බුද්ධ ශාසනයක් තුළ පමණක් මුණ ගැසෙන ශ්‍රද්ධාවන්තයා
බුද්ධ ශාසනයක් තුළ ලැබිය හැකි රැකවරණය විශ්මිත යි. ආශ්චර්ය යි. උත්තරීතර යි. ගෙවූ
සංසාරයේ අප උපනුපන් සෑම ජීවිතයක ම මරණය අභියස කෙ තරම් සැලෙන්නට ඇද්ද?
ඒ වගේම අවසන් මොහොතේ රාග, ද්වේෂ, මෝහ සිතින් මරණයට පත් ව නිරයේ ඉපදෙන්නට ඇද්ද? අද
වුව ද බිහිසුණු ලෙස මරණය අප කරා නො පැමිණේ යැයි කාට නම් කිව හැකි ද? මරණය අපගේ
ජීවිතයේ නො වරදින ඒකාන්ත සිදුවීම වන නිසා ගතවන සෑම මොහොතක් ම අප සූදානමින් සිටිය
යුතු නොවේද? එනිසයි මරණය අභියස සිටින අප සෑම දෙනාට ම ධර්මය හැර වෙන පිහිටක්,
අස්වැසිල්ලක්, පිළිසරණක් නොමැත්තේ.
මරණයට පත්වන මොහොතේ සිතේ අස්වැසිල්ලක්, සැනසුමක්, සුවපත් බවක් ඇති කරවන ඒ සොඳුරු
ධර්මය මරණාසන්න මොහොතේ පිහිට කර ගන්නට පුළුවන් කියා සිතනවා නම් එය කෙතරම් අනුවණ ද?
ධර්මය පුරුදු පුහුණු කර නැති කෙනාට ඒ මොහොතේ ධර්මයක් සිහි කරවීම අපහසු දෙයක්. නමුදු
භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමා රැකගත යුත්තේ තමා විසින් ම බවයි. තමා බොහෝ කලක්
පුරුදු පුහුණු කළ ධර්මය විසින් පමණයි ඒකාන්තයෙන් ම එය සිදුකර දෙනු ලබන්නේ.
දිනක් අපගේ බුදුරජාණන් වහන්සේ විමසූ පැනයකට කොසොල් රජු පැවසුවේ මෙවැනි අදහසක්. තමන්
සතුව යුද්ධයක් දිනවා දීමට සමත් බලවත් ඇත් සේනා, අශ්ව සේනා, බල සේනා, මහා ධන සම්පත්,
දක්ෂ කුමන්ත්‍රණකරුවන් සිටිය ද ජරා, මරණ යුද්ධ හමුවේ ඒ කිසිවකින් පිහිටක් නැති
බවයි. ධර්මයේ හැසිරීම හැර, කුසල්කිරීම හැර, පින් කිරීම හැර අන් පිහිටක් නොමැති
බවයි. මුළු දඹදිව ම දිනූ බලවත් රජකුටත් එය එසේනම්, අපට සුළු වශයෙන් තිබෙන ධනය, බලය,
රූපය, උගත්කම, ඤාති පිරිවර, ජරා, මරණ අභියස කුමක් කරන්න ද?
එදවස අප ලක්දිව ශ්‍රද්ධා සම්පන්න රජෙක් රට පාලනය කළා. ඒ ධාතුසේන රජතුමා යි. ඒ යුගයේ
රට ස්වයංපෝෂිත යි. රජු දැහැමින් රට පාලනය කළා.
එක්තරා කරුණක් මත රජු සමඟ උරණ වූ මිගාර නම් සෙනවියා විසින් ධාතුසේන රජුගේ පුත් වූ
කාශ්‍යප කුමරුගේ සිත පියා කෙරෙහි බිඳවනු ලැබුවා. පියා සිරගත කරවා කාශ්‍යප කුමරු
ලක්දිව රජු වූවා. මිගාර සෙනවියාගේ කෝපය ඉන් අවසන් වූයේ නැහැ. තව තවත් ධාතුසේන රජු
වෙහෙසවනු දැකීමට ඔහු කැමැති වූවා. එනිසා කාශ්‍යප කුමරුට කියා සිටියේ පියා විසින්
සඟවනු ලැබූ නිධාන තිබෙන බවයි. අනුවණ කාශ්‍යප රජු ඒ වදන පිළිගත්තා.
ධාතුසේන රජු මරණයට පත් කිරීමට රාජ අණ ලබා ගත් මිගාර සෙනවි වෛරී සිතින් ධාතුසේන
රජුගේ සිත කැළඹවීමට සිතා සර්වාලංකාරයෙන් සැරසී රජු ඉදිරිපිට ඔබමොබ ගමන් කරමින්,
අවඥා සහගත ව සිනා සෙමින් කටයුතු කළා.
එය දුටු ඒ පින්වත් නිරිඳාණෝ තමාගේ අවසන් මොහොත ළං ව ඇති බව දැන මෙසේ සිතුවා.
“මේ පවිටු තැනැත්තා මගේ කය පෙළා දැමුවා. දැන් මොහුට අවශ්‍යව ඇත්තේ මගේ සිතත් පෙළා
මා නිරයට ඇද දමන්නට යි. මොහු කෙරෙහි ද්වේශයක් උපදවා ගැනීම තුළින් මට කිසිවක්
ලැබෙන්නේ නැහැ.”
ඒ නිරිඳාණෝ මෙලෙස සියලු යහපත සැනසීම නැසූ සතුරට තමාගේ පරලොව යහපත, සැනසුම නැසීමට
කිසිදු අවස්ථාවක් නො දීමට තීරණය කළා. දහමේ දක්ෂ රජු සෙනවියා කෙරෙහි මෙත් සිත
පැතිරුවා. නිරයේ ගමනට ඇති පාර වසා දැමුවා. තමාගේ සිත රැක ගත්තා.
පාපී සෙනවියා මේ තේජවන්ත දැහැමි මහා බල ඇති රජු ව නිරුවත් කරවා දෑත පිටුපසට කොට
මාංචු දමා කලා වැව ඉස්මත්තේ බිත්තියට හේත්තු කොට මැටි ගස්සවා මරණයට පත් කළා. රජුට
සිදු වූයේ මහා අසාධාරණයක් යැයි ලෝකයාට සිතුණාට රජුට අසාධාරණයක් වූයේ නැහැ. තම කය
වැනසී යද්දී සිත රැක ගත් ධාතුසේන මහා නිරිඳා මරණයෙන් මතු නිදා පිබිදියා සේ තව්තිසා
දෙව්ලොව මහේශාඛ්‍ය දෙවියෙක් ව උපන්නා.
ධාතුසේන රජු මරණය අභියස දී ජීවිතයේ දිනුම වෙත ළං වූවා. සිත ද්වේෂයෙන් පුරවා ගත්තා
නම් අදටත් ඒ රජු නිරයේ. ඔහුට දක්ෂතාවයක් තිබුණා ඒ ශාස්තෘන් වහන්සේ වදාහළ සුමියුරු
දහම තමා වෙත ගළපා ගන්න. මරණයට පත්වෙන මොහොතේ එවැනි දක්ෂකමක් හදාගන්නට පුළුවන් වුණේ
ජීවත්වෙලා සිටින කාලයේ දී ඒ දක්ෂතාවයට වුවමනා ගුණාංග පුරුදු පුහුණු කළ නිස යි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළා පමා වූවන්ගේ අප්‍රමාදී බව සඳහා දහම් පදයක්. ඒ තමා
මරණයට කැප වූ ගවදෙන සේ, තණ අග රැඳී පිනි බිදුව සේ, වේගයෙන් කඩා හැලෙන දිය දහර සේ,
ගතවන සෑම මොහොතක ම ජීවිතය අවසන් මොහොත දක්වා ළංවන බව සිහිකළ යුතුයි” කියා. මරණය අප
කරා ඒමට නොයෙක් හේතු තිබෙනවා. එය පය පැකලී වැටීමෙන්, සතෙක් සර්පයෙක් දෂ්ට කිරීමෙන්,
ආහාර විෂවීමෙන්, සතුරු ප්‍රහාරයකින්, අමනුෂ්‍ය උපද්‍රවයකින්, පිත සේ ම, වාතය කිපීම
නිසා හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළීමට පෙර, පහළ හෙළු හුස්ම
පොද ඉහළට ගැනීමට පෙර මරණය සිදුවිය හැකි බව පෙන්වා වදාළා. උදාවන හැම දිනක ම හැම
රාත්‍රියක ම හැම, දවාලක ම තම ශ්‍රාවකයා නුවණින් සැලකිය යුතු කරුණක් ගැන භාග්‍යවතුන්
වහන්සේ වදාළා.
ඒ, ඇඳිවත හෝ හිස ගිනි ගත්තෙක් ඒ ගින්න නිවීමට බලවත් උත්සාහයක් ගන්නා සේ තම සිතේ
උපන්නා වූ අකුසල ප්‍රහාණයට උත්සාහ කළ යුතු බව. සැබවින් ම අප බිය විය යුත්තේ මරණයට
නොවෙයි. මරණින් මතු උපදින ලෝකයට යි. මරණ මොහොතේ සිත අකුසලයට යට වී තිබීම ගැනයි.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ තම ශ්‍රාවකයා කලක් තිස්සේ ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත (දහම්
දැනුම) ත්‍යාග, ප්‍රඥාව මැනවින් පුරුදු පුහුණු කර ඇත්නම් ඒ සිත ප්‍රභාශ්වර බවයි. මේ
කුණු කය සතුන් විසින් කා දැමුවත් ඒ දහම තුළ මැනවින් පුරුදු කළ ගුණ වැඩෙන බවයි. “යම්
දිශාවකට බර වී ඇති රුකක් මුලෙන් ම කඩා දමන විට ඒ ගස යම් දිශාවකට නැමී තිබුණේ ද, ඒ
දෙසට ම වැටෙනවා සේ තුණුරුවන් කෙරෙහි නො සැලෙන පැහැදීමත්, ආර්ය කාන්ත සීලයකින් යුතු
ශ්‍රාවකයා නිවනට ම නැඹුරු වෙනවා. ඒ දෙසට ම සිත බර වෙනවා.
එලෙසින් ම අප සැමගේ ම සිත නැමී ඇති දෙසට ම, බර වී ඇති දෙසට ම, යොමු වී ඇති දෙසට ම
මරණින් මතු උපත කරා යනවා. එය මරණාසන්න මොහොතේ තීරණය කළ හැක්කක් නොවෙයි.
එනිසයි අප කුසලයට ළං විය යුත්තේ. පිනට ප්‍රමාද නො විය යුත්තේ. එකම පින නැවත නැවත
කළයුත්තේ. එළැඹෙන ඕනෑම මොහොතක මරණය අප කරා එද්දී පිහිටක්, පිළිසරණක්, රැකවරණයක්
සකසා ගෙන සිටිය යුත්තේ. මේ සියලු දේ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ තමා තමාට ආදරේ නම්
පමණ යි.
අප මේ ලෝකයට බිහිවූ දා පටන් අද වන තුරු තමාගෙන් බාහිර බොහෝ දෙනාට ආදරය කරලා ඇති.
රැකවරණය සකසා දී ඇති. සැනසුම ලබා දී ඇති. එනමුත් තමා තමාට ම ආදරය කරලා නැත්නම්
ජීවිතය අතහරින මොහොතේ දුක් වෙමින්, විලාප දෙමින්, අඬා වැළපෙමින් මේ ලෝකයෙන්
සමුගන්නට සිදු වේවි. ඔබත්, මමත් ඒ ප්‍රමාදී ජීවිතයට යට නොවී භාග්‍යවතුන් වහන්සේගේ
සැබෑ ම ශ්‍රාවක දරුවෙක් ලෙස මුහුණ දිය යුතු නොවේ ද?
එනිසා අපේ ජීවිතයේ වැරදුණු තැන්, පැරදුන තැන්, නො මඟ ගිය තැන්, කිළිටි පාපී කෙලෙස්
නිර්මල පාරිශුද්ධ බුද්ධ ශාසනය තුළ දියකර හරිමු. තිසරණය පිහිට කොට ගනිමු. සතර
අපායෙන් ගැල වී සුගති රැකවරණය ලබා නිවන් පුරයට පා නගමු. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ
මොහොතින් මොහොත වෙනස් වෙන මේ සිත පිරිසුදුවට තබා ගැනීමට වීරිය කිරීම යි. එවන්
වීර්යවන්තයෙක්, එවන් ශ්‍රද්ධාවන්තයෙක්, එවන් ප්‍රඥාවන්තයෙක් මරණය අභියස කුමට
සැලෙනවා ද? කුමට බිය වෙනවා ද?
- නයනා නිල්මිණී |