[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කොග්ගල හබරාදුව ගුණදස්සී අරමට සෑ රදුන් වහන්සේ නමක් ඉදි වූ වගයි

කොග්ගල හබරාදුව ගුණදස්සී අරමට සෑ රදුන් වහන්සේ නමක් ඉදි වූ වගයි

පොහොර ගබඩාව පන්සල, ජිනරතනාරාමය මෙන්ම වරෙක වැල්ලේ පන්සල යනාදී නේක නම්වලින් අප විහාරස්ථානය එකල ගම්වාසීන් අතර ප්‍රචළිත ය.

ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ගුණදර්ශනාරාම ආරාමය දෙවැනි ලෝක යුද්ධය නිසා ද බලපෑමට ලක් වූ අතර, එකල ආණ්ඩුවේ නියෝග මත වැඩසිටි භික්ෂූන් වහන්සේලාට ද ඉවත්වන්නට සිදු විය. එහෙත් නැවතත් මෙම විහාරස්ථානය නගාසිටුවීමට මූලික අඩිතාලම සකසන ලද්දේ තලාතුඩුව ආරණ්‍ය සේනාසනාධිපති අපගේ ගුරු දේවෝත්තම දොරපේ ඉන්ද්‍රසෝභන මහ ස්ථවිරයාණෝ ය.

මෙලෙස විවිධ බාධක කම්කටොලු මධ්‍යයේ ගොඩනැඟුණු අප විහාරස්ථාන භූමියට ස්වර්ණමය යුගයක් උදා වූයේ 2012 දී තෝමස් අමරසූරිය පිරිවෙනෙහි පරිවේණාධිපති ශාස්ත්‍රපති කුඹල්වෙල ඉන්ද්‍රසාර නාහිමියන් වැඩමවීමත් සමඟයි.


විහාරාධිකාරී ශාස්ත්‍රපති කුඹල්වෙල ඉන්ද්‍රසාර නාහිමි

උන්වහන්සේගේ නොපසුබට උත්සාහයෙන් මෙන්ම කැපවීමෙන්, නේක වූ අනුශාසනා මධ්‍යයේ ගම්වාසීන්ගේ ද දායකත්වය මත අංග සම්පූර්ණ විහාරයක් බවට පරිවර්තනය කිරීම ආරම්භ විය. ඒ අනුව කාලයාගේ ඇවෑමෙන් ඉන්ද්‍රසාර හිමිගේ අනුදැනුම යටතේ, විහාර මන්දිරය, ධර්ම ශාලාව, සංඝාවාස ගොඩනැඟිල්ල, ඝණ්ඨාර කුලුන, මකර තොරණ, දේවාල මන්දිර සහ බෝධි ප්‍රාකාරය යනාදි සියලු අංග ජනතාවගේ වැඳුම් පිදුම් කටයුතු උදෙසා අභිනවයෙන් ඉදි විය.

තවද ගම්වාසි දරුවන් වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලැබීම උදෙසා ගුණදර්ශනාරාම දහම් පාසලෙහි දොරටු නැවත විවර කරලීමට කැපවීමෙන් කටයුතු කරන්නේ ද අප නායක හිමිපාණන් වහන්සේ විසින්ම ය.

විහාරස්ථානයක පැවැතිය යුතුම අංගයක් ලෙස ශාරීරික, පාරිභෝගික හා උද්දේසික චෛත්‍යය හඳුන්වා දිය හැකිය. ඒ අනුව ගුණදස්සී අරමෙහි චිරස්ථිතිය තකා තවදුරටත් කටයුතු කරමින්, උද්දේසික චෛත්‍ය නිමැවීමේ උතුම් වූ ක්‍රියවලිය සඳහා ද ඉන්ද්‍රසාර අප නාහිමිපාණෝ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළහ. ඒ අනුව වර්ෂ 2013 වෙසක් මස 11 වැනිදා සෑරදුන් නිමවීමට මුල්ගල තබමින් එහි වැඩකටයුතුවල සමාරම්භක අවස්ථාව සනිටුහන් කරන ලදී. විවිධ දායක, උපාසක උපාසිකා පින්වතුන්ගේ මූල්‍යමය දායකත්වයන් මත සෑරදුන්ගේ සියලු වැඩ නිමවා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව සැදැහැවතුන්ගේ වන්දනීය පූජාවන්ට ඉඩ සලසා දෙමින් 2022 නොවැම්බර් මස විවෘත කරන ලදී.

අප විහාරස්ථානයේ ඉදිවූ සෑරදුන්ගේ සුවිශේෂත්වය වන්නේ ආසනයක් මත පිහිටුවා තිබීමයි. එය වටා ප්‍රදක්ෂිණා පථයක් ඇති අතර, නෙළුම් මල් ඔබ්බවා කැටයම් කළ ආරක්ෂක වළාකුලු බැම්මක් සහිත තාප්පයකින් වටවී තිබේ. එලෙසම සැදැහැවත් බෞද්ධ පින්වතුන්ගේ ශ්‍රද්ධාමය පී‍්‍රතිය ජනිත කරවමින් චෛත්‍යය වටා ශිලාමය බුද්ධ ප්‍රතිමා සතරක් සිව් දිශාවන්ට මුහුණලා මල් ආසන මත පිහිටුවා ඉදිකොට ඇත. එලෙසම සෑරදුන් ඇතුළත බුදු සසුනේ චිරස්තිථිය උදෙසා කටයුතු කළ ආනන්ද මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, බක්කුල ඇතුළු රහතන් වහන්සේ සය නමකගේ සිතුවම් නිරූපිතය.

අප විහාරස්ථානයේ ශාසන අභිවෘද්ධිය තකා දායක පින්වතුන් නොමදව බැඳෙමින් කටයුතු කරයි. ඒ බව තව තවත් පසක් කරලමින් මෙම වසරේ උතුම් වූ තෙමඟුල සිදුවූ වෙසක් පුර පසළොස්වක පෝදා රාහුල මාතා මහරහත් තෙරණියගේ ප්‍රතිමාව ද අභිනවයෙන් ඉදිකොට පූජා විය.

අප මහා බෝසතාණන් වහන්සේ පාරමී දම් පුරා සම්බුදු පදවිය ළඟා කරගනු වස් භවයෙන් භවය පෙරුම් පුරනා කල උතුම් පති දම් රකිමින් සසර පුරාවට පාදපරිචාරිකාව වී සිටි යශෝධරා මහරහත් තෙරණිය වන්දනා කර ගැනීමේ වාසනාව එසේ උදාවිය.

මෙලෙස ගුණදර්ශනාරාම විහාරස්ථානයේ ශාසනික උන්නතිය වෙනුවෙන් ම නිරන්තරයෙන් ඇප කැප වී සිටින අප නායක ස්වාමීන් වහන්සේහට දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරන අතර, ගම්වාසි සියලු උපාසක උපාසිකාවන් හටත් සෙත් ප්‍රාර්ථනා කරමු.

පොසොන් පුර අටවක

මැයි 27 සෙනසුරාදා පූ.භා.
07.44 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ.
27 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

Second Quarterඅව අටවක

ජුනි 10

Full Moonඅමාවක

ජුනි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]