[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සක්කාය දිට්ඨිය කෙසේ ඇති වේ ද?

සක්කාය දිට්ඨිය කෙසේ ඇති වේ ද?

මෙම ලිපියෙහි මුල්කොටස මැදින් අමාවක පොහෝදා අන්තර්ජාල කලාපයේ පළ විය.

නිබ්බාන යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයයි. එම පාලි වචනය සංස්කෘත භාෂාවෙන් කියවෙනුයේ නිර්වාණය ලෙසයි. ඒ නිසා නිබ්බාන කිව්වත්, නිර්වාණ කිව්වත් ඉන් අදහස් කරන්නේ එකම දෙයක්. එනම් මෙහි අදහස “නිවීම” යන්නයි.

නිර්වාණයට දුක්ඛ නිරෝධ යැයි කියනු ලැබේ. එනම්, “දුක” නැති කිරීම නිර්වාණය යි. නිබ්බාණ කියන දුක්ඛ නිරෝධය අවබෝධ කර ගැනීමේ මාර්ගය තමයි දුක්ඛ නිරෝධගාමිණී පටිපදාව කියන්නේ. එම ප්‍රතිපදාව තමයි අරිඅටමග. සක්කාය නිරෝධගාමිණී පටිපදාව කියන්නේ සක්කාය දිට්ඨිය නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගය යි.

විශාක උපාසක තෙමේ එවිට කෙසේ නම් සක්කාය දිට්ඨිය ඇති වේ ද? යනුවෙන් ප්‍රශ්න කළේ ය.

ධම්මදින්න මෙහෙණින් වහන්සේ,

ඉධාවුසෝ විශාඛ අස්සුතවා
පුථුජ්ජනෝ, අරියානං අදස්සාවි අරිය
ධම්මවස්ස අකෝවිදො අරිය ධම්මේ
අවිනීතෝ, සප්පුරිසානං අදස්සාවි
සප්පුරිසධම්මස්ස අකෝවිදෝ
සප්පුරිසධම්මේ අවිනීතෝ

විශාකය, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා (එනම් ත්‍රිපිටක ධර්මය පිළිබඳව බොහෝ ඇසූපිරූ තැන් නැති කෙලෙස් සහිත පුද්ගලයා) බුද්ධ ආදී ආර්යයන් නොදුටු නිසා, ආර්ය ධර්මයෙහි හෙවත් බුද්ධ දේශනාවෙහි දක්ෂ නොවූ නිසා ආර්ය ධර්මයෙහි නොහික්මුණු නිසා, බුද්ධාදී සත්පුරුෂයන් නොදුටු නිසා සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නොවූ නිසා සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු නිසා යන්නයි මෙහි තේරුම.

මෙම තත්ත්වය නිසා පෘථග්ජන කෙලෙස් සහිත පුද්ගලයන්ට ආත්මවාදී සංකල්පය විසි වැදෑරුම් ක්‍රමයකට අයිති වන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එම විසිවැදෑරුම් ආත්මවාදී සංකල්පය මෙසේ ය.

1. රූපය ආත්ම ලෙස බලයි. රූපං අත්තෝ සමනුපස්සති.

2. ආත්මය රූපය ලෙසින් හෝ බලයි - රූපවන්තං වා අත්තානං

3. රූපයෙහි ආත්මය ඇතැයි හෝ බලයි - අත්තනිවා රූපං

4. ආත්මයෙහි රූපය ඇතැයි බලයි - රූපස්මිං වා අත්තානං

5. වේදනාව ආත්මය ලෙස හෝ බලයි - වේදනං අත්තතෝ සමනුපස්සති

6. ආත්මය වේදනාව ලෙසින් හෝ බලයි -වේදනාවන්තං වා අත්තානං

7. වේදනාවෙහි ආත්මය ඇතැයි හෝ බලයි - අත්තානිවා වේදනං

8. ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ බලයි - වේදනාය වා අත්තානං

9. සංඥා ආත්මය ලෙස හෝ බලයි - සඤ්ඤං අත්තතො සමනුපස්සති

10. ආත්මය සංඥා ලෙසින් හෝ බලයි - සඤ්ඤාවන්තං වා අත්තානං

11. සංඥාවෙහි ආත්මය ඇතැයි හෝ බලයි - අත්තානි වා සඤ්ඤං

12. ආත්මයෙහි සංඥා ඇතැයි හෝ බලයි - සඤ්ඤාය වා අත්තානං

13. සංඛාර ආත්මය ලෙසින් හෝ බලයි - සංඛාරේ අත්තතෝ සමානුපස්සති

14. ආත්මය සංඛාර ලෙසින් හෝ බලයි - සංඛරවන්තං වා අත්තානං

15. සංඛාර ආත්මයේ ඇතැයි හෝ බලයි - සංඛාරෙසුවා අත්තානං

16. ආත්මයෙහි සංඛාර ඇතැයි හෝ බලයි - සංඛාරෙසුවා අත්තානං

17. විඥාන ආත්ම ලෙස හෝ බලයි - විඤ්ඤාණං අත්තතො සමනුපස්ස

18. ආත්මය විඤ්ඤාණ ලෙසින් හෝ බලයි - විඤ්ඤාණවන්තං වා අත්තානං

19. විඤ්ඤාණයේ ආත්මය ඇතැයි හෝ බලයි - අත්තනීවා විඤ්ඤාණං

20. ආත්මයේ විඤ්ඤාණ ඇතැයි බලයි - විඤ්ඤාණ්ණස්මිං වා ආත්තානං

මෙහිදී විශාක ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් පඤ්චස්කන්ධ හා පඤ්චෝපදාන ස්කන්ධ දෙකේ වෙනසක් තිබේ දැයි ප්‍රශ්න කරයි. එහි වෙනසක් තිබෙන බවට පෙන්වා දෙනවා. එම වෙනස පැහැදිලි කර ගැනීමට මජ්ක්‍ධිම නිකායේ මහාහත්ථිපදෝපම සූත්‍රයත්, මහාපුණ්ණම සූත්‍රයත් වැදගත් වෙයි.

ඉහත දැක්වූ චූලවේදල්ල සූත්‍රය හෙවත් චුල්ලවේදල්ල සූත්‍රයට අනුව එම ධර්ම විවරණයෙන් පැහැදිලි වන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන පස් වැදෑරුම් ස්කන්ධයන් ය. මම - මේ මගේ යැයි කැමැතිවීම් (ඡන්දරාගයෙන් ගැනීම) ගැනීම උපාදාන බවයි. මෙම ධර්ම විවරණයෙන් පැහැදිලි වන්නේ ස්කන්ධ පහ උපාදාන වශයෙන් ගැනීම සක්කාය නම් වන බවයි. තවදුරටත් සරල ව පැහැදිලි කරනවා නම්, රූප,වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ කියන්නේ ස්කන්ධ පහයි. මෙම පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේට හා රහතන් වහන්සේටයි තියෙන්නේ. උන්වහන්සේ එම ස්කන්ධ පහ උපාදාන වශයෙන් නොගන්නා නිසා පංචස්කන්ධය වශයෙන් හඳුන්වන්නේ.

එහෙත් කෙලෙස් පහ නුදුටු සත්ත්වයා එතං මම ( මේ මගේය) ඵසෝ අහං අස්මි

(මේ මම වෙමියි) ඡන්ද රාග වශයෙන් (කැමැතිවීම් හා ඇලුම් කිරීම වශයෙන්) ගන්නා නිසා පඤ්ඤා උපාදාන ස්කන්ධ) (පඤ්ඤපාදානස්කන්ධය) වශයෙන් හඳුන්වනවා. එනිසා මේ පස් කඳෙන් බැඳීයාම තමයි උපාදාන කියන්නේ. එසේ උපාදාන වශයෙන් බැඳීයාම යි “සක්කාය” කියන්නේ. සක්කාය දිට්ඨිය යනු “ඒසෝ මේ අත්තා - මේ මාගේ ආත්මය වේ. යන හැඟීමයි දැකීමයි, පිළිගැනීමයි.

ඉහත දැක්වූ විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටිය තවත් ක්‍රමයකින් ශාස්වත දෘෂ්ටිය වශයෙන් හෝ උච්ඡේද දෘෂ්ටිය වශයෙන් හෝ හැඳින්වෙන්නේත් මෙයමයි. එදා සිට අද දක්වාත් ඇතිවන සියලු ආගම් මේ දෘෂ්ටි දෙකකට වැටෙනවා. එහෙත් බුදුදහම මේ දෘෂ්ටි දෙකට ඇතුළත් නොවේ.

“ඒතං මම - මේ මාගේ ය ඒසෝහමස්මිං මේ මම වෙමි” යන හැඟීම් අවිජ්ජා අනුසය හා සම්බන්ධ වෙයි. කෙලෙස් නිද්‍රෝපගත ව (නිදිගත් සේ) චිත්ත සන්තානයේ කිඳී පවතින ගතිය අනුසය නම් වෙයි. පටිඝ දිට්ඨි විචිකිච්ඡා - මාන - භවරාග අවිජ්ජා යනුවෙන් අනුසය හතකි. අවිජ්ජාව සහමුලින්ම නැති වන්නේ රහත් වීමෙන්. එම නිසා මම ය, මාගේ ය කියන හැඟීම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන උතුමන්ට ඇති වෙයි. කෙලෙස් සහිත අප වගේ අයට ඇතිවන මම මාගේ යන හැඟීම් හා මාර්ග ඵලය ඒ උතුමන්ගේ තත්ත්වය සැසඳිය නොහැකියි. ඒ හා කිසිසේත් සමාන නොවන බව අවධාරණය කළ යුතුයි. මන්ද එහි විශාල වෙනසක් තිබෙන නිසා සක්කාය නැතිවීම යනු කුමක්ද? දෘෂ්ටිය නැතිවීම යනු කුමක්ද? අප වටහාගත යුතුයි.

මම මාගේ යනුවෙන් ඇතිවන හැඟීම් අවිජ්ජා අනුසයට සම්බන්ධයි. එය සහමුලින් ම නැතිවෙන්නේ රහත් වීමෙන් පමණයි. සෝවාන් වීමේ දී සක්කාය දිට්ඨිය නැති වන්නේ දෘෂ්ටිය වශයෙන් ගැනීම පමණයි. සෝවාන් වූ උතුමෙක් මේ මාගේ ආත්මය යැයි යන හැඟීමෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් සෝවාන් වූ අයෙක් “මේ මාගේ ය මේ මම වෙමි”යි යනාදී ලෙසින් අනුසයට අනුව ක්‍රියාකරනවා. නමුත් එම දේ දෘෂ්ටි වශයෙන් ගැනීමක් සිදුවන්නේ නැහැ. “ආත්මය, මාගේ ආත්මය” යනාදී වශයෙන් දෘෂ්ටි වශයෙන් ගැනීමක් සෝවාන් වූ උත්තමයන්ගේ නැහැ. මෙය තමයි සක්කාය දිට්ඨිය නැති වෙනවා යනුවෙන් අදහස් කරන්නේ. දිට්ඨිය, විචිකිච්ඡාව නැතිවීම සමඟ අපායගාමී වීම නැති වෙනවා

අභිධර්මයෙහි චෛතසික විඤාණයේ දී චෛතසික 52ක් තියෙනවා. එම 52න් අකුසල චෛතසික 14ක් තියෙනවා. එම අකුසල චෛතසික 14 අතරින් දිට්ඨි විචිකිච්ඡා යන චෛතසික දෙක නැතිවීම තමයි සත්කාය දිට්ඨිය නැතිවීම කියන්නේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපිලේඛක ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

මැදින් අව අටවක

 මාර්තු 28 සිකුරාදා අ.භා 07.54 අමාවක ලබා 29 සෙනසුරාදා අ.භා. 04.27න් ගෙවේ.
29 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]