[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මරණානුස්මෘතිය

මරණානුස්මෘතිය

බුද්ධෝත්පත්තියට පෙර තිබූ ශීල, සමාධි, ප්‍රඥා ධර්මතා බුද්ධානුශාසනාව අනුව නම් අධි ශීල, අධිචිත්ත, අධිප්‍රඥා යි. සීලයෙන් (කය හා වචන සංවරය) තොර චිත්ත සමාධියක් (සිතේ සංවරය) නැත. සීල, සමාධියෙන් තොර ප්‍රඥාවක් (සත්‍යාවබෝධයක්) නැත. එහෙයින් සීලයෙහි පිහිටි යෝගාවචරයාට සිතේ සමාධිය ඇති කර ගැනීම සඳහා සතිය (නොමුලා වූ සිහිය) පිහිටුවා ගත යුතු ය.මේ සඳහා ස්ථාන සතළිහක් හඳුන්වාදී ඇත. මේ සියල්ල ම උපක්‍රම වශයෙන් යොදා ගන්නා අතර සමථ භාවනා ගණයෙහි ලා සැලකේ.

1. දස කසිණ 2. දස අසුභ 3. දස අනුස්සති 4. සතරබ්‍රහ්ම විහරණ 5. අරූපාවචර ධ්‍යාන සතරක් 6. ආහාරයෙහි පිළිකුල් සංඥාව හා 7. චතුර්ධාතුව්‍යවස්ථානය යන මේ සතළිසයි. රාග, ද්වේෂ, මෝහ, ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක යන සය චරිත ඇත්තේ තමාගේ චරිතයට ගැළපෙන එක් කමටහනක් තෝරා ගෙන නිතර නිතර පුහුණු කිරීම වඩාත් ප්‍රතිඵල ලබා දේ. මේවායින් දස අනුස්සතිවලට අයත් මරණානුස්මෘතිය මෙහි විස්තර කෙරේ.

මරණ + අනු + ස්මෘති වනුයේ මරණානුස්මෘතියි. මෙහිලා ස්මෘති නම් සිහිකිරීමයි. අනු නම් නැවැත නැවැත යි. නැවැත නැවැත සිහිකරනුයේ අනුස්මෘතියි. තවද ස්මෘතිය ම නැවැත නැවැත උපදනා බැවින් අනුස්මෘතිය යි ද කියයි. මරණය නැවත නැවත සිහි කරනුයේ මරණානුස්මෘතියි.

ඒ කවර මරණයක් ද යත් එක් භවයකට අයත් ජීවිතේන්ද්‍රිය බිඳී යාමයි. මෙය ජීවිතේන්ද්‍රියොපචෙඡද මරණ යැයි කියනු ලැබේ. සතරාකාර මරණ විස්තරයක් විශුද්ධි මග්ගයේ සඳහන් ව ඇත්තේ මෙසේ ය.

1. ජීවිතේන්ද්‍රියොපචෙඡද ද මරණය (කය බිඳීයාමෙන් සිදුවන මරණය)

2. සමුචෙඡද ද මරණය (නැවැත කොතැනකවත් පිළිසිඳ ගැනීම් නැති රහතන් වහන්සේ සියලු සසර දුකකින් මිදීමේ ක්‍රියාවයි. (පිරිනිවීමයි)

3. ක්ෂණික මරණය (සංස්කාරයන්ගේ ක්ෂණ භංගයයි. උත්පාද, ඨිති, භංග වශයෙන් ඇති වූ ඇතිවීම, පැවතීම හා නැතිවීම යන ත්‍රිවිධ ක්ෂණ අවස්ථායි (බිඳී යාමයි)

හේතු ප්‍රත්‍යයෙන් උපන් සියලු සංස්කාරයෝ මෙම ක්ෂණයක් ක්ෂණයක් පාසා මරණයට ගොදුරු වේ. මෙය ක්ෂණික මරණය යි.

4. සම්මුති මරණ (ගස මැරුණේ ය. අල මැරුණේ ය. - ශෂ්‍යය මැරුණෝ ය යනාදී වශයෙන් පවත්නා ලෝක සම්මත ව්‍යවහාර මරණයි.

මේවායින් ජීවිතේන්ද්‍රියොපචෙඡද ද මරණය මරණානුස්මෘතිය සඳහා අනුස්සති වශයෙන් ගැනීම මෙහිලා සලකනු ලැබේ. ජීවිතේන්ද්‍රියොපචෙඡද මරණය ද දෙවෑදෑරුම් වේ. එය කාල මරණය හා අකාල මරණය වශයෙනි.

කර්මානුරූපව ම සත්ත්වයන් උත්පත්ති කර්මයෙන් ගෙන ආ ආයුෂ ක්ෂය වීමෙන් හා පුණ්‍යයන් ක්ෂය වීමෙන් ලබන්නේ කාල මරණය යි. උපචේඡදක කර්මයෙන් (කුසල් වූ අකුසල් වූ හෝ උත්පත්ති කර්මයාගේ විපාකයට ඉඩ නොතබා විපාක දෙන ප්‍රබල කර්මය) අනුව සිදුවන්නේ අකාල මරණයයි. තවද මේ කාල හා අකාල මරණය ද සතර ආකාරයකි.

ආයුක්ෂය මරණය, කර්මක්ෂය මරණය, උභයක්ෂය මරණය හා උපච්ඡේදක මරණය වශයෙනි.

උපන් භවයෙහි ආයුසන්තතිය පවත්වා ගෙන යාමට හේතු වූ ආහාර ආදී ප්‍රත්‍යය සම්පත් ඇතත් ප්‍රතිසන්ධිය ලැබූ කර්මය විපාක දී අවසන් වීමෙන් යමකුගේ මරණය සිදු වේ ද එය පුණ්‍යක්ෂය මරණය යි. මෙය පුණ්‍ය පක්ෂයෙන් පමණක් නොව පාප පක්ෂයෙන් ද සිදුවිය හැක. මෙයට කර්මක්ෂය මරණය යැයි කියනු ලැබේ.

පින් පව් දෙක ම අවසන් වීමෙන් ඒ මරණය සිදුවිය හැක. ප්‍රතිසන්ධිය ලබා දුන් කර්මයේ (ලැබූ භවයේ) ආයු කාලය කෙළවර කොට සිදුවන මරණය ආයුක්ෂය මරණය යි.

කර්ම හා ආයුෂ දෙකේ ම ශක්තිය එකවිට අවසන් වීමෙන් ද මරණය සිදු වේ. එම මරණය උභයක්ෂය මරණය යි.

කරුම, ආයු දෙකේහි ම ශක්තිය තව ශේෂ ව තිබියදීත් දිට්ඨධම්ම (මේ ආත්මයේ දී ම) වශයෙන් හෝ අපරාපරිය (ඉකුත් ආත්ම භවයක දී) වශයෙන් හෝ කළ බලවත් ම වෙනත් කර්ම ශක්තියක් ඉදිරියට පැමිණ සිදුවන මරණය උපච්ඡේදක මරණ යැයි ද කියනු ලැබේ. මෙය අකාල මරණයෙහි ලා සලකනු ලැබේ.

එය ද දෙආකාරයකින් සිදු වේ. ක්ෂණික වශයෙන් හා පූර්වකෘත වශයෙනි. මෙලොව වශයෙන් ඒ ඇසිල්ලෙහි කළ බලවත් වූ අකුසල කර්මයකින් (ක්‍රියාවකින්) දිවි තොරවීම ක්ෂණික අකාල මරණය යි. පෙර ජාතීන්හි කළ බලවත් කර්මයක් ඉදිරිපත් ව අවියෙන් සිදුකරන හා සියදිවි නසාගැනීම ආදී වශයෙන් සිදුවන මෙම මරණය පූර්වකෘත අකාල මරණයයි.

මේ අනුව කර්මක්ෂය (පුණ්‍යක්ෂය) ආයුක්ෂය හා උභයක්ෂය මරණ කාල මරණ වශයෙන් ද, උපච්ඡේදක මරණය අකාල මරණය වශයෙන් ද ගත යුතු ය.

එක් කලෙක නාදිකා ගම ගිඤ්ජකාවස්තයෙහි (ගඩොලින් කළ උළු පහයෙහි) වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, භාවිත (අරමුණ) වශයෙන් වඩන ලද බහුලී කෘත (නැවත නැවත අරමුණට ගැනීම් වශයෙන් පුරුදු කරන ලද) මරණ සතිය මහත්ඵල මහානිශංස වෙයි. නිවන් පිණිස ඇත්තේ වෙයි. මහණෙනි, ඔබ මරණසතිය වඩන්නාහු ද?

එවිට එක්තරා භික්ෂූන් වහන්සේ නමක් “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මරණසතිය වඩමි’ යි කීය.

1. භික්ෂුව, මරණසතිය කෙසේ වඩයි ද? ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, “මම යම් විදියකින් රැයක් ,- දවාලක් (එක් දවසක්) ජීවත් වන්නට හැකි වුව හොත් ඒ කාලය තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරමින් මරණසතිය වඩමි” යි කී ය.

2. ඉන්පසු තවත් භික්ෂුවක් ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම ද මරණ සතිය වඩමි’ යි කීය. භික්ෂුව, ඔබ මරණසතිය කෙසේ වඩන්නෙහි ද?

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මම යම් විදියකින් එක දවාලක් (දින භාගයක්) ජීවත් වන්නෙමි’ යි බුද්ධානුශාසනා, සිහිකරමින් මරණසතිය වඩමියි කී ය.

ඉන්පසු තවත් භික්ෂුවක් ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, “මම මේ කරුණයෙහිලා එක පිණ්ඩපාතයක් වළඳන තුරු (වැළඳූ වේල තෙක්) ජීවත්වන්නෙමි'යි. ඒ කාලය තුළ මරණසතිය වඩමි” යි කී ය.

තවත් භික්ෂුවක් “මෙවන් පිඬු සතරක් පහක් වළඳනතුරු ජීවත් වන්නෙමි'යි, ඒ කාලය තුළ මරණ සතිය වඩමි” යි කී ය.

තවත් භික්ෂුවක් “මම එක් බත් පිඬක් සාදා වළඳන තුරු, ජීවත් වන්නෙමි'යි, ඒ කාලය තුළ මරණ සතිය වඩමි” යි කීය.

තවත් භික්ෂුවක් “මම හුස්ම ගෙන පිට කරන තුරු හුස්ම පිට කොට නැවැත හුස්ම ගන්නා තුරු ජීවත් වන්නෙමි’ යි ඒ කාලය තුළ මරණ සතිය වඩමි” යි කී ය.

භික්ෂූන් වහන්සේ මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මේ භික්ෂූන් අතුරෙන් 1, 2, 3, 4 වූ භික්ෂූන් ප්‍රමාදශීලී ව වෙසෙන්නාහු ය. 5, 6 භික්ෂූන් අප්‍රමාද ව වාසය කරන්නාහු ය. මොවුහු කෙලෙස් ප්‍රහාණය පිණිස තියුණු කොට මරණ සතිය වඩන්නාහු යැයි ද කියනු ලබමි. මහණෙනි, එහෙයින් මේ කරුණෙහි ලා, අප්‍රමාද ව (හැමවිට එළඹ සිටි සිහි ඇති ව) වාසය කරන්නෙමු ය, තියුණු කොට මරණ සතිය වඩන්නෙමු යි මෙසේ හික්මිය යුතු ය.

(අංගුත්තර නිකාය - 4 පිටුව - 40 ඡක්ක නිපාතය - පඨම මරණසති සූත්‍රය 6, 1, 2, 9)

නාදිකා ගම වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ද වදාළ සේක.

මහණෙනි, වඩන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලද මරණසතිය මහත්ඵල මහානිසංස ගෙන දෙන්නේ ය. නිවන පිණිස පවතින්නේ ය. නිර්වාණවබෝධය අවසන් කොට ඇත්තේ වෙයි. මරණසතිය කෙසේ වඩන්නේ ද? මහණෙනි, දහවල ඉක්ම ගොස් රැය එළඹෙත් ම මෙසේ නුවණින් සැලකිය යුතු ය.

මගේ මරණයට බොහෝ හේතු තිබේ. 1. සර්පයෙක් හෝ ගෝනුස්සෙක් හෝ පත්තෑයෙක් හෝ මා දෂ්ට කරයි. එයින් මාගේ මරණය සිදුවිය හැක. 2. මම පය පැකිලී වැටී මිය යා හැක. 3. වැළඳූ ආහාර නොදිරවා මිය යා හැක. 4. මගේ පිත කිපී 5. මගේ සෙම කිපී 6. මගේ වාතය කිපී මගේ කාලක්‍රියාව වන්නේ ය. එසේ වූවොත් එය මට අන්තරාවකි. මහණෙනි, එහෙයින් මෙසේ නුවණින් සලකා බැලිය යුතු ය. රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස පවත්නා වූ පහ නොකළ අකුසල ධර්ම තිබේ ද? එවිට ඔහුහට ලාමක අකුසල ධර්ම ඇතැයි තම හට වැටහේ නම් ඒවා ප්‍රහීණ කිරීම සඳහා, වැඩි කැමැත්තේ, ව්‍යායාමයක්, උත්සාහයක්, අධික වීර්යයක්, නොපසුබට උත්සාහයක්, සතියත්, සම්පජඤ්ඤයන් (සංස්කාරයන්ගේ අනිත්‍ය දක්නා නුවණ) කළ යුතු ම ය. ඒ කෙසේ ද? ගිනිගත් හැඳිවත - ගිනිගත් හිස නිවා ගැනීමට ගන්නා අධික වීර්යය, වෙහෙස මෙනි.

(අං.නි. 4 පි. 46 - ඡක්ක නිපාතය - දුතිය මරණසති සූත්‍රය 6, 1, 2, 10)

එසේම මේ ජීවිතේන්ද්‍රියොපච්ඡ ද මරණය සිදුවන අවස්ථාව කෙතරම් වේදනාකාරී වන්නේ ද යත්,

බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවන ආරාමයෙහි වැඩ වසන සමයෙහි ආයුෂ්මත් සාරිපුත්ත, මහාචුන්ද හා ඡන්න යන තෙරුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එ සමයෙහි ඡන්න තෙරණුවෝ දැඩි සේ ගිලන් වූහ. සමාපත්තියෙන් නැඟී සිටි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවස් භාගයෙහි මහා චුන්ද තෙරුන් සමඟින් ම ඡන්න තෙරුන් බැලීමට පැමිණියහ. පිළිසඳර කතා බහින් පසු එකත්පස්ව සිට කිමෙක්ද? ආයුෂ්මත් ඡන්දයෙනි, ඔබ වහන්සේට දුක් වේදනා ඉවසිය හැකි ද? දුක් වේදනා බලවත් ද? අඩු වන බවක් පෙනේද? වැඩි වන බවක් නොපෙනේ ද? යනුවෙන් ඇසීය. මරණාසන්න ව වැඩ සිටි ඡන්න තෙරුන් වහන්සේ (මරණීය දුක්) වේදනා කියන්නේ, ස්වාමිනී, මට ඉවසිය නොහැකියි. දැඩි සේ දුක් වේදනා නැඟීමක් මිස බැසීමක් නොදැනේ. සැරියුත් හිමියනි, ශක්ති සම්පන්න පුද්ගලයෙක් තියුණු යහුලකින් මාගේ හිස මඩින්නාක් මෙන් බලවත් වාත වේදනාවන්ගෙන් හිස පෙලේ. මට ඉවසිය නොහැකි ය. දුක් වේදනා වැඩිවීමක් මිස අඩුවීමක් නොදැනේ. ශක්ති සම්පන්න පුද්ගලයකු වරපටයකින් හිස වෙළන කල බලවත් වේදනා ඇතිවන්නාක් මෙන් මහත් වූ වාත වේදනා හිසට පීඩා කරයි. දක්ෂ ගව මරන්නකු හෝ ඔහුගේ අතවැසියකු හෝ තියුණු වූ ආයුධයකින් බඩ කපන්නාක් මෙන් වාත වේදනාවන්ගෙන් මගේ කුසට පීඩා ඇති වෙයි. මට ඉවසිය නොහැකි ය. ශක්ති සම්පන්න පුද්ගලයන් දෙදෙනකු ඉතා දුර්වල පුද්ගලයකු අත්වලින් අල්ලා ගෙන අඟුරු වලකට දමා දැඩි සේ තවන්නාක් මෙන්, මාගේ ශරීරයෙහි අධික වූ දැවිල්ලක් දැනේ. මට ඉවසිය නොහැකි ය. දුක් වේදනා වැඩිවීමක් මිස අඩුවීමක් නැත. ජීවත්වීමට නොහැක්කෙමි. ආයුධයකින් දිවි තොර කර ගැනීමට කැමැත්තෙමි. (නොබෝ වේලාවකින් ඡන්න තෙරුන් වහන්සේ සමසීසී ධර්මතාවයෙන් පිරිනිවියහ)

(මජ්ක්‍ධිම නිකාය සූත්‍ර අංක 144 ඡන්නෝවාද සූත්‍රය)

මේ ආකාර වූ මරණය අනුස්සතියක් වශයෙන් වඩන යෝගාවචරයා හුදෙකලාව, විවේකී ව හිඳ ඒකාන්තයෙන් (මට ද) මරණය වන්නේ ය. ජීවිතේන්ද්‍රිය සිඳී යන්නේ ය කියා නුවණින් සිහි කළ යුතු ය. (සම්පජඤ්ඤකාරී ව ද, සතියයෙන් ද) මරණය නියත ය, මරණය නියත ය, කියා නුවණින් සිහි කළ යුතු ය. සති නම් නොමුලා වූ සිහියයි. සම්පජඤ්ඤ නම්, සංස්කාරයෝ (නාම රූප) අනිත්‍ය වශයෙන් දැකීමයි.

මරණය අනුවණින් සිහි කරන්නෝ වැදූ මව පි‍්‍රය පුත්‍රයාගේ මරණය සිහිකිරීමේ දී මෙන් ශෝකය උපදවන්නේ ය. තමාට සතුරු වූ වෛර කරන්නකු හෝ අපි‍්‍රය ඇත්තකුගේ හෝ මරණයේ දී මෙන් පී‍්‍රති වන්නේ ය. මළමිනී දවන්නා හෝ යට කරන්නා මළමිනී දැකීමෙහි දී මධ්‍යස්ථයකු සේ සිට ඔහුට සංවේගයක් නැත්තා සේ සංවේගයක් නූපදින්නේ ය. තමා මරණු පිණිස කඩුව අමෝරා දිව එන වධකයා හෝ වෛරකරුවා හෝ දැකීමෙහි දී බිය සුල්ලකු මෙන් තමාගේ මරණය සිහි කිරීමේ දී භය උපදින්නේ ය. මෙසේ මරණය ගැන ශෝක ඉපදවීම ද, පී‍්‍රතිය ඉපදවීම ද, සංවේගය නූපදීම ද, බිය ඉපදවීම ද යන මේ සියල්ල වන්නේ මරණය පිළිබඳ සතිය ද, සංවේගය ද, ඤාණය ද නැති බැවින් ය. එබැවින් මරණ අනුස්සතිය වඩන යෝගාවචරයා ඒ ඒ තන්හි තමා දැක ඇති මරා දැමූ ද, මැරුණා වූ ද, සම්පත් වින්දනය කළා වූ ද, බලවත් වූ ද, ප¼ඩිවරු වූ ද, නායක වූ ද, අසරණයෝ ද ආදී කොට ඇති මරණයට පත්ව සිටි අය සිහි කරමින් සතිය ද, සංවේගය ද, ඤාණය ද උපදවා ඒ මරණ සිහි කළ යුත්තේ ය. මෙනෙහි කළ යුත්තේ ය. මෙසේ 'ජීවිතං අනියතං න අමරණීයං' අනියත ජීවිතය තුළ අමරණීය වූවෙක් නැතැයි” යන නුවණින් මෙනෙහි කළෝ වන්නේ එවිට ය.

මෙසේ සිතන්නට පටන් ගත් විට පංච නීවරණයෝ යටපත් වේ. මරණානුස්මෘතිය පිහිටයි. එසේම කර්මස්ථානය ධ්‍යානංගයෙහි මුලට පැමිණේ. (උපචාර සමාධියට සම්ප්‍රාප්ත වේ.) මෙසේත් කරන කල්හි සතිය නොපිහිටන්නේ නම් මේ අට ආකාරයෙන් මරණය සිහි කළ යුතු ය.

වධක පච්චුපට්ඨානය - වධකයකු ගෙලට කඩුව අමෝරා සිටින්නේ යැයි සිහියට ගෙන.

සම්පත්ති විපත්තිය - සම්පතින් යමෙක් බබළවන්නේ විපතක් එන තෙක් ය. මෙසේ සම්පත්ති, විපත්ති සිහිකිරීම කළ යුතු ය.

උපසංහරණය - බලවත් අනුන් හා සමගින් තමන් ගළපා බැලීම කළ යුතු ය.

කාය බහුසාධාරණය - ස්වකීය ශරීරය අන්‍ය බොහෝ සත්ත්වයන් හා සසඳා බැලීම.

ආයු දුබ්බලය - ආයු දුර්වලකම සලකා බැලීම.

අනිමිත්තය - මෙතෙක් කල් ජීවත්වන්නේ ය යන නියමයක් හෝ සීමාවක් නැති බව.

අද්ධාන පරිච්ඡේදය - මෙකල මනුෂ්‍යයන්ගේ ජීවිත ආයුෂ මෙතෙක් කල් විය යුතු යැයි නියමයක් නැත. කාලයක් නැති බව සිහි කිරීම.

බණ පරිත්තය - ජීවිතය ඉතා ස්වල්ප ක්ෂණයක් පවත්නා එකක් වශයෙන් සලකා මරණය සිහි කළ යුතු ය.

මරණය සිහිකිරීමේ ආනිසංස -

මේ මරණාසුස්මෘති භාවනාවෙහි යෙදුනු යෝගාවචරයා අප්‍රමාද ව (සතියෙන්) වසන්නේ ය. භවයන්හි නොඇලීමේ සංඥාව ලබන්නේ ය.

ජීවිත තෘෂ්ණාව හැර පියන්නේ ය.

පාපයට ගරහන්නේ ය.

බහුල ව සම්පත් රැස් නොකරයි.

ලැබෙන දෙයෙහි මසුරු මල නැත්තෙක් වන්නේ ය.

ඔහු අනිත්‍ය සංඥාව පුරුද්දට ගෙන ඇත.

එනිසා ම දුක්ඛ සංඥාව ද, අනාත්ම සංඥාව ද වැටහෙයි.

මේ ආත්ම භවයෙහි ම යම් මාර්ග ඵල පිළිවෙළින් නිවන නොලද්දේ නම් මරණයෙන් මතු සුගතිගාමී වන්නේ ය.

අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ මේ ජීවිතෙන්ද්‍රිය කෙරෙහි මරණානුස්මෘතිය වඩන්නේ, නැවත වඩන්නේ මරණයක දී තමා ඉදිරිපත් වන්නේ කෙසේ ද? යන්නට පෙර සූදානමක් ලෙසිනි. පහත කතා ප්‍රවෘත්තිය සිහිපත් කරමි.

බෝසතාණන් වහන්සේ පෙර එක් බ්‍රාහ්මණ පවුලක ඉපද ගොවිතැනින් ජීවත් විය. එක් පුතෙක් හා එක් දුවෙක් ද සිටියහ. නිසි වයස් කල පුතු විවාහ කරදී මවත්, පියාත්, දුවත්, පුතාත්, ලේලිය හා මෙහෙකාරියත් සමඟින් නිවසේ සැම දෙන සමගියෙන් සතුටින් කල් ගෙවූහ.

බෝසතාණන් වහන්සේ නිතියෙන් ඔවුනට අවවාද කරන්නේ, ඔබ සියල්ලෝ අපට තිබෙන පරිදි නිති දන්දෙව, සිල් රකිව්, පෝය දින අටසිල් රකිව්. නිතර මරණ සතිය වඩව්. අපි හැම දෙන මැරෙන බව නිතර සිහිකරව්. මෙලොව ඉපදෙන හැම සත්ත්වයන්ගේ ම මරණය නියත ය. ඒකාන්ත ය. ජීවිතය අනියතයි, අස්ථිරයි. ඇතිවන සියල්ල නැති වන සුලු ය. එබැවින් දිවා රෑ දෙකේහි අප්‍රමාද වන්න. සිහියෙන් ම වසන්න. ආදී වශයෙන් අවවාද දුන්හ. ඔවුහු සියල්ලෝ අවවාද සතුටින් පිළිගෙන ඒ අනුව හැසිරෙමින් මරණය නිතර සිහි කරති.

සිරිත් පරිදි දිනක් පුතු සමඟ කුඹුරට යන්නේ, කෙත්වත්හි එකතු වූ කුණු කසල රැස් කොට පුතු ගිනි තැබුවේ ය. මෙහිදී ඒ අසල පිහිටි තුඹසක සිටි විෂඝෝර සර්පයකු දුමින් පීඩා විඳ එළියට ඇදී පුතුට තදින් ම දෂ්ට කළේ ය. ඔහු එතැන ම මැරී වැටුණේ ය. බෝසත් පියාණන් මෙය දකින්නේ මළ බව දැන ඔහු ඔසවා වෙල අද්දර ගසක් යට සෙවණේ හොවා තබා රෙද්දකින් පොරවාලූහ. හැඬිමක්, විලාපයක් නැති බෝසතාණන් පුරුදු කළ මරණානුස්මෘතිය සිහිගන්වන්නේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. හැම ජීවිතයක් ම මරණින් කෙළවර වන්නේ යැයි මෙනෙහි කරමින් ම කෙතෙහි වූ කාර්යයන්හි නිරත වූහ.

මෙහිදී කුඹුර සමීපයෙන් යන එක් අසල්වැසියකු දැක යහළුව, ඔබ අප ගෙදර පසු කරන්නේ නම්, අද වෙනදා මෙන් නොවැ එක් අයකුට පමණක් අහර ගෙනෙන්නටත්, එය මෙහෙකාරිය අතේ නොව, ගෙදර සිටින හතර දෙනා ම සුදු වස්ත්‍ර හැඳගෙන, සුවඳ මලුත් රැගෙන එන්නටත් තමාගේ භාර්යාව වූ බැමිණියට කියන්නැ'යි කීවේ ය. ඔහු ‘මැනැවැ’ යි කියා පිළිගෙන එලෙස ම නිවසට පණිවිඩය දුනි.

මේ පණිවිඩය ඔබට කවරකු කියන ලද දැයි බැමිණිය කළ විමසීමට “බමුණා” විසින් යැයි ඒ අසල්වැසියා කීය. තම පුතා මළ බව මව දැන ගත්තා ය. මරණය හොඳහැටි සිහිකළ සිත් ඇති ඒ බැමිණිය සෙසු කීප දෙනාත් සමඟ සුදු වස්ත්‍ර හැඳ, සුවඳ මලුත්, අහරත් රැගෙන කුඹුරට ගියා ය. කිසිවකුත් හැඬිමක් වැලපීමක් නැත. බෝසත්තුමා මළ පුතා හුන් තැන ම හිඳගෙන අහර වැළඳී ය.

ඉන්පසු අවටින් රැස් කළ දර ටිකක් ගෙන චිතකයක් සාදා සිරුර තබා සුවඳ මලින් සරසා ගිනි දැල්වූහ. මරණය පිළිබඳ භාවනා කොට හොඳට පුරුදු මොවුහු කිසිවකු හෝ නොවැළපුණහ. නොහැඬීය. සෝ සුසුම් නොහෙළීය.

ඔවුන්ගේ පුණ්‍ය තේජසින් සක්දෙව් රජ වෙස් වළාගෙන ඒ සොහොන් භූමියට පැමිණ බෝසත් බමුණුගෙන් විමසන්නේ,

ඔබලා කුමක් කරන්නෙහි ද? අපි මළ මිනියක් දවමු. ඔබලා මළ මිනියක් නොව මුවකු මරා පුළුස්සනවා යැයි මම සිතමි. නැත පින්වත, මළ මිනිසකු දවම්හ. එසේ නම් මළ අය සතුරකු වන්නට ඇත. නැත, පින්වත සතුරෙක් නොවේ. මේ මාගේ එකම පුතු ය. එසේ නම් අකීකරු පුතෙක් වන්නට ඇත. නැත. මාගේ පුතා හොඳම කීකරු දරුවෙකි. එසේ නම් ඇයි ඔබ නොහඬන්නේ. පින්වත, දිරාපත් ව පරණ හැව අතහැර දමා යන සර්පයකු මෙන් මගේ පුතා ද ස්වකීය ශරීරය හැර දමා ගියේ ය.

දවනු ලබන්නා වූ ඒ මළකුණ ජීවත් ව සිටින අපේ ඇඬිමක් හෝ වැළපීමක් හෝ නො දනී. ඔහුට යම් උත්පත්තියක් නියමිත ද ඔහු එතැන උපදින්නට ඇත. එහෙයින් මම ශෝක නොකරමි.

බෝසතාණන් ගේ බස් අසා බැමිණිය වෙත ගිය සක්දෙව් රජ, “අම්මේ, මේ මළ තැනැත්තා ඔබ ගේ කවරෙක් ද” පින්වත, දසමසක් කුසේ දරා සිට, ලේ කිරි කර පොවා අත් පා හදාවැඩූ මාගේ පුතු ය. “අම්මේ, පියා නම් පිරිමිකම නිසා නො අඬනවා ඇත. මවුවරුන්ගේ ළය ඉතා මොළොක් ය. ඔබ කුමක් නිසා නොහඬන්නෙහි ද?

පින්වත, මේ පුතා මගෙන් කැඳවීමක් නොලබා ම අපේ ගෙදරට ආවේ ය. මෙසේ ගියේ ද මගේ අනුදැනීමක් (අවසරයක්) නොගෙන ම ය. කර්ම වේගයෙන් යම් සේ ආවේ ද, කර්මානුරූපව ම එසේම ගියේ ය. ඉතින් එහෙම නම් හඬන්නේ ඇයි? බැමිණි මව්ගේ කථාව ඇසූ සක්දෙව් රජ සහෝදරිය වෙත ගොස්,

“නැඟණිය, මේ දවන තැනැත්තා ඔබේ කවරෙක් ද?” පින්වත ඔහු මගේ සොහොයුරා ය” ඒ ඔබේ සොහොයුරා නම්, සොහොයුරියෝ සොහොයුරන්ට බොහෝ ආදර ඇත්තෝ ය. නුඹ කුමක් නිසා නොහඬන්නේ ද? ඒ හැඬිමෙන් මළ සොහොයුරුටවත්, මටවත් කිසි පලක් නැත.මාගේ හැඬිම වන්නේ නම් මගේ මව් පියන් ද සිතට දුක් ඇතිවේ. එහෙයින් මම නො හඬමි.”

අනතුරුව මළ අයගේ භාර්යාව වෙත ගිය සක්දෙව් රජ, නැඟණිය, මේ මළේ නුඹේ කවරෙක් ද? පින්වත, ඒ මගේ සැමියා ය. සැමියා මළ කල්හි ස්ත්‍රීහු වැන්දඹුවෝ වෙති. එසේ වූ ඔබ කුමක් හෙයින් නොහඬන්නේ ද? පින්වත, ඇතැම් කුඩා දරුවෝ හඳ දැක ඉල්ලා හඬති. මියගිය අයකු උදෙසා හැඬීමත් එවැනි ම මෝඩ ක්‍රියාවකි. එහෙයින් ද මම ද නො හඬමි.

භාර්යාව ගේ කතාව ඇසූ සක්දෙව් රජ මෙහෙකාරිය වෙත ගොස්,

දරුව, මේ දවන තැනැත්තා නුඹේ කවරෙක් ද? ස්වාමිනී, හේ මගේ ආර්ය පුත්‍රයා ය. (හාම්පුතා ය) එසේ නම් දරුව, ඒ ආර්ය පුත්‍රයා නුඹට තළන්නට ඇත. දඬුවම් කරන්නට ඇත. ඒ නිසා නුඹ මොහුගේ මරණය ඉතා හොඳ යැයි සිතා නොහඬන්නෙහි යැයි මම සිතමි”

ස්වාමීනි එසේ නොසිතනු මැනැවි එසේ කීම නුසුදුසු ය. මේ හාම්පුතා ඉවසන සුළු, මෛත්‍රී, කරුණා සිත් ඇත්තෙකි. මොහු මට මා ඇති දැඩි කළ පුතකු වැනි ය.

එසේ නම් ඇයි ඔබ නො හඬන්නේ,

ස්වාමීනි, ඔසවා ගෙන යන මැටි කළයක් බිම වැටී හත් කඩකට බිඳුණු කළ නැවැත එය සන්ධි කොට ප්‍රකෘති (මුල්) තත්ත්වයට ගන්නට නොහැකි වන්නේ යම් සේ ද? එසේම මිය පරලොව ගිය තැනැත්තකු උදෙසා හැඬිම, ශෝක කිරීම නිෂ්පල ක්‍රියාවකි.

සක්දෙව් රජ මේ හැම දෙනාගේ කථාව අසා පැහැදී

අප්‍රමාද වූ ඔබ සියල්ලෝ විසින් මරණසතිය වඩන ලදී. නැවැත නැවැත වඩන ලදී. මෙතැන් පටන් ඔබ සියල්ලෝ ශරීරය වෙහෙස නො කරව්. මම සක්දෙව් රජ වෙමි. මම ඔබට අපමණ සත්රුවන් දෙන්නෙමි. ඔබ දන් දෙන්න. සිල් රකින්න. පෙහෙවස් රකින්න. නිතර ම සිහියෙන් (සති) නුවණින් (ඤාණයෙන්) කටයුතු කරන්න. අප්‍රමාද ව වසන්න යනුවෙන් පවසා අපමණ ධනය දී දෙව්ලොවට ගියේ ය.

මරණානුස්මෘතියට අදාළ ව මෙය ලියූ අපත්, මෙය කියවන ඔබත් මෙහි ඇති කතාන්දර රසය හෝ කියවීමේ රසය හෝ පමණක් වින්දනය නො කොට මෙය කියවා ඉවතට නොදමා අර්ථ රසය හා ධර්ම රසය උකහා ගන්නේ නම් අපට ද ලැබෙන පින් බොහෝ ය. ඔබට ද එසේ ම ය. එපමණක් නොව ලබා ගත් ධර්ම රසය සත්‍ය වශයෙන් ම භාවනාවට නඟමින් අපගේ ජීවිත කාලය තුළ මෙවැනි අවස්ථාවන්ට සතියෙන් හා නුවණින් ඉදිරිපත් වන්නේ නම් මරණානුස්මෘතිය ඇත්තකු වන්නේ ය. එහෙයින් ම මෙලොව වශයෙන් සෝතාපත්ති ආදී මාර්ගඵල නොලදහොත් සුගතිගාමී වන්නේ ය.

“කුඹල්කරු තනන හැම මැටි බඳුනක් ම ඒකාන්තයෙන් ම බිඳීයන්නේ ම යි”

කාම - භව, විභව නො පතන්න.

නිවනට ම සිත් යොමු වේවා.

(ආශි‍්‍රත ග්‍රන්ථයෝ - බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, අංගුත්තර නිකාය 4 මජ්ක්‍ධිම නිකාය 3 - විශුද්ධි මග්ගය - අතිපූජ්‍ය අම්පිටියේ රාහුල හිමි. මරණානුස්මෘති භාවනා)

මැදින් අව අටවක

 මාර්තු 28 සිකුරාදා අ.භා 07.54 අමාවක ලබා 29 සෙනසුරාදා අ.භා. 04.27න් ගෙවේ.
29 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]