මැදින් අමාවක පෝ දා
2025-03-29
සීලය සිහි කිරීම
නැවත නැවත සිහි කළ යුතු උතුම් දස ධර්ම අතර සීලානුස්සතිය මේ ජීවිතය තුළ නිරන්තරයෙන්
සිහි කළ හැකි, සිහි කළ යුතු මාහැඟි ධර්මතාවකි. සීලානුස්සතිය නම් තමන් සමාදන් වී
සිටින පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල් යන මේ කවරාකාරයක සීලයක්
හෝ තමන් සමාදන් වූ මොහොතේ සිට සිහි කරන මොහොත දක්වා රැක ගැනීමයි. ඒ සීලය ආරක්ෂා කර
ගැනීම වූ කලි ආර්යයන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වන ලෙස විය යුතු ය.
මෙසේ තමන් සමාදන් වු සීලය පැයක කාලයක සිට පැය විසිහතර දක්වා, සතියක්, මාසයක්,
වසරක්, වසර ගණනාවක් ආදී ලෙසින් හෝ තම ජීවිත කාලයම ආරක්ෂා කරගත් බව සිහි කළ හැකි ය.
බෞද්ධයා උත්සාහ කළ යුතු සිදුරු නොවන පරිදි සීලය ආරක්ෂා කරන්නට ය.
“ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි”
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් සුරකින බව දහම් පණිවුඩය යි. නාමික ව බෞද්ධයන් වුව
ද ඇතැම්හු දහම් මඟට නොපැමිණ අදැහැමි ව ජීවිතය විනාශ කර ගන්නා තැනට වැටෙනු පෙනේ.
එහෙත් නුවණැත්තා ධර්මයෙහි අප්‍රමාදී ව දෙලොව සුඛිත මුදිත කර ගන්නට දරන උත්සාහය
ඔහුගේත්, අන්‍යයන්ගේත් අර්ථය පිණිස ම ය. එවැනි වීර්යවන්ත පුද්ගලයකු පිළිබඳ අපූර්ව
කතා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ ඒ. සීලයේ අගය, ධර්මයක පිහිටා සිටීමේ වටිනාකම ඉස්මතු
කරන එබඳු කතා පුවත් සමාජය තුළ සාකච්ඡාවට, භාවිතයට හුරු කරවීම තුළ අදැහැමි බවට වැටෙන
බොහෝ දෙනෙක් එයින් වළකා යහමඟට ගැනීමට හැකි වනු ඇත. එය කාලීන අවශ්‍යතාවක් ද වේ.
එක් කලෙක ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් විය. භාවනාවෙහි ඇලුණ උන්වහන්සේ සද්ධර්ම
දේශනයන් අසන්නට බොහෝ දුර බැහැරට පවා වැඩම කරති. වරක් එසේ දුරින් පිහිටි විහාරයකට බණ
ඇසීමට වැඩම කළ උන්වහන්සේ ධර්ම ශාලාව පිරී තිබෙනු දුටුවහ. එළියෙන් වාඩි වී බණ අසමින්
ටික වේලාවක් ගත වුණි. අසලින් ඇදී ගිය විෂ ඝෝර සර්පයකු උන්වහන්සේට දෂ්ඨ කරන්නට විය.
වේදනාව දැඩි විය. ටිකෙන් ටික සර්ප විෂ ශරීරයේ උඩට එන බව දැනුනෙන් ටික වේලාවකින්
තමන්ගේ මරණය සිදුවන බව ඒ භික්ෂූන් වහන්සේට වැටහුණි. කළ යුත්තේ කුමක්දැයි සිතන්නේ
තමන් වහන්සේ පැවිදි දිවියට පත් වූ දා පටන් මේ දක්වා ආරක්ෂා කළ සීලය සිහිපත් කොට
මරණයට මුහුණ දෙමි’යි තීරණය කළහ.
උන්වහන්සේ සමාදන් වූ සීලය පැවිදි වූ දා සිට මේ මොහොත දක්වා සිහිපත් කළහ. තමන්
වහන්සේ සමාදන් වූ සීලය ආර්යකාන්ත ලෙසින් රැකගත් බව සිහිපත් වුණි. ඉමහත් සතුටක්
දැනුණි. උන්වහන්සේ දිගින් දිගට ම ඒ උතුම් සීලානුස්සතිය සිදු කළහ. ශරීරයේ නැඟී එන
විෂ ස්වභාවය පහළට බැස යන බව උන්වහන්සේට දැනුණි. තමන් වහන්සේ මනාව සුරැකි පැවිදි
සීලය නිසා ලැබුණු සතුටින් සිරුරේ රුධිරය පිරිසුදු වුණි. විෂ ස්වභාවය සම්පූර්ණයෙන්
පහව ගියේ ය. නැවත ධර්මය ඇසීමට සිත යොමු කළහ. හිමිදිරිය වන විට උන්වහන්සේ මඟඵල
ලාභියකු බවට පත්වූහ.
මජ්ක්‍ධිම නිකායේ අටුවාවක සඳහන් මේ කතාව බෞද්ධයාට දෙන පණිවිඩය මහත් ය. තමන්ගේ
රැකවරණයට ධර්මය මිස අන් කවරක් හෝ කිසිවෙක් හෝ නොවන බව වටහා ගෙන ධම්මානුධම්ම පටිපන්න
වීමට වීර්යය කිරීමට සියලු බෞද්ධයිනට කාලය පැමිණ තිබේ. |