප වැළකිය යුතු ය.

හැඟීම් සහිත කිසිදු ප්‍රාණියකුගේ දිවි තොර නොකළ යුතු ය. අනුන් සතු දේපළවලට ගරු කිරීම යනු අපට නොදුන් දෙයක් සොරකමින්, රැවටීමෙන් හෝ බලයෙන් නො ගැනීම ය. පෞද්ගලික සබඳතාවන්ට ගරු කිරීමෙන් අදහස් කරන්නේ කාමයේ වරදවා නො හැසිරීම, පරදාර සේවනය ආදියෙන් වැළකී සිටීම යි. මෙය ඉතා වැදගත් වන්නේ ආදරය කරන්නවුන් අතර ආදරය, විශ්වාසය තහවුරු කිරීමටත් අප ජීවත් වන සමාජය වඩා හොඳින් ජීවත් විය හැකි තැනක් කිරීමටත් ය.

නිවැරැදි දිවි පෙවෙත

යහපත් හැසිරීමට අදාළ ව සමාජය තුළ අපේ ජීවිකාව කෙසේ සලසා ගන්නේ ද? යන සාධකය යටතට ගැනෙන්නකි. නිවැරැදි කතාව, නිවැරැදි ක්‍රියාවන් හා සම්බන්ධ සත්‍යය, දේපළ හා පෞද්ගලික සබඳතාවනට ගරු කිරීම ආදී අදහස් දීර්ඝ කර දැක්වීමක් ලෙස ද පෙනී යන්නකි. යහපත් දිවිපෙවෙත යනු සද්චරිත මූලධර්මයන් නොබිඳ අප ජීවිකාව සලසා ගත යුතු ආකාරය පහත දැක්වෙන පස් වැදෑරුම් දිවිපෙවෙත්හි යෙදීමෙන් බෞද්ධයින් වළක්වා ඇත්තේ ය.

එනම්, වහල් මෙහෙයට මිනිසුන් විකිණීම, ආයුධ විකිණීම්, මස් විකිණීම, මත්ද්‍රව්‍ය විකිණීම හා වසවිස විකිණීම යි. ඇතැම් අයට එවැනි වෙළෙඳාම් කිරීමට සිදුවී ඇති බැවින් එහි නිරත වීම එතරම් වරදක් නො විය හැකි බැව් සලකති. එහෙත් එම තර්කය පදනම් රහිත ය. ඒවා වළංගු වුවහොත් සොරුන්, මිනීමරුවන්, සාහසිකයන්, බියවද්දන්නන්, හොරබඩු ජාවාරම්කාරයින්, වංචනිකයන් වැනි අයට තමන් කරන අදමිටු ක්‍රියාවන්හි යෙදීමට සිදුවී ඇත්තේ තමන්ගේ ජීවිකාව කර ගැනීමට අන් මඟක් නොමැති නිසා යැයි පහසුවෙන් පැවසිය හැකි ය. එසේ වුවහොත් ඔවුන්ගේ ජීවන මාර්ගය ද නිවැරැදි විය හැකි ය.

විනෝදයට මසුන් මැරීම හා සතුන් දඩයම් කිරීම, ආහාරය සඳහා සතුන් මැරීම බෞද්ධ ශික්ෂාපදයන්ට පටහැනි නොවෙති යි ඇතැම්හු විශ්වාස කෙරෙති. මෙය ද ධර්මය හොඳ හැටි නො දැනීම නිසා වූ වැරැදි සංකල්පයකි. එවන් ක්‍රියා වංචනිකයැ යි කිව යුතු ය.

කුමක් නිසාද යත් එබඳු ක්‍රියා හැමවිට ම අන් සතුන්ගේ දුකට, විපතට හේතු වන බැවිනි. එවන් සියලු ක්‍රියාවන්හි දී මහත් වරද කර ගනු ලබන්නේ ඒ වරද කරන පුද්ගලයා විසින් ම ය. වැරැදි ක්‍රියා මඟින් ජීවිකාව ගෙන යෑම බුදුදහමට අනුකූල නො වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ

“යමකු නො අඩුව දුසිරිතෙහි ගැලී අවුරුදු සීයක් ජීවත් වුව ද එක් දිනක් භාවනානුයෝගී ව සිල්වත් ලෙස ජීවත්වීම තරම් නො වටී.” දුෂ්ටයකු වශයෙන් ජීවත් වීමට වඩා ගරු බුහුමන් ලද ධර්මිෂ්ටයකු ලෙස මිය යෑම වඩා හොඳ ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෙසු සාධක තුන, සිත පාරිශුද්ධියට පත්කර ගැනීමෙන් අනතුරුව ප්‍රඥාව වැඩීමට හෙවත් සංවර්ධනයට අදාළ සාධක නම් සම්මා වායාම - යහපත් ප්‍රයත්නය, සම්මා සති - යහපත් සිහිය හා සම්මා සමාධි - යහපත් තැන්පත් බව යන තුන යි. මේ සාධක ප්‍රගුණ කිරීම අනුව තම මනස පාලනයටත්, ශක්තිමත් කර ගැනීමටත් හැකි වේ.

ඒ අනුව තමාගේ ක්‍රියාවන් යහපත් වන අතර, සිත සත්‍යාවබෝධය සඳහා සූදානම් කරවයි. එය විමුක්තියට නැතහොත් බුද්ධත්වයට දොර විවෘත කිරීමක් වැනියි. සම්මා වායාම යනුවෙන් අදහස් කරනු ලබන්නේ අප කරන ක්‍රියා පී‍්‍රතිමත් ලෙස කිරීමත්, ඒ වෙනුවෙන් නිශ්චිත ආකල්ප වගා කර ගැනීමත් ය. එම ක්‍රියාවන් අපගේ වෘත්තියට හෝ අධ්‍යයනයට හෙවත් ශික්ෂණයට හෝ ධර්මය ප්‍රගුණ කිරීමට හෝ අයත් ඒවා විය හැකි ය. අප කරන ක්‍රියාවන්ගේ සාර්ථකත්වය ලැබිය හැක්කේ ද එවන් පී‍්‍රතියක් හෝ උනන්දුවක් හෝ රඳවා ගැනීමෙන් හා තෘප්තිමත් අධිෂ්ඨානයක් ඇතොත් පමණි. සම්මා වායාම යහපත් ප්‍රයත්නයේ අංශ හතරක් ඇත්තේ ය. ඉන් දෙකක් අයහපත් දෙයටත්, ඉතිරි දෙක යහපත් දෙයටත් යොමු කෙරෙයි.

පළමුවැන්න පාපයක්, නපුරක් පැන නැඟුණහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රයත්නයයි. දෙවැන්න පාපය හෝ අයහපත පැන නැඟීම වැළැක්වීමේ ප්‍රයත්නය යි. තුන්වැන්න පැන නො නැඟී යහපත් හෙවත් කුසල් සංවර්ධනය යි. සිවුවැන්න එසේ පැන නැඟුණ යහපත් හෙවත් කුසල් පවත්වා ගැනීමට දරන ප්‍රයත්නය යි. අපේ ජීවිතයේ දී යහපත් ප්‍රයත්නය නිසා අකුසල චිත්ත ස්වභාවයන් දුරු කිරීමටත්, ස්වාභාවික කොටසක් ලෙසින් කුසල් සිත් තිර ලෙස පිහිටුවා ගැනීමටත්, ඒවා වර්ධනය කර ගැනීමටත් හැකි වේ.

බුදු සමයේ සම්මා සතිය හෙවත් යහපත් සිහිය වැදගත් ප්‍රගුණ කිරීමකි. දුක නැති කිරීමට වර්ධනය කර ගත යුතු එක් මාර්ගයක් ලෙස සම්මා සතිය දක්වා ඇත්තේ එ බැවිනි. සම්මා සතිය වැඩීම් වස් නිරතුරුව දැන සිටිය යුතු සුවිශේෂ අංශ හතරක් වේ.

එනම්, සති හෙවත් සිහි නුවණ භාවිත කිරීම යි. කායික ඉරියව් හා හුස්ම ඉහළ පහළ ගැනීම් පිළිබඳ ඉගෙනීම යි. හැඟීම් මිහිරි ද, අමිහිරි ද, මධ්‍යස්ථ ද, සිත ගිජු වී ද, නැද්ද? කෝපාවිෂ්ට ද? විසිරී ගොස් ද? මුළාවී ඇද්ද? නැද්ද? සිත එකඟ කිරීමට මානසික බාධකයන් ඇද්ද නැද්ද, චතුරාර්ය සත්‍ය හෝ වෙනත් යමක් වේ ද කියා යි. නිවැරැදි සිහි නුවණ අපේ එදිනෙදා ජීවිතයේ පවා අත්‍යවශ්‍ය වන්නකි. ඉන් අපේ කටයුතු හොඳින් දැනගෙන ක්‍රියා කළ හැකි ය. සෙසු හැඟීම් හා සිතුවිලි මෙන්ම අවට පරිසරය ද තේරුම් ගත හැකි ය. සිත නිරතුරුව ම පැහැදිලිව ද, අවධානශීලි ව ද තිබිය යුතු ය. එය වෙනතක යොමු වූ වලාකුළින් වැසී ගියා වූ එකක් සේ නො විය යුතු ය.

සම්මා සමාධි හෙවත් නිවැරැදි චිත්ත ඒකාග්‍රතාව මඟින් සිත වෙනතක ඇදීයාම වළක්වයි. චිත්ත ඒකාග්‍රතාව නම් සිත එක ලක්ෂයක, එක අරමුණක තබා ගැනීම දියුණු කිරීම සඳහා පුහුණු වීමයි. මෙයින් සිත සම්පූර්ණයෙන් අරමුණූ උරා ගැනීමත්, වෙනතක සිත නොයෑමත්, සසලවීම, මනස්තාපය හෝ නිද්‍රෝපගත වීම වැළකීමත් සිදු වෙයි.

පළපුරුදු ආචාර්යවරයකු යටතේ පුහුණු වීමෙන් සම්මා සමාධිය ප්‍රතිලාභ දෙකක් ලබා දෙයි. පළමුවැන්න සිත හා කය සුවපත් කරයි. සැප පහසුව, සතුට, සන්හිඳියාව ලබා දෙයි. දෙවැන්න එ මඟින් මනස ඒ ඒ දෙය තත්වූ පරිදි දැකිය හැකි උපකරණයක් බවට පත් කරයි. ප්‍රඥාව පහළ වීමට සිත සකස් කරනු ලබයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුන් වදාළ සිවුවෙනි වැදගත් ධර්මය වේ. ප්‍රවීණ ආධ්‍යාත්මික වෛද්‍යවරයකු සේ බුදුරදුන් විසින් දුක්ඛ හෙවත් අසන්තුෂ්ටිතාව සියලු ජීවිතයන් පීඩාවට පත් කරන රෝගයක් සේ හඳුනා ගන්නා ලදි. උන්වහන්සේ එම රෝග නිධානය අනාවරණය කොට දැක්වූයේ දුකට හේතුව ආත්මාර්ථකාමී ගිජු බව හා තෘෂ්ණාව යි. ඒ රෝගයට ප්‍රතිකාරය වූ නිර්වාණය ද උන්වහන්සේ සොයාගත් සේක. එය සියලු දුක අවසන් වන ස්ථානය යි. රෝගයට නියමිත බෙහෙත් වට්ටෝරුව අෂ්ටාංගික මාර්ගය යි. ප්‍රවීණ වෛද්‍යවරයකු රෝගියකුට ප්‍රතිකාර කිරීමේ දී නිර්දේශ කරනු ලබන බෙහෙත් වට්ටෝරුව කායික මෙන් ම මානසික ප්‍රතිකාරයෙකි. දුක නිවාරණයට මඟ පෙන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය සමෝධානික වෛද්‍ය ක්‍රමයක් සේ ය. එය සකස් වී ඇත්තේ සංසාර නමැති රෝගය සුව කිරීම සඳහා ය. ආධ්‍යාත්මික පිරිපුන් බව දිනා ගැනීමේ මාර්ගය ද දුකින් මිදීමේ මාර්ගය ද එය වේ.

මැදින් අව අටවක

 මාර්තු 28 සිකුරාදා අ.භා 07.54 අමාවක ලබා 29 සෙනසුරාදා අ.භා. 04.27න් ගෙවේ.
29 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]