භේද නොසලකා සැමට
මෙත් වඩන්න
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ දඹදිව බරණැස් නුවර මහා කැලෑවකුත්, ඒ මැද විශාල පර්වතයකුත් පිහිටා තිබුණා.
අවට ගම්වාසීන් සියලු දෙනා ම කළේ තමන්ගේ ඥාතියෙක්, අසල්වැසියෙක් මියගියහම මේ කැලෑවට
ගෙනත් දමන එක. ඒක නිසා ම කාලයත් එක්ක මේ පර්වතයට නමක් පටබැඳුණා ‘පාංශුපර්වතය“
කියලා. මිනිස්සුත් හරිම බයයි මේ කැලෑවට යන්න.
ඒකට බලපාපු තවත් හේතුවක් තිබුණා. ඒ තමයි කැලෑවේ නපුරුම නපුරු, දුටු තැන එළවා ගෙන
ගිහින් ගොදුරක් බවට පත් කර ගන්නා චණ්ඩ ව්‍යාඝ්‍රයෙක් ජීවත් වීම. අකීකරු, අසත්පුරුෂ,
දුර දිග නො සිතා කටයුතු කරන මිනිස්සු අද සමාජයේ වගේ ම එදා සමාජයේත් හිටියා. මේ වගේ
මිනිහෙක් ජීවත් වුණා පර්වතය පෙනෙන තෙක් මානයේ තිබුණු ගමේ. දවසක් මේ පුරුෂයා තමන්ගෙ
බිරිඳත් එක්ක රණ්ඩුවක් ඇති කර ගෙන ගෙදරින් යන්න තීරණය කරලා බරණැස්නුවර යන්න පිටත්
වුණා. පාරවල් තිබුණත් කැලේ මැදින් ඉක්මනට යන්න පුළුවනි, ඒවගේ ම පාරත් බොහොම කෙටියි
කියලා හිතලා කැලෑවට ඇතුළු වුණා.
ඕනෑම තැනක හොඳ යාළුවෝ වගේම නරක යාළුවෝත් ඉන්නවා. ඒ වගේ මේ කැලෑවේත් හිටියා කොච්චර
දරුණු වුණත් යහළුකම් පවත්වා ගෙන ගිය යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් තමයි මුලින් කියපු
චණ්ඩ ගති තියෙන ව්‍යාඝ්‍රයා. එයා එහෙම වුණාට හරිම ගුණයහපත්, ඒ ගුණයහපත්කම් නිසා ම
එයාට හිටියා හරිම ලස්සන යාළුවෙක්. ගිරා පෝතකයෙක්. මෙයා ටික ටික ලොකුවෙලා
ව්‍යාඝ්‍රයා සමග යහළු වුණා. කැලේ ඉන්න මේ දෙන්නා අතර තියෙන යහළුකම් මිනිස් සමාජයේත්
හොයා ගන්න නැති තරම්. අර නොහික්මුණු ගති තියෙන මනුෂ්‍යා කැලෑවට ඇවිත් ගස්වැල් බිඳ
දම දමා කෝපයෙන් යනකොට කරුණා මෛත්‍රී ගුණ වඩපු ‘තුණ්ඩිල‘ නමින් කැලෑවේ ප්‍රසිද්ධ
වෙලා හිටිය අර ලස්සන ගිරවා මුණ ගැහෙනවා. ඉතින් ඒ මනුෂ්‍යා වෙත තියෙන කරුණාව නිසා
කියනවා ‘පින්වත, නුඹ ඔතැනින් ඉස්සරහට යන්න එපා. නපුරු ව්‍යාඝ්‍රයෙක් ඉන්නවා. ඌ ඔබ ව
මොහොතින් මස් බවට පත් කර ගනියි. ඒ නිසා ඔබ ආපසු ගමට යන්න. මිනිසුන් යන මාවත ම භාවිත
කර ගන්න‘යි කිව්වා.
ඊට පස්සේ ගිරවාට ප්‍රතිඋත්තර දෙනවා අර නො හික්මුණු මනුෂ්‍යා ‘මම කරන්නේ මට ඕන දේ.
කාගෙන්වත් උපදෙස් මට ඕන වෙන්නේ නෑ. ව්‍යාඝ්‍රයා කොච්චර දරුණු වුණත්, චණ්ඩ වුණත්
කමක් නෑ. ඒ නිසා මගේ ගමන මම වෙනස් කරන්නේ නෑ. මම යන්නේ මේ කැලෑව මැදින් ම තමයි‘යි
උත්තර දුන්නා.
බෝසත් ගුණ පුරුදු කරන ‘තුණ්ඩිල“ ඒකට කෝප ගත්තේ නෑ. එකින් එකට කියවන්න ගියේත් නෑ.
තවත් මෛත්‍රීය වර්ධනය කරලා මෙහෙම කියන්න පටන් ගත්තා. ‘එහෙම නම් යාළුවේ, නො නැවතීම
නුඹ මේ මාවතේ ම යන්න තීරණය කරලා ඉවරයි. කමක් නෑ. මම නුඹට තවත් පිහිට වෙන්නම්. මම
තවත් උපදෙසක් වගේම උපකාරයකුත් කරන්නම්. මේ කැලේ ඉන්නවා කියපු නපුරු, චණ්ඩ
ව්‍යාඝ්‍රයා මගේ හොඳම යාළුවා. නුඹට ඉස්සරහ කැලෑවේ දී එයා ව හමුවෙයි. වහා පැනලා නුඹව
අල්ලා ගනියි. එතකොට ම ‘මම එන්නේ නුඹගේ යාළු තුණ්ඩිල ළඟ ඉඳලා‘යි කියන්න යැයි උපදෙස්
ලබා දුන්නා. මේ උපදේශයෙන් අර මනුෂ්‍යයාගේ අවගුණ තවත් මතු වුණා. ‘මට උපදේශ එපා
කියද්දි මට තවත් මොකටද උපදේශ‘යි කේන්ති අරගෙන මුගුරකින් ගිරවාට දමලා ගැහුවා. ගිරවා
මරණයට පත් වුණා. ඒ අසත්පුරුෂයාගේ අවගුණ තව තවත් පෙන්වන්නාක් මෙන් ගිරවාගේ පිහාටු
ගලවා දමලා මස් ටික වෙන් කර ගෙන, ලී කැබලි දෙකක් එකට තියලා අතුල්ලලා ගින්දර අරගෙන
මස් ටික පුච්චලා කාලා ආයෙත් ගමනේ යන්න යෙදුණා. අර කියපු විදිහට ම කැලෑවේ ඉස්සරහට
යනකොට ව්‍යාඝ්‍රයා මොහු ඉදිරියට පැන්නා. මිනිහා හොඳට ම බය වුණා. ගිරවාගේ උපදේශය
මතක් වෙලා කියනවා ‘මාව මරන්න එපා, මම භය නැති ව මේ කැලේ එන්නේ මගේ යහළු ‘තුණ්ඩිල‘
ගිරා යහළුවා ඔහු එයා ඔයාගේ හොඳම යාළුවා කියලා මට කියලා තියෙනවා. දැන් මම එන්නෙත්
එයා ළඟ ඉඳලා‘යි කිව්වා. තමන්ගේ හොඳම යාළුවාගේ යාළුවෙක් නිසා ව්‍යාඝ්‍රයා බොහෝම
සතුටට පත් වෙලා තමන් ඉන්න ගල් ගුහාවට එක්කගෙන ගිහින් මිනිසුන් කන කෑම කන්න දුන්නා.
ඒ ගුහාවේ දී මේ අවගුණ ඇති මිනිහා දැක්කා ගොඩාක් වයසට ගිය තවත් ව්‍යාඝ්‍රයෙක්
ඉන්නවා. ඇහුවා මේ කවුද කියලා. ‘ව්‍යාඝ්‍රයා කියනවා මේ මගේ පියතුමා එයාගේ ඇස් දෙකම
පේන්නේ නෑ. එයා දැන් හරිම වයසයි. මම එයාව රැක බලා ගන්නවා‘යි කිව්වා.
ටික වේලාවකින් ව්‍යාඝ්‍රයා කියනවා ‘මම ඔයාට තව කෑම ටිකක් හොයාගෙන ඉක්මනින් ම
එන්නම්. එතකන් තාත්තා එක්ක කතා කර කර ඉන්න ‘යි කියලා ව්‍යාඝ්‍රයා යන්න ගියා. මෙහෙම
දෙන්නා කතා කර කර ඉන්නකොට ව්‍යාඝ්‍ර පියතුමාට ඔහුගේ වචනවලින් ම දැන ගන්න ලැබුණා
‘තුණ්ඩිල‘ ගිරවා මරලා කෑමට ගත්තා කියලා. ඉතින් බොහෝම වේදනාවට පත් වෙලා තමන්ගේ පුතා
ආපු ගමන් ම ‘පුතේ, මේ මනුෂ්‍යයා ඔයාගේ හොඳම යාළුවා මරලා එයාගේ මස් ටිකත් කාලා‘යි
කිව්වා. ව්‍යාඝ්‍රයා ඒක තහවුරු කර ගන්න වහාම තමන්ගේ යාළුවා ඉන්න තැනට ගිහින්
බැලුවා. බලනකොට පිහාටු හැම තැන ම විසිවෙලා තියෙන හැටිත්, ගින්දර පත්තු කරලා මස්
පුච්චපු තැනත් දැක ගත්තා.
යාළුවාගේ ගුණ කිය කියා මහත් ශෝකයෙන් හඬහඬා නැවත ගල් ගුහාවට එන්න පටන් ගත්තා. ගල්
ගුහාවේ හිටිය දුර්ගුණ මිනිහා කල්පනා කරනවා ව්‍යාඝ්‍රයා ආපු ගමන් තවත් කේලාම් කියලා
මාව මරණයට පත් කරනවා ඒ නිසා මේ මහල්ලා ව මරලා දාන්න ඕනෑයි හිතලා මහත් ගලක් අරගෙන
ඔළුවට ගහලා මරලා දැම්මා. ව්‍යාඝ්‍රයා එන්නේ මෙන්න මේ පාරෙන්. හැංගිලා ඉඳලා ඌත් මරලා
දාන්න ඕනෑ‘යි හිතලා හැංගිලා රැකගෙන හිටියා. ඒත් ව්‍යාඝ්‍රයාගේ මෛත්‍රී ගුණය නිසා ම
අර දුර්ගුණ මිනිහාට හැංගිලා ඉන්න බැරි වුණා. ව්‍යාඝ්‍රයා ඉදිරියට ම දුවන්න සිද්ධ
වුණා. ව්‍යාඝ්‍රයා ඉදිරියේ බිම ඇද වැටුණා.
මොහොතින් ඔහුගේ මස් කැබලිවලට ඉරා දමන්න තරම් කේන්ති එන තත්ත්වයක් උදා වෙලා තිබුණත්
ව්‍යාඝ්‍රයා කේන්ති ගත්තේ නෑ. ඉවසලා මෙහෙම හිතුවා
‘මං බොහෝම අමාරුවෙන් පුරුදු පුහුණු කරපු, වර්ධනය කරපු ගුණ මෙ වැනි අසත්පුරුෂයකු
නිසා විනාශ කර ගන්න හොඳ නෑ‘යි තීරණයකට එළැඹියා. දුර්ගුණැති මිනිසා වැඳ වැඳ අභයදානය
දෙන ලෙස ඉල්ලා සිටිනවාත් දැක්කා. මේ සියල්ල ගැන තවදුරටත් හිතලා ‘යහළුවේ, නුඹ බිය
වෙන්න එපා. සැප සේ යන තැනකට යන්න‘යි ඔහුගේ සිතෙහි උපන් බිය නැති කරලා සැප සේ ගමනට
යාමට අවස්ථාව ලබා දුන් බවත්, ව්‍යාඝ්‍රයාගේ ආයු කෙළවර දිව්‍ය සම්පත් ලබා ගත් බවත්
පැවසෙන රසවත් කතා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.
පින්වත්නි, ඒ නිසා ජීවත්වෙන හැම මොහොතෙහි ම තමන් පුද්ගලයන් ඇසුරු කිරීමේ දී යහපත්
අදහස් ඇති, ගුණදහම් වඩන, මිත්‍ර ගුණ තියෙන, ලාමක ගති නැති පුද්ගලයන් ම තෝරා ගන්න.
එතකොට කායික දුකක් හෝ මානසික දුකක් හෝ වාචසික පීඩාවක් හෝ ලැබෙන්නේ නෑ. පහත්, උසස්,
මැද පන්තිය ආදි වශයෙන් භේදයකින් තොරව හැමට මෛත්‍රීය වඩන්න. සත්පුරුෂ ගුණ ඔවුන් වෙත
මුදා හරින්න. එතකොට උපනූපන් ජාතියෙහි භවභෝග සම්පතුත්, අවසානයේ අජර වූ, අමර වූ
නිර්වාණ සම්පත්තියක් ලැබීමට හැකියාව ලැබෙනවා. |