සතුටු සිතින් දන් දෙමු
තමන් සතු දෑ දන්දීම බුදුරජාණන් වහන්සේ විසින් පසසන ලද ධර්මයකි. එසේ දන්දීමේ දී
දානයෙහි විපාක මහත්ඵලවීම පිණිස එය සිදු කළ යුතු ආකාරය පිළිබඳ ව උන්වහන්සේගේ උපදේශ
විවිධ සූත්‍රයන්හි ඇතුළත් වේ. එම සියලු උපදේශ තමන් වහන්සේගේ ඥානය මුල් කොට ගෙන ම
දේශනා කරන ලද සේක.
එහිදී සුදුසු පුද්ගලයන්ට දීමෙන් දානයෙහි විපාක මහත්ඵල වන බව උන්වහන්සේ දේශනා කර
තිබේ. මෙහි “සුදුසු පුද්ගලයින්” යනුවෙන් අදහස් කොට ඇත්තේ දායකයාගේ දානයෙහි විපාකය
මහත්ඵල කිරීමෙහි සමත් බව පිහිටන පුද්ගලයන් ය. එනම්, සීල, සමාධි, ප්‍රඥා යන
ගුණයන්ගෙන් උසස් බවට පැමිණි උතුමන් ය.
ඉහත දහම් අවවාදය “දීමේ දී උතුමන්ට පමණක් දීමට උපදෙස් දෙන ලදී” යනුවෙන් මෙකල ඇතැමෙක්
සාවාද්‍ය ලෙස වටහා ගෙන ඇති හෙයින් දීමේ දී කවරකුට දියයුතු ද යන්න පිළිබඳ සමාජයෙහි
එකිනෙකා අතර විවිධ මත පවතියි.
ඇතැමෙක් “වැඩි කුසලයක් සිදුවිය යුත්තේ නැති බැරි කෙනකුට දුන්විට ය” යනුවෙන් තර්ක
කරති. බුද්ධ වචනය ඇදහීමට අකැමැති ඇතැමෙක් “කුසලයක් වුවත්, නොවූවත් අප දෙන්නේ අසරණ
බව සලකා ගෙන ය” යි කියමින් ධර්මය සමඟ එකඟවීමට අකැමැති වෙති. ඇතැමෙක් බුදු දහමේ
සඳහන් මෙවැනි කරුණු නිසි ලෙස වටහා ගැනීමටත් පෙරම නොයෙක් සාවද්‍ය වටහා ගැනීම් ගොඩනඟා
ගෙන “බුද්ධාගම කියන්නේ මේවාට ද” යැයි ධර්මයට නිකරුණේ දොස් නඟති. එබැවින්, සුදුසු
පුද්ගලයන්ට දීමට බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළේ කුමන කරුණු මුල්කොට ගෙන ද
යන්න විමසා බැලිය යුතු ය.
සමාජයේ බොහෝ දෙනකු ධර්මානුකූල ප්‍රතිපදාවන්ට අනුකූල වන ලෙස තම දිවිපැවැත්ම සලසා
ගන්නෝ වෙති. නිසි අවබෝධයක් නොමැති ව වුව ද බොහෝ දෙනෙක් තමාට හැකි පමණ අකුසලයන්ගෙන්
වැළකී සිටීමට උත්සාහ කරති. එසේ පවින් වැළකී තම ධනය සපයා ගැනීමත්, සපයා ගත් දෑ
ආරක්ෂා කර ගැනීමත් බෙහෙවින් අපහසු ය.
එසේ පවිටු ආකාරවලින් තොර ව සපයාගත් වස්තූන් ගුණය අතින් බොහෝ වටිනාකමක් ඇති ඒවා වේ.
තමා සපයා ගත් වස්තූන්ගේ වටිනාකම තීරණය කළ යුත්තේ මිල අනුව නොව ඒවායෙහි රැඳී ඇති
ගුණය අනුව ය. කොපමණ මිලයක් ඇති වස්තුවක් වුව ද අධාර්මික ව සපයා ගත්තක් වේ නම්, එය
තමන් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් වළක්වාලීමට කර්මය සකස් වේ. එහෙයින්, කිලුටෙන් තොර
වූ තම වස්තූන් කෙරෙහි ඇති වටිනාකම ඉමහත් වන අතර, එවැනි වස්තුවක් දීමට සුදුසු වන්නේ
ද එලෙසින් ම සීලාදී ගුණයෙන් උතුම් අයකුට ය. ලද දෙය ගැන ගුණ අගුණ සොයමින්, සිතෙහි
අප්‍රසාදයක් ඇති කරන්නකුට වඩා, දෙන දෙය ප්‍රසන්න සිතින් යුතු ව ලබා ගන්නා අයකුට
දීමෙන් දායකයාගේ සිතෙහි තම ක්‍රියාව පිළිබඳ ව සතුටක් හෙවත් ශ්‍රද්ධාවක් උපදී. මෙම
ශ්‍රද්ධාව දීමෙහි විපාකය මහත්ඵල කිරීමෙහි සමත් වේ. තමා සතු දෑ දීමේ දී ගුණයෙන් උසස්
උතුමන්ට ප්‍රමුඛත්වය දීමට මෙය එක් හේතුවකි.
එසේ ම, නිවන් දකින තෙක් යා යුතු සසර ගමනෙහි දී, තම දිවි පැවැත්මට අවශ්‍ය
ප්‍රත්‍යයන් පීඩාවකින් තොර ව සපයා ගැනීමට, ප්‍රමාණවත් කුසල ශක්තියක් පැවතිය යුතු ය.
එසේ, පෙර කළ කුසල් නොමැති දිළිඳු පුද්ගලයන් තමාට අවශ්‍ය දෑ කෙසේ හෝ සපයා ගැනීමට
සොරකමට යොමුවීම බොහෝ සෙයින් සිදුවේ. නමුත්, දිළිඳු පුද්ගලයාට වුව ද, සොරකම්
කිරීමෙන් තොර ව භෝග සම්පත් ලැබීමට ඇති අවස්ථාවක් නම් ගුණයෙන් උසස් උතුමන්ට දීම යි.
තණ්හා, ක්‍රෝධ ආදී අකුසල සිතුවිලි කෙරෙන් ඈත් ව සිටින හෙයින්, එම උතුමන් හට
දායකයාගේ කුසල විපාකය මහත්ඵල කිරීමේ ශක්තිය පවතී.
තම පැවැත්මට අවශ්‍ය ආහාරපානාදී ප්‍රත්‍යයන් නැති තැනැත්තන් විශේෂයෙන් ම තමා සතු
ස්වල්ප වූ දෙය දීමේ දී, තමාට බහුලකොට දීමට සමත් අයකුට හෙවත් ගුණවත් උතුමකුට දිය
යුතු ය. තමා සතු දෑ දීමේ දී, ගුණයෙන් උසස් උතුමන්ට ප්‍රමුඛත්වය දීමට මෙය තවත්
හේතුවකි.
දායකයාට සිදුවන යහපත පිළිබඳ සලකා “සුදුස්සන්ට දෙන්න”යැයි බුදුරජාණන් වහන්සේ දේශනා
කර ඇති නමුදු, සෑම විටෙක දී ම ගුණවත් උතුමන් වෙත පමණක් දිය යුතු ය යන්නක් වදාරා
නොමැත. තිරිසන් සතකුට දුන්නේ වුව ද එම දානයෙහි බොහෝ විපාක ඇති බව අමතක නො කළ යුතු
ය. අප ගුණවත් උතුමන් වෙත විශේෂයෙන් දිය යුත්තේ කුසල ශක්තිය ප්‍රබල කර ගැනීම පිණිස
මිස, ගුණයෙන් පොහොසත් නොවන තැනැත්තන්ට දෙන දානයෙහි විපාක නැති නිසා නොවේ. එබැවින්,
උපකාර අවශ්‍ය කවර හෝ අයකුට තම හැකියාව පරිදි උපකාරයක් කිරීමට දෙවරක් නොසිතිය යුතු
ය. එසේම, භවභෝග සම්පත් ලබා ගැනීමේ තණ්හාවෙන් දානාදි පින්කම්වල නිරත වීම කිසිසේත්
නොකළ යුතු ය. එවැනි ක්‍රියා බුදුරජාණන් වහන්සේ අනුමත නොකළ සේක.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ඇතැම් කරුණු, පෘථග්ජන අප විසින් තේරුම්
ගැනීමට උත්සාහ කිරීමේ දී, සාවද්‍ය වැටහීම් ඇතිවීම වැළැක්විය නොහැකි ය. නමුත්,
බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාව පෙරදැරිව ම, සියලු සත්ත්වයන්ට අනුකම්පා පිණිස
ම, බුද්ධ ඥාන පාදක කර ගනිමින් ම දහම් අවවාද ඉදිරිපත් කළ බව අප සැමවිට ම සිහි තබා ගත
යුතු ය. යම් කරුණක් සම්බන්ධයෙන්, “එසේ දේශනා කිරීම අසාධාරණ නොවේදැ”යි චකිතයක් මතු
වුව හොත්, බුදුරජාණන් වහන්සේ ලොව තතු සැමවිට ම තම ඥානයෙන් විමසා බලා, එම කරුණු
මඳකුත් වෙනස් නොකර, සිදුවන්නේ යම් ආකාරයකින් ද එසේම හෙළිදරව් කරන බව සිහිපත් කළ
යුතු ය. උන්වහන්සේ ලෝකයා යහමඟෙහි යෙදවීමට ය’ කියා හෝ සිදු නොවූ, ගොතන ලද කතා
ප්‍රවෘත්ති දේශනා නොකරන සේක. කිසිදු කරුණක් නිසා හෝ ලෝකයා මුළා නොකරන සේක. කිසිවකුට
ලැබෙන ලාභ නැති කිරීමට නොව, ඇති - නැති සියල්ලන්ට ලෞකික සැපත පිණිස උපදෙස් දී වදාළ
සේක. කිසිවකුට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මය පිළිබඳ ගැටලු ඇතිවන
කල්හි, උන්වහන්සේ පිළිබඳ නොසතුට පහළ කර ගැනීමෙන් වැළකී, එසේ දේශනා කිරීමට හේතු කවරේ
ද යන්න පිළිබඳ ව නුවණින් සිතා බැලිය යුතු ය.
එබැවින්, බුදු වදනට ගරු කර තම කුසල ශක්තිය වඩා වර්ධනය කර ගැනීම පිණිස ගුණයෙන් උසස්
උතුමන්ට දානාදියෙන් සංග්‍රහ කර ඔවුන්ගේ ධර්මානුකූල ප්‍රතිපදාවට උපකාර කරන අතර ම,
දුප්පත්, පොහොසත් ඕනෑම අයකුගේ අවශ්‍යතාවක දී තමාට හැකි පමණින් සතුටු සිතින් ම
සුදුසු දෙයින් සංග්‍රහ කිරීමටත්, අප නුවණැති විය යුතුය.
- ටී. සේනානායක |