ධර්මය වටහා ගන්න
තමන් ගැන තේරුම් ගන්න
ඉපදුණ දවසේ සිට අප මේ ශරීරය රැක ගන්න උත්සාහ කරනවා. ඒ ගැන ඉගෙන ගන්නවා. අප මිය යන
තුරු ඉගෙන ගත්තත් එය ඉවරයක් කරන්නට බැහැ. ඒ වගේ ම මේ කය ආරක්ෂා කර ගන්නත් බැහැ.
පියවරෙන් පියවර වෙනස් වෙමින් ගොස් අවසානයේ මහ පොළොවට පස්වෙලා යනවා. ජීවිතය පරාජය
වෙනවා.
එහෙත් යම් කිසි කෙනෙක් තමන්ගේ සිත රැක ගන්නේ නම්, අන්න ඒ පුද්ගලයා මේ ජීවිතයේ දී
දිනුම්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඉගෙන ගත යුත්තේ මේ නොමඟ යන සිත, පිරිහිලා
යන සිත රැක ගන්න ආකාරයයි. දියුණුූ කර ගත යුතු ආකාරය යි. අප මහන්සි ගත යුත්තේත් මේ
සිත රැක ගන්නයි.
ශ්‍රී සද්ධර්මයෙහි ප්‍රයෝජන ලබන්නේ තමන්ගේ ජීවිතයේ වටිනාකම දන්නා පුද්ගලයා යි.
බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කළේ ප්‍රඥාවන්තයින්ටයි. සංසාරේ බිය දකින
අයටයි. ඒ වගේම දුක දකින අයටයි.
ඒ අයටයි මේ ධර්මයේ ඵල ප්‍රයෝජන ඇත්තේ. මොකක් ද සංසාරේ කියා කියන්නේ, ඉපදෙමින්
මැරෙමින්, නැවතත් ඉපදෙමින් යන නොනවතින ගමනට. එසේ ගමන් කළාට කමක් නැහැ. අපි මේ
මනුෂ්‍ය ලෝකයේ ම පමණක් ඉපදෙනවා නම්, එහෙම වෙන්නේ නැහැනේ. මේ ජීවිතයේ අපි කතා කරන
ආකාරයට, මේ ජීවිතයේ අපි හිතන ආකාරයට, මේ ජීවිතය තුළ අපේ කය පරිහරණය කරන ආකාරයට අපිට
කර්ම රැස්වෙනවා. අන්න ඒ කර්ම රැස් වූ ආකාරයට, ඒ කර්මය විපාක දෙන්න අවශ්‍ය ආකාරයට
අපිට උප්පත්තියක් ලැබෙනවා.
මේ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා, මේ ලෝක සත්වයන් සියලු දෙනාම කර්මය
තමාගේ දෙය කරගෙනයි සිටින්නේ. කර්මය දෑවැද්ද කරගෙනයි සිටින්නේ. කර්මය උප්පත්ති
ස්ථානය කරගෙනයි සිටින්නේ. කර්මය ඥාතියා කරගෙනයි සිටින්නේ. කර්මය ම පිළිසරණ කරගෙනයි
සිටින්නේ.
යම් කිසි වෙලාවක හොඳ දෙයක් හරි, නරක දෙයක් හරි කළොත් එහි විපාකය දායාද වශයෙන් අප
පිටුපසින් එනවා.
එහෙම නම් අපි මේ ගත කරන මිනිස් ජීවිතය තුළ අපි හිතන, කතා කරන ආකාරය, කය පරිහරණය කරන
ආකාරය අනුව අපට විපාක දෙන්න කර්ම සකස් වෙනවා. අන්න ඒ කර්ම සකස් වූ ආකාරයටයි. අපි
යම් කිසි ස්ථානයක උප්පත්තිය ලබන්නේ, මෙසේ මේ සසරෙහි බය දකින පුද්ගලයාට බුදුරජාණන්
වහන්සේ දේශනා කළ ධර්මය ඉතා වටිනවා.
තමන්ගේ සිත, කය, වචනය, යහපත් ආකාරයට පරිහරණය කරන පුද්ගලයාට කුසල විපාක ලැබෙන ආකාරයට
කර්ම සකස් වෙනවා. කුසල විපාක නම් සැප විපාක විඳින්න හැකි ස්ථානවල උපතක් සකස්වීමයි.
ඒ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ ලෝක සැප සහගතයි. ඒ ආකාරයට තමන්ගේ සිත,
කය, වචනය පරිහරණය කරන්නේ නම් මේ ලෝකවල උප්පත්ති ලබනවා.
ඒ වගේ ම යම්කිසි පුද්ගලයෙක් අයහපත් ආකාරයට තමන්ගේ වචනය, තමන්ගේ කය, තමන්ගේ සිත
පරිහරණය කරන්නේ නම්, ඔහුට දුක් සහිත තැනක, අයහපත් තැනක, කටුක වූ තැනක උප්පත්තියක්
ලබන්නට සිදු වෙනවා. ඒ සතර අපාය.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ දෙපළෙහි අප නතර නොකොට ඊට එහාට කැඳවාගෙන යනවා. මේ
දෙපළෙහි ම උප්පත්ති ලබන්නේ නැති ආකාරය කුමක් ද? එය කියා දෙනවා. ඒ කියන්නේ කුසල
විපාකය පිණිස කර්ම සකස්වීම නවත්වන්නත්, අකුසල විපාකය විඳින්න කර්ම සකස්වීමත් නවත්වන
ආකාරයයි. අන්න ඒ ක්‍රමය පවතින්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළයි. ඒ මධ්‍යම
ප්‍රතිපදාවයි.
මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් චක්ඛුකරණී දහම් ඇස ලබා දෙනවා. ඤාණකරණී නුවණ උදා කරනවා.
උපසමාය සංසිඳීමක් ඇති කරනවා. අභිඤ්ඤාය විශේෂ ඤාණයක් උපදවා දෙනවා. ප්‍රඥාවක් උපදවා
දෙනවා.
යම් කිසි පුද්ගලයෙක් මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්මා දිට්ඨි,
සම්මා සංකප්පප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති,
සම්මා සමාධි නම් වූ අංග අට ප්‍රගුණ කරන්න. එසේ ප්‍රගුණ කිරීමෙන් අවබෝධ කළ යුත්තේ
දුකයි. ඒ වගේම දුක හට ගැනීම ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය නම් නැති කිරීමයි. ‘දුකේ
නැතිවීම සාක්ෂාත් කළ යුතුයි. ඒ තමන්ගේ අත්දැකීමක් බවට පත්කර ගෙන මාර්ග ප්‍රගුණ කළ
යුතුයි.
මේ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කිසි පුද්ගලයෙක් ඉගෙන ගන්නා විට පළමුව වැටහෙන්නේ තමන්
ගැන වගේ ම මේ ධර්මය අවබෝධ වන විට අවබෝධ වෙන්නේ තමන් ගැන. මේ නිසා මේ උතුම් ධර්මය
ඕනෑම පුද්ගලයකුට අවබෝධ කළ හැකියි. වයස් භේදයක් නැහැ. තමන් ගැන වැටහෙනවා නම් ධර්මය
වැටහෙනවා. අන්න ඒ නිසා හැමදෙනා ම උත්සාහවත් විය යුත්තේ හිස ගිනි ගත් කෙනෙක් ඒ ගින්න
නිවන්න උත්සාහ ගන්නාක් මෙන් තමන් ගැන අවබෝධ කර ගන්නයි.
දීපා පෙරේරා |