ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි
බෙලිගල රාජ මහා විහාර පුදබිම
ක්‍රි.ව. 112 - 134 කාලයේ අනුරාධපුරයේ රජ කළ පළමු ගජබා රජතුමා බෙලිගල නම් නුවර කරවූ
බව කුරුණෑගල විස්තරයේ සඳහන් ව ඇත. ගජබා රජතුමා නීල මහා යෝධයා සමඟ සොළී දේශයට ගොස්
එහි රජතුමාට අභියෝග කොට ලංකාවෙන් පැහැරගෙන ගිය සිංහලයන් දොළොස් දහසක් පමණ නැවත
රැගෙන ආ බව ද පැවසේ. එසේම සොළී රජු විසින් සොළීන් දොළොස් දහසක් වහලුන් ලෙස ගජබා
රජුට ලබා දුන් බව ද සඳහන් ය. ඔවුන්ගේ ශ්‍රමය උපයෝගී කොට ගෙන රට සංවර්ධනය කළ බව
ඉතිහාස මූලාශ්‍රවල පැවසේ.
මෙම රාජ්‍ය සමයේ දී බෙලිගල නගරයේ වෙහෙර විහාර, ප්‍රාසාද, කුළුගෙවල්, ගබඩා තැනූ බවට
ද සාක්ෂි දරයි. එසේ ඉදිවූ බෙලිගල නගරයේ බෙලිගල විහාරය පූජනීයත්වයට පත්ව ඇත්තේ
දෙතිස්ඵල බෝධින් වහන්සේ නමක් රෝපණය කිරීමත් සමඟ යි.
3 වැනි විජයබාහු රජු දඹදෙණිය රාජධානියේ පාලකයා බවට පත්වන විටත් බෙලිගල පර්වතය
ආශි‍්‍රත පැරැණි විහාරයක් සහ දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමක් වැඩ සිටි බව ද සඳහන් වේ.
ඒ අවධිය වන විටත් දන්ත ධාතූනන් වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාරයේ රහසිගතව සඟවා
තිබී ඇත. පොලොන්නරු රාජධානිය කාලිංග මාඝ ආක්‍රමණිකයා විසින් අල්ලා ගැනීමත් සමඟ
එතෙක් පොලොන්නරුවේ වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ රහසිගත ව
ස්වාමීන් වහන්සේ කීප නමක් විසින් කොත්මලේ පුසුල්පිටිය විහාරයට වැඩම කරවනු ලැබ ඇත.
කාලිංඝ මාඝ ආක්‍රමණිකයා දන්ත ධාතූන් වහන්සේ පොලොන්නරුවෙන් අතුරුදහන් බව දැනගත්
අවස්ථාවේ සිට ධාතූන් වහන්සේ සොයන්නට වෙහෙසී ඇති බව ද කියැවේ.
කාලිංගමාඝගේ අනුගාමිකයන් දන්ත ධාතූන් වහන්සේ සොයමින් සිටි නිසා තවදුරටත් කොත්මලේ
පුසුල්පිටිය විහාරයේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටීම අනාරක්ෂිත බව විජයබාහු රජතුමාට
වැටහිණි. ඒ අනුව වඩාත් ආරක්ෂිත ස්ථානයක් වූ දඹදෙණි රාජධානියට අයත් බෙලිගල පර්වතයේ
ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට සුදුසු ම ස්ථානය බව වියජබාහු රජතුමා අවබෝධ කර ගත් බව
සඳහන් ය. එම නිසා බෙලිගල පර්වතයේ දළදා මාළිගයක් ඉදිකර දන්ත ධාතූන් වහන්සේ සහ
පාත්‍රා ධාතුන් වහන්සේ එහි තැන්පත් කොට තිබේ.
පසු කාලයක දී දඹදෙණි පර්වතය ආශි‍්‍රත ව දළදා මාලිගයක් ඉදිකරවා ධාතුන් වහන්සේ එහි
වැඩමවා තැන්පත් කළ බව වංශ කතාවල සඳහන් ය.
දන්ත ධාතූන් වහන්සේ වෙනත් ස්ථානයකට වැඩම කරවනු ලැබූවත් බෙලිගල විහාරයට ලැබුණු ගරු
සැලකිලිවල අඩුවක් නොවූ බව ද සඳහන් ය. ක්‍රි.ව. 1412 - 1467 සමයේ දී කෝට්ටේ
රාජධානියේ රජු වූ 6 වැනි පරාක්‍රමබාහු රජු විසින් මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය
කළ බව බෙලිගල විහාර සන්නසෙහි සඳහන් ව ඇත. එමෙන් ම මහනුවර යුගයේ රජකම් කළ රජවරුන් ද
මෙම විහාරයේ උන්නතිය සඳහා කටයුතු කළ බව මහනුවර යුගයට අයත් සිතුවම්වලින් අනුමාන කළ
හැකි ය.
- දීපා පෙරේරා |