ඉල් පුර අටවක පෝදා 2023-11-20
වැඩ අවැඩ දැන ජීවත්වන්න
පෙර, සැවැත් නුවරට නුදුරුව කෝක නම් වැද්දෙක් විය. දහවල සිය සුනඛ රැලත් සමඟ වනයට යන
ඔහු සතුන් දඩයම් කරයි. ඒ නිසා ම කෝක නම් සුනඛ වැද්දා යන නමින් ද හැඳින්විණි.
සුපුරුදු ලෙස ඔහු දිනක් දුනු හී ගෙන සිය සුනඛයන් ද සමඟ දඩයමේ යෑම සඳහා පිටත් වුණි.
යන මඟ ඉදිරියට වඩින්නේ පිණ්ඩපාතයේ වැඩම කරන ස්වාමීන් වහන්සේ නමකි. වැද්දාගේ සිතට
දැනුණේ අප්‍රසන්න බවෙකි. කළකිරුණු සිතින් දඩයමට ගියත් එදින ඔහුට කිසිදු සතෙක් දඩයම්
කර ගත නොහැකි වුණි. හිස් අතින් ආපසු නිවෙස බලා එන වැද්දාට ඒ මඟ දී ද මහ මඟ වඩින
ස්වාමීන් වහන්සේ මුණ ගැසුණි. අද උදෑසන මොහු දැක ගිය නිසා ගව රෝමයකදු නොලදිමි. දැන්
රෑ බෝ වී ගෙට ගිය කල ගෙදර බතත් නැති වේ යැයි තරහින් දැවෙන්නට වූයේ ය.
ස්වාමීන් වහන්සේ සපා කනු පිණිස සිය සුනඛ රැල උසි ගන්වා උන්වහන්සේ දෙසට එළවා දැමීමට
තරම් වැද්දාගේ සිතිවිලි වෛරයෙන්, කෝපයෙන් දැවුණි. තමන් වහන්සේ වෙත දිව එන සුනඛයන්
දුටු භික්ෂූන් වහන්සේ බිය පත්ව විගසින් ගසකට නැඟ ගත්හ. බඹයක් පමණ තැන අතු පතර සිට
ගත්හ. සුනඛ රැල ගස වටකරමින් බුරන්නට විය. වැද්දා ද සිය හීවලින් ස්වාමීන් වහන්සේගේ
යටිපත්ලට පහර දෙන්නට විය. තෙරුන් වහන්සේගේ සිරුර ගිනි ගත්තාක් මෙන් වේදනා දෙන්නට
විය. උන්වහන්සේ වැද්දාගේ හී පහරින් බේරෙන්නට තැත් කරද්දී පොරවාගෙන සිටි චීවරය
ගිලිහී ගියේ ගස යට හුන් වැද්දාගේ සිරුර වැසී යන ලෙසිනි. ගස උඩ සිටි ස්වාමීන් වහන්සේ
බිමට වැටුණා යැයි සිතූ සුනඛ රැල වහා වැද්දා වට කොට ගත්හ. සිය ස්වාමියා සපා කා මරා
දැමූහ. වහා ගසින් බට තෙරුන් වහන්සේ දණ්ඩක් ගෙන උන් පළවා හැරියහ.
වැද්දාගේ මරණයට තමන් වහන්සේගේ චීරවය ගිලිහී වැටීම හේතු වන්නට ඇතැයි සැක සිතූ තෙරුන්
වහන්සේ, තමන් වහන්සේ පැවිදි වූ දා සිට රැකගත් සීලයට ඒ මරණයෙන් අවැඩක් වූයේ දැයි
දොම්නස් විය. බුදුරජාණන් වහන්සේ හමුවී මේ සිදුවීම පවසා උන්වහන්සේ සැක දුරු කර ගත්හ.
එම සිදුවීම නිමිති කර ගනිමින් යම් කෙනෙක් දොස් නැති, පිරිසුදු, කෙලෙස් නැති
පුද්ගලයකුට යම් වරදක් කරයි නම් ඒ පාපය උඩු සුළඟට දැමූ සියුම් දුහුවිලි සේ ඒ අනුවණ
පුද්ගලයා වෙත ම පෙරළා පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනංගණස්ස
යන ගාථා ධර්මයෙන් අර්ථවත් කළේ එයයි.
ඉහත දැක් වූ කෝක නම් සුනඛ වැද්දා හා සමාන ගති ඇති අය අද සමාජයේ ද වෙති. තමන්
කරන්නට, කියන්නට යන කටයුතු අසාර්ථක වූ කල එය වෙනත් අය පිට පවරමින් තමන්ගේ කෝප සහගත
සිතිවිලි මුදා හැරීම නිසා තමන් සේ ම අනුන්ට ද අවැඩ සාදා දෙති. මෙහි දී අප වටහා ගත
යුතු දෙයක් තිබේ. තමන්ට යම් දයක් හිමි වන්නේ හෝ හිමි කර ගත හැකි වන්නේ හෝ තමන්ගේ
ශක්‍යතාව අනුව බව ය. එසේත් නැතිනම් තමන් කළ කම් අනුව බව ය.
නොලැබීම ගැන අනුන්ට දොස් පැවරීමෙන් හෝ අනුන් විපතේ හෙළීමෙන් සිදු වන්නේ තමන්
තවදුරටත් අඳුරු ආගාධයකට වැටීම ය. විනාශයට පත් වීමය. විශේෂයෙන් නිදොස් පුද්ගලයන්ට
දොස් කීමේ, විපත් සිදුකිරීමේ පාප කර්මය ඉතා බලවත් ය. දුක් වේදනා විඳින්නට සිදු
වන්නකි. නිදොස් පුද්ගලයා නම් තමන්ටත්, අනුන්ටත් අර්ථයක් ම සිදු කරන්නා ය. අවැඩක්
නොකරන්නා ය. මෙම ගාථා ධර්මයට අනුව ‘සුද්ධස්ස නම් පිරිසුදු පුද්ගලයා ය. යම්
පුද්ගලයෙක් කරන කියන දේ, සිතන පතන දේ යහපත් නම් ඔහු පිරිසුදු පුද්ගලයෙකි. එවැන්නකුට
යම් කෙනෙක් නිකරුණේ විපත් පමුණුවන්නේ නම් ඔහුගේ විනාශය ද නුදුරේ ම ය.
බෞද්ධයන් ලෙස අප උත්සාහ ගත යුතු එවැනි නිදොස්, පිරිසුදු පුද්ගලයන් වීමට ය. එවිට
තමන්ගෙන් තමන්ට හෝ අනුන්ට හෝ අනර්ථයක්, ඇවැඩක් නොවන්නේ ය. |