සංසාරගත බන්ධනයෙන් මිදීමේ මාර්ගයට පිවිසෙන්න
හිඳව සෝභිත හිමි
සහස්සම්පි චෙ ගාථා - අත්ත්‍ථපදසංහිතා
එකං ගාථා පදං සෙය්‍යො -
යං සුත්වා උපස්මති තී,
පින්වතුනි
මේ සංසාරයේ සත්ත්වයා බැඳිලා ඉන්නේ, මේ සත්ත්වයාගේ බන්ධනය ගෙතිල තියෙන්නේ,
සිතිවිලිවලින්. ඒ නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් සිතිවිල්ලේ ස්වභාවය, සිතිවිල්ල
කොහොම ද කියන එක ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත යුතු ව තිබෙනවා.
ලෝකේ ඇතිතාක් දේ අපි හඳුනාගන්න උත්සාහ කරන්නේ සිතිවිල්ල මාර්ගයෙන්. නමුත් සිතිවිල්ල
හඳුනාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. අවිද්‍යාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී සංසාරයේ
දුවන සත්ත්වයාට සිතිවිල්ල ගැන හිතන්න, හඳුුනාගන්න පහසු නෑ. අන්න ඒ ටික පෙන්නුම්
කරලා දෙන්නයි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ නමක් ලොව පහළ වී වදාළේ.
පින්වතුනි, කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනය තිබුණ කාලයේ භික්ෂූන්
වහන්සේ හත් නමක් එකතුව ඔවුනොවුන් කතිකා කර ගත්තා, මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ
ශාසනය පරිහානියට පත්වෙන කාලයයි. එනිසා මේ හත් නම බොහොම සංවේගයෙන් මේ ශාසනය විනාශ
වෙන්න කලින් අපි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගන්න ජීවිත පරිත්‍යාගයෙන් උත්සාහ කරමු කියල
කතිකා කර ගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ චෛත්‍යයට වන්දනා කළා. අවසාන
වශයෙන් වනයට ඇතුළු වූ විට විශාල පර්වතයක්. ඊළඟට මේ පර්වතයට නඟින්න කලින් මේ හත්දෙනා
ම කතිකාවක් ඇති කර ගත්තා. දැන් ඉතින් ජීවිත ආශාව ඇති අය ඉන්නව නම් නවතින්න. ජීවිත
ආශාව අතහැර නිවන සඳහා උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න
කියලා.
ඔන්න ඉණිමඟක් බැඳ අර මහා පර්වතයට නැග්ගා. ඉණිමඟ පෙරළා දැම්මා. දැන් ඉතින් ගල උඩ මේ
ස්වාමින් වහන්සේ සංසාරයෙන් මිදීම සඳහා භාවනා කිරීමට පටන් ගත්තා. පසුදින පෙර පින මතු
කරමින් ප්‍රධාන භික්ෂූන් වහන්සේ අභිඥා සහිත ව සියලු කෙලෙස් නසා උතුම් වූ රහත්භාවයට
පත් වුණා. ඒ රහතන් වහන්සේ අහසින් පිණ්ඩපාතේ වැඩම කරල උතුරුකුරු දිවයිනේ යම්කිසි
දානයක් ලබා ගන්න පුළුවන් ස්ථානයකට වැඩම කළා. පිණ්ඩපාතය ගෙන අනෙක් භික්ෂූන් වහන්සේට
ආරාධනා කළා මේ පිණ්ඩපාත දානය වළඳන ලෙස. එවිට අනිත් භික්ෂූන් වහන්සේ කියනවා
ස්වාමීනි, අපි මෙන්න මේ විදියේ කතිකාවත් ඇති කර ගත්තේ නෑ නේද? යම්කිසි කෙනෙක්
මෙයින් රහත් වුණාට පස්සේ ඒ ගේන පිණ්ඩපාතේ අපි වළඳනවා කියලා.
නැත ඇවැත්නි,
එහෙම නම් ඉතින් ඔබ වහන්සේ වළඳන්න. අපි අපේ ශක්තියෙන් මාර්ග ඵලයකට උත්සාහ කර
ගන්නවා'යි දැඩි ව භාවනාව පටන් ගන්තා. දෙවැනි දවසේ තව භික්ෂූන් වහන්සේ නමක් අනාගාමි
තත්ත්වයට පත් වුණා. මේ ස්වාමින් වහන්සේත් පිණ්ඩපාතය රැගෙන ආරාධනා කළා දානය වළඳන්න.
එයත් ප්‍රතික්ෂේප කළා. අපි අපේ ශක්තියෙන් යම්කිසි පුළුවන් අවස්ථාවක් වුණොත්
පිණ්ඩපාතෙ ලබා ගන්නවා. අර පස්නම දැඩි ව භාවනාව පටන් ගත්තා. ඉතින් හත්දවසට පසුව ඒ
පස්නමගේ ශරීර වියැළී ගොස් ක්ලාන්තය පමණක් නොව මරණාන්තය දක්වා ම දැඩි සේ භාවනා කර ඒ
ගල උඩ ම මාර්ල ඵල නොලබා කාලක්‍රියා කළා.
පළමු රහතන් වහන්සේ පිරිනිවන් පෑවා. අනාගමී ස්වාමීන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා. .
අනිත් අය ගැනත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ පස් නම ම අන්තිමට ශරීරය වියළී යන තෙක් ම දැඩි
සේ භාවනා කර ගත් නිසා රැක ගත් සීලයේ බලයෙනුත් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබා මේ
බුද්ධෝත්පාද කාලයේ ඒ ඒ තැන්වල උත්පත්තිය ලැබුවා. ඒ, සභිය කියන පරිබ්‍රාජකයා ලෙසත්,
දබ්බමල්ලපුත්ත ලෙසත්.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ ව ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක්තරා
පිරිසක් දඹදිව ඈත ප්‍රදේශයක සිට මුහුදට පිටත්ව නැවකින් ගියා. නැව මුහුදේ දී කැඩී
සියලු දෙනා ම වගේ මුහුදුබත් වුණා. බාහිය කියන මනුෂ්‍යයෙක් පමණක් ලෑල්ලක් අල්ලාගෙන
පීනා අමාරුවෙන් සුප්පාරක පටුනට ගොඩ බැස්සා. මේ අවස්ථාව වන විට මේ මනුෂ්‍යයාට
වස්ත්‍රයකුත් නෑ. ගස්වල කොළ, පොතු සම්බන්ධ කර වස්ත්‍රයක් හදා ගත්තා. ඒ සුප්පාරක
පටුනේ ගම්වලට පිණ්ඩපාතේ ගියා. මේ බාහිය තැනැත්තාගේ ඇඳුම නිසා මනුෂ්‍යයන් මේ රහතන්
වහන්සේ නමක් කියා ලොකු ගෞරවයකින් පුද සත්කාර කළා. මේ තැනැත්තා හැඳින්වූයේ
‘බාහියදාරුචිරිය, කියන නමින්. දාරු චිරිය කියා කියන්නේ ගස්වල කොළ පොතු හදාගත්
වස්ත්‍රයක් ඇඳගෙන සිටින නිසයි. ඒ වගේ ම තාපසයෙක් ලෙස මේ තැනැත්තා කාලය ගත කළා.
මම සමහර විට රහත් කෙනෙක් වෙන්න ඇති කියා සිතිවිල්ල ඇති වෙනවත් සමඟ ඔහුගේ අතීතයේ
ඥාතී සම්බන්ධතාවක් ඇති දේවතාවෙක් ඉදිරිපත් ව කියා සිටියා බාහිය ඔබ රහත් කෙනෙක්
නෙවෙයි. රහත් මාර්ගයට පිළිපන් කෙනෙක් නොවෙයි.”
එහෙම නම් කවුද රහත් ව ඉන්නේ මේ ලෝකේ” කියා බාහිය ඇහුවා.
අන්න උතුරු දිශාවේ සැවැත්නුවර වැඩ සිටිනවා තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ.
උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ එක්ක ම බාහිය දාරුචිරියට විශාල ශ්‍රද්ධාවක්, ලොකු
ඕනෑකමක් ඇති වුණා බුදුපියාණන් වහන්සේ දකින්න.
මහා දුර මාර්ගයක් ඒ ඒ තැන්වල එක් රැයක් පමණක් නවතිමින් දීර්ඝ මාර්ගය ගෙවමින් මේ
තැනැත්තා ගියා බුදුරජාණන් වහන්සේ සොයා ගෙන.
දවසක් උදේ වරුවේ සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණියා. ඒ වෙලාව වන විට භික්ෂූන් වහන්සේ
එළිමහනේ සක්මන් කරමින් සිටියා. දුවගෙන ඇවිත් ඇසුවා, "භාග්‍යවත් අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ දකින්නටයි මම මේ තකහනියක් ආවේ."
භික්ෂූන් වහන්සේ ප්‍රකාශ කළා. ‘බාහිය, බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා කියලා.
බාහිය එතැනින් නැවතුණේ නැහැ. දුවගෙන ගියා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ
වඩිනවා දකින්නවත් එක්ක ම විශාල ශ්‍රද්ධාවක් ඇති වුණා. ඉතා ම ශාන්ත, ඒ උපශාන්ත
ඉන්ද්‍රියයන් ඇති බුදුරජාණන් වහන්සේ දුටු හැටියේ ම පා ළඟ වැඳ වැටුණා.
"අනේ භාග්‍යවතුන් වහන්ස, මට ධර්මය දේශනා කරන්න" කියා ඉල්ලා සිටියා. බුදුරජාණන්
වහන්සේ මොන හේතුවකින් නමුත් ප්‍රකාශ කරනවා. "බාහිය මේ ධර්මය ප්‍රකාශ කරන වෙලාව
නොවෙයි. අපි පිණ්ඩපාතය වඩින වෙලාව."
බාහිය නැවතත් ඇවිටිලි කරනවා. "භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ජීවිතය කොයි වෙලාවේ
නැති වෙයි ද? මගේ ජීවිතය කොයි වෙලාවේ නැති වෙයි ද? දන්නෙ නැහැ." දෙවැනි වරටත්, තුන්
වෙනි වරටත් ඇවිටිලි කළ විට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥාණයට පේනවා.
බාහිය තාපසයා උදේ වරුවේ ම මරණයට පත් වෙන බව. තථාගතයන් වහන්සේ බාහිය තාපසයාට කියනවා.
මෙන්න මේ විදියට හික්මෙන්න. ‘තස්මාහිය බාහිය එවං සික්ඛීතබ්බං, එසේ නම් බාහිය මෙන්න
මේ විදියට හික්මෙන්න.
“දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සතී - සුතෙ සුතමත්තං භවිස්සති. මුතෙ මුතමත්තං. භවිස්සති,
විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං භවිස්සති.
"දුටුවෙහි, දුටු පමණක් වන්නේ ය. ඇසුනෙහි, ඇසුණු පමණක් වන්නේ ය. විඤ්ඤාණ කියන්නේ
හිතට. මුත කියලා ගන්නේ හිතෙන් දැනගත් දෙයයි. දිවට, ඇසට, නාසයට, කනට, කයට දැනෙන
දැනීම විශේෂ දැනීමක්. එයට මුත කියලා කියනවා. දත් දෙය පිළිබඳ දැනගත් පමණක් වන්නේ ය.
බාහිය මෙන්න මේ විදියටයි හික්මෙන්න ඕනෑ. ඒ විදියට හික්මුණාට පස්සේ යම් අවස්ථාවක
බාහිය නුඹට ඇත්ත වශයෙන් ම දුටුවෙහි දුටු පමණක් ම වන්නේ ද? ඇසුනෙහි ඇසුණූ පමණක්
වන්නේ ද? දැනුනෙහි දැනුණ පමණක් වන්නේ ද? දැන ගත යුතුයෙහි දැනගත් පමණක් වන්නේ ද?
එවිට බාහිය, නුඹ එයින් නොවන්නෙහි ය. ඒ දුටු දෙයින්වත්, ඇසුණූ දෙයින්වත් ඔබ එය දෙයක්
හැටියට ගන්නේ නෑ. යම් අවස්ථාවක ඔබ ඒ විදියට එයින් කියලා ගන්නේ නැත්නම් ඔබ එහි
නොවන්නේ ය. ඒක ඇතුළට රිංගන්නෙ නෑ. එයට ඇතුළු නොවන්නෙහි ය. යම් අවස්ථාවක ඔබ එයින්
නොවන්නේ ද. ඒ අවස්ථාවේ ඔබ එහි නොවන්නේ ය. යම් අවස්ථාවක ඔබ එහි නොවන්නේ ද? ඒ
අවස්ථාවේ ඔබ මෙහිත් නැත. එහිත් නැත. මේ දෙක අතරත් නැත. මෙය ම දුකෙහි කෙළවරයි. නිවන්
දක්වා ම. අර්හත් ඵලය දක්වා ම එය කමටහන යි."
බුදුපියාණන් වහන්සේ බාහියට දුන් අවවාදයෙන් සියලු කෙලසුන් නසා උතුම් වූ රහත්භාවය ලබා
ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කර පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාත කර ගෙන වළඳලා
භික්ෂූන් වහන්සේ එක්ක ආපසු ඒ නගරයෙන් නික්මෙන අවස්ථාවේ දුටුවා පැටියෙක් සහිත නපුරු
එළදෙනක් ඇන මරණයට පත් වී ඇති ආකාරය.
බාහිය රහතන් වහන්සේ නමක් ලෙස බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. මේ රහතන් වහන්සේගේ
ශරීරය වැටී තිබෙනවා දුටු බුදුපියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කරනවා.
පින්වත් මහණෙනි මේ බාහියගේ ශරීරය. මේක ඇඳක් උඩ තබා ආදාහනය කර මේ ධාතුවලින් ස්තූපයක්
කරන්න කියලා.
භික්ෂූන් වහන්සේ වැඩ කටයුතු අවසන් කර පැමිණ අසා සිටියා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ
කළ ලෙස ම ඒ තැනැත්තාගේ ශරීරය අපි දවා ආවා. කොහේද ඒ තැනැත්තා උපන්නේ? කියා. ලොව්තුරා
බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි. බාහිය බොහොම පණ්ඩිතයි. බොහොම ඥානවන්තයි.
බොහොම ප්‍රඥාවන්තයි. මට වැඩියෙ කරදර කළේ නැහැ. බාහිය රහත් ව පිරිනිවන් පෑවා. ගස්වල
කොළ පොතුවලින් ශරීරය වසා ගත්තත්, රහත් වුණාට මොකද? ඒ වගේ මෙතෙන් දී බුදුරජාණන්
වහන්සේ "මේ මගේ ශාසනයේ, “ඛීප්පාභිඤ්ඤා කියලා කියන ඉතා ම ශීඝ්‍රයෙන් ධර්මය වටහා ගන්න
පුළුවන් අය අතරින්. බාහිය දාරුචිරිය රහතන් වහන්සේ තමයි අග්‍ර" කියා පෙන්වා දෙනවා.
දැන් මෙතැනදී භාග්‍යවතුන් වහන්සේ බාහියට දේශනා කළේ. දුටුවෙහි දුටු බවින් නවතින්න
කියලා. කියන්නේ මොකක් ද? දුටු බවෙහි ගිහිල්ලා පැටලෙනවා. දුටු දෙයට රැවටිලා කොයි
තරම් සංසාරයේ සත්ත්වයා දුකට පත් වෙනව ද? ඒක තුළින් ඇති කර ගන්න වැරැදී අවබෝධය,
වැරැදි සිතිවිලි මාර්ගය නිසා රෑ දවල් නැතුව දුටු දර්ශනයෙන් ආශ්‍රයෙන් කෙනෙක් මුළු
ජීවිතය ම කැප කරලා. පරිත්‍යාග කරලා මුළාවට පත්වෙනවා. නමුත් නියම තත්ත්වය තේරුම්
ගන්නේ නැහැ. අපි හිතමු යම්කිසි කෙනකුට, ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ තමන් පි‍්‍රය
කරන පුද්ගලයකුගේ දර්ශනයක් දකින්න ලැබෙනවා. මේක තුළින් ඇති කර ගන්න සිතිවිල්ල තුළ ඒ
තැනැත්තා නිදිමරා ගෙන හෝ අනිත් අයවත් මරාගෙන හෝ ඒ තැනැත්තා හෝ තැනැත්තිය හෝ ලබා
ගන්න උත්සාහ කරලා අන්තිමට අපාගාමි වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර දුටුවෙහි
දුටුමතින් නතර වුණේ නැති නිසයි. චක්ඛු, සෝත, ජිව්හා, කාය , මන, ඝාණ මේ ආයතන හය
මිරිඟුවට නොරැවටෙන ස්වභාවයක් හිතේ ඇති කර ගන්නවා. ලෝ සම්මුතිය වශයෙන් අපි මේ දකින
ඇහෙන ආදී දේ පිළිබඳ එදිනෙදා කටයුතු සඳහා ව්‍යවහාර කරන්න වෙන දේ කියලා. නමුත්
ප්‍රඥාවෙන් විනිවිද දකින්න ඕනෑ. සමථ, විදර්ශනා වශයෙන් ඒ සියලු ම ශක්තීන් තමන්ගේ
චිත්තශක්තීන් දියුණු කර ගෙන හැකිතාක් ඉක්මනින්. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි,
ප්‍රඥා ආදි ඉන්ද්‍රිය ධර්මය, බලධර්ම තවදුරටත් දියුණුූ කර ගෙන මේ ජීවිතය තුළ දී ම
සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගඵල ප්‍රතිවේධයෙන් මේ අති භයානක
සංසාරයෙන් අත්මිදී සිතිවිලි බන්ධනයෙන් මිදිී, අමා මහ නිවනින් සැනසීමට ශක්තිය, බලය
ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. |