[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සතර ඍද්ධිපාද ධර්මයෝ

සතර ඍද්ධිපාද ධර්මයෝ

බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත්වූ මෙම සතර ඍද්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවල දී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා.

ඍද්ධි යනු, එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටීම, බොහෝ දෙනකු ලෙස පෙනී සිට නැවත එක් අයකු ලෙස පෙනී සිටීම, කිසිවකුට නොපෙනෙන ලෙස සිටීම, බිත්ති - ප්‍රාකාර, පර්වත හරහා කිසි බාධාවකින් තොරව විනිවිද ගමන් කිරීම, ජලයෙහි මෙන් පොළොවෙහි කිමිදීම සහ උඩට මතුවීම, කුරුල්ලකු අහසෙහි ගමන් කරන්නාක් සේ පලඟක් බැඳගෙන අහසෙහි ගමන් කිරීම, මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති හිරු සඳු අතින් ස්පර්ශ කිරීම, බඹලොව සීමාකොට තමන්ගේ කයින් වසඟයෙහි පැවැත්වීම යන මේවා යි.

මෙම ඍද්ධීන් ලැබීම පිණිස පවතින යම් මාර්ගයක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඍද්ධිපාද කියන්නේ එයට යි. එබඳු ඍද්ධිපාද සතරක් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් එම ඍද්ධිපාද සතර ගැන දේශනා කරන ලද්දේ මේ ආකාරයටයි.

මහණෙනි, මේ ඍද්ධිපාද සතරක් තිබෙනවා. ඒ සතර මොනවා ද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව බලවත් ඡන්දය ( කැමැත්ත) තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඍද්ධිපාදය වඩනවා. බලවත් වීරිය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඍද්ධිපාදය වඩනවා. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඍද්ධිපාදය වඩනවා.

බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීරියෙන් යුතු ඍද්ධිපාදය වඩනවා.

මහණෙනි, මේ සතරක් වූ ඍද්ධිපාදයන් දියුණු කර ගත් නිසයි බහුල ව ප්‍රගුණ කර ගත් නිසයි “තථාගතයන් වහන්සේට අරහං සම්මා සම්බුද්ධ කියලා කියන්නේ”

මහණෙනි, භික්ෂුවක් ඡන්දය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් කැමැත්ත) උපදවා ගෙන කටයුතු කිරීම නිසා සමාධියක් ඇති කර ගන්නවා. සිතෙහි එකඟ බවක් ඇති කර ගන්නවා. ඡන්ද සමාධිය කියන්නේ එයට යි.

ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිසත්, උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිසත්, උපන් කුසල් දහම් වැඩිදියුණු කර ගෙන පරිපූර්ණ කර ගැනීම පිණිසත් කැමැත්ත උපදවා ගන්නවා. වෑයම් කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කර ගන්නවා. ප්‍රධන් වීරියට අයත් සංස්කාර කියන්නේ මේවාට යි.

වීරිය (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් වීරිය), චිත්ත (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් අධිෂ්ඨානය), වීමංසා (ධර්මාවබෝධය සඳහා ඇති බලවත් නුවණින් විමසීම) යන අනෙක් ඍද්ධිපාද තුන ගැනත් ඉහත පෙන්වා දුන් පරිදි තේරුම් ගන්න.

අතිදුර්ලභ වූ සම්මා සම්බුදු සසුනක පමණක් අසන්නට ලැබෙන මෙම සතර ඍද්ධිපාද ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අප තුළ පැහැදිලි නිරවුල් තේරුම් ගැනීමක් හා අවබෝධයක් තිබිය යුතුයි. සසර කතරින් එතෙර වීමට උපකාරි වන මෙම සතර ඍද්ධිපාද දියුණු කර ගත්තොත්, බහුල ව ප්‍රගුණ කළොත් දුකට අයත් දේ ගැන අවබෝධයෙන් යුතු කලකිරීමක් ඇතිවෙනවා. නො ඇල්මක් ඇතිවෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. කෙලෙස් සංසිඳිලා යනවා. චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වෙනවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. යම් කෙනෙක් මේ සතර ඍද්ධිපාද වරදවා ගත්තොත් ඔහුට මැනවින් දුක් ක්ෂය වී යන ආර්ය මාර්ගය වැරැදී යනවා.

අතීතයේ යම්කිසි කෙනෙක් කලින් කියපු ආකාරයේ ඍද්ධීන් උපදවා ගත්තා නම්, එම ඍද්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගත්තා නම් ඒ මේ සතර ඍද්ධිපාදයන් වැඩීම තුළින් ම යි. අනාගතයේ යම්කිසි කෙනෙක් ඍද්ධීන් උපදවා ගන්නවා නම්, එම ඍද්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගන්නවා නම්, ඒ මේ සතර ඍද්ධිපාදයන් වැඩීම තුළින් ම යි.

වර්තමානයේ යම්කිසි කෙනෙක් ඍද්ධීන් උපදවා ගනියි නම්, එම ඍද්ධීන්ගෙන් කොටසක් හෝ උපදවා ගනියි නම් ඒත් මේ සතර ඍද්ධිපාදයන් වැඩීම තුළින් ම යි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර චාපාල චෛත්‍යස්ථානයේ දී ආනන්දයන් වහන්සේ අමතා වදාළ මේ කාරණය ඔබට මතක ඇති.

“ආනන්දය, යමකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඍද්ධිපාදයන් තිබෙනවා නම්, ඔහු කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙන් සිටිය හැකියි. ආනන්දය, තථාගතයන් වහන්සේ තුළත් දියුණු කරන ලද, බහුල කරන ලද, හොඳින් පිහිටුවා ගන්නා ලද සතර ඍද්ධිපාදයන් තිබෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේටත් කැමති නම් ආයුෂ් කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් සිටිය හැකියි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගොරෝසු නිමිති පහළ කළත් ආනන්දයන් වහන්සේගේ සිත මාරයා විසින් වසාගෙන සිටි නිසා ආයුෂ් කල්පයක් වැඩ සිටින ලෙස භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරන්නට උන්වහන්සේට නොහැකි වුණා.

බුදු සසුනක හැර වෙනත් ආගමක කතා නොකරන මේ සතර ඍද්ධිපාදයන් දියුණු කරගත්, බහුලව ප්‍රගුණ කරගත් අතීතයෙහි වැඩසිටි භික්ෂූන් වහන්සේ ඍද්ධිවිධ ඤාණය (නොයෙක් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව) දිබ්බසෝත ඤාණය (දිව්‍ය - මානුෂීය, දුර - ළඟ තිබෙන ඕනෑම ශබ්දයක් ඇසීමේ හැකියාව) පරචිත්ත විජානන ඤාණය (අන් අයගේ සිතෙහි ස්වභාවය දැන ගැනීමේ හැකියාව) පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර විසූ ජීවිත දැකීමේ හැකියාව) චුතූපපාත ඤාණය (සත්ත්වයන් කර්මානුරූප ව චුතවෙන උපදින ආකාරය දැකීමේ හැකියාව) ආසවක්ඛය ඤාණය (සියලු ආශ්‍රවයන් ක්ෂය කළ බව දන්නා නුවණ) යන ෂඩ් අභිඥාවන් ලබා ගත්තා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන භික්ෂුව තුළ මේ සතර ඍද්ධිපාදයන් ද වැඩි දියුණු වී යනවා. ඡන්ද, විරිය, චිත්ත, වීමංසා යන මේ සතර ඍද්ධිපාදයන් දියුණු කරන කෙනා, බහුල වශයෙන් ප්‍රගුණ කරන කෙනා මේ ජීවිතයේ දී ම අරහත්වයට පත්වීම හෝ අනාගාමී වීම යන මේ ප්‍රතිඵල දෙකෙන් එකක් කැමති විය යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.

දිනක් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කළ විට ශක්‍ර දේවේන්ද්‍රයාත්, වෙසමුණි දිව්‍ය රාජයාත් උන්වහන්සේව එම අසිරිමත් ප්‍රාසාදය පෙන්වීමට වඩමවාගෙන ගියා. වෛජයන්ත ප්‍රසාදයේ විසිතුරු පෙන්වමින් ඒ ගැන වර්ණනා කරමින් යන ශක්‍ර දේවේන්ද්‍රයාත් වෙසමුණි දිව්‍ය රාජයාත් සංවේගයට පත් කිරීමේ අරමුණින් මහා මොග්ගල්ලානයන් වහන්සේ තමන් වහන්සේගේ පාදයේ මහපට ඇඟිල්ලෙන්, ඍද්ධි බලයෙන් වෛජයන්ත ප්‍රසාදය කැරකෙවුවා. කම්පා කෙරෙවුවා. සෙලෙවුවා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කියන්නේ එතරම් ම මහා ඍද්ධිමත් ශ්‍රාවකයන් වහන්සේ නමක්.

ශ්‍රාවකයකුගේ ඍද්ධිය එතරම් නම් ශාස්තෘන් වහන්සේගේ ඍද්ධි බලය කොයිතරම් ද කියලා අපට සිතින් සිතා ගන්නවත් බැහැ.

ගංගා නදිය මහා සමුද්‍රය බලා ගමන් කරන්නා සේ මේ සතර ඍද්ධිපාද වඩන කෙනාත් අමා නිවන බලා ම ගමන් කරනවා. ඒ නිසා ඔබත් නිර්වාණගාමී ප්‍රතිපදාවට අයත් මේ සතර ඍද්ධිපාදයන් අප්‍රමාදී ව ප්‍රගුණ කිරීමට මහන්සි ගන්න.

මැදින් අව අටවක

 මාර්තු 28 සිකුරාදා අ.භා 07.54 අමාවක ලබා 29 සෙනසුරාදා අ.භා. 04.27න් ගෙවේ.
29 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 29

First Quarterපුර අටවක

අප්‍රේල් 05

Full Moonපසළොස්වක

අප්‍රේල් 12

Second Quarterඅව අටවක

අප්‍රේල් 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]