[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහලමුල්ල අතුරලිය විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

ඉල් අමාවක පෝය

  නොවැම්බර් 23 බදාදා
පූ.භා. 06.54 අමාවක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 04.28 ගෙවේ.
23 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුව සැදැහැවතුන්ගේ පහසුව පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය මත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බව කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියෝ ප්‍රකාශ කරති. බුදුන් වහන්සේගේ පා පහස ලද ඓතිහාසික කිරිවෙහෙර සෑ මළුව වසර 2800 කට වඩා පැරැණි ප්‍රෞඬ ඉතිහාසයක් ඇති පූජනීය සිද්ධස්ථානයකි. රජ සමයෙන් පසුව බොහෝ කාලයක් ඝන කැලෑවෙන් වැසී තිබී මීට වසර 60කට පමණ පෙර නැවත කිරිවෙහෙර චෛත්‍යය හා එහි මළුව ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බව විහාර ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි ධම්මින්ද නාහිමියෝ කියති. දහස් සංඛ්‍යාත බැතිමතුන් සෑම පොහෝ දිනකම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යය මළුවේ පෙහෙවස් සමාදන් වේ. චෛත්‍යය මළුවේ ප්‍රධාන වාහල්කඩ ඇති ප්‍රදේශයේ විවිධ හැඩැති පැතලි ගල් අතුරා ඇතත් බටහිර දෙසින් චෛත්‍යය මළුව සිමෙන්ති බදාම යොදා සකස් කර තිබී ඇති අතර ඒවා දිරාපත් වී කුහර සෑදි, පොළොවේ මතුපිට වළවල් සෑදි වර්ෂා දිනවලට වතුර පිරෙන තත්ත්වයක් පවතී. එයින් සැදැහැවතුන්ට කරදර බව විහාරාධිපති නාහිමියන් පෙන්වා දීමෙන් පසු මෙම සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උගත්කම බබළන්නේ ගුණදහම් වැඩි තරමටයි

පුද්ගලයකුගේ දියුණුව ක්‍රම දෙකකින් මනින්නට පුළුවන්. ඒ තමයි ආධ්‍යාත්මික දියුණුව හා බාහිර දියුණුව. බාහිර දියුණුව කියන්නේ ධන ධාන්‍ය වතුපිටි උපයා සපයාගෙන, හරි හම්බ කරගෙන, යාන වාහන අරගෙනන, සුඛෝපභෝගී ලෙස ජීවත් වීමයි. ඒත් ආධ්‍යාත්මික දියුණුව මීට වඩා වෙනස්. මනුෂ්‍යයකු තුළ ගුණ ධර්ම වැඩිවෙන තරමට ඔහු තුළ ආධ්‍යාත්මික දියුණුවත් පවතිනවා. මේ දෙයාකාර දියුණුව කෙනෙක් තුළ ඇත්නම් අපට පුළුවන් ඔහු නියම සාර්ථක ජීවිතයක් ගත කරනවා කියන්න. ආධ්‍යාත්මික දියුණුවේ උපරිම අවස්ථාව විමුක්තිය අවබෝධ කර ගැනීමයි. ඉතින් අද අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙලොව මෙන් ම පරලොව ජීවිතයත් දියුණු කර ගන්න පුළුවන් කරුණු ගැන කතා කරමු. පින්වතුනි,බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළ කාලේ එක්තරා බමුණෙක් හිටියා අත්තස් සද්වාර කියලා. ඒ බමුණාට හිටියා එක පුතෙක්. එක දවසක් මේ බමුණු පුතා තම පියාගෙන් ඇහුවා “තාත්තේ, මට දියුණුවන්න ඕනෑ. ඒකට උපදෙස් දෙන්න” කියලා. මේ වැනි ප්‍රශ්නයක් ඉතා ම කලාතුරකින් විශේෂයෙන් පුතෙක් තාත්තා කෙනෙක්ගෙන් අහන්නේ. ඒ නිසා බමුණා කල්පනා කළා මගේ පුතා අසන ප්‍රශ්නය ඉතා ම වටිනවා. එනිසා මෙයට පිළිතුරු දීමට මට වඩා සුදුසු උත්තමයෙක් සිටිනවා කියලා පුතත් සමඟ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් “ස්වාමීනි, මගේ පුතා දියුණුවීමට කරුණු අහනවා. අපට අනුකම්පා කර කියා දෙන්න” කියා ගෞරවයෙන් ආරාධනා කර සිටියා. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ දියුණුවීමට අවශ්‍ය කරුණු 6ක් දේශනා කළා.

ගෞරවය රැකෙන ලෙස දරුවන් හසුරුවන්න

පවුල් සංස්ථාවේ උසස්ම සම්බන්ධය මව්පිය දූදරු සම්බන්ධයයි. එය යුතුකමක්, වගකීමක්, අයිතිවාසිකමක් වශයෙන් එකිනෙකට බැඳී පවතී. මවුපියන්ට සැලකීම දරුවන්ගේ යුතුකමක්, වගකීමක් වන අතර, එය ලබා ගැනීමට අයිතියක් මවුපියන්ට ඇත. දරුවන්ට සැලකීම මවුපියන්ගේ යුතුකමක්, වගකීමක් වන අතර, දරුවන්ට එය ලබා ගැනීමට අයිතියක් ඇත. දරුවන්ගේ අවශ්‍යතා කුඩා කාලයේ සිටම සපුරන්නේ මවුපියන් විසිනි. දරුවන්ට ඒවා දීමට අසල්වාසින් බැඳී නොසිටින බැවින් අසල්වාසීන්ගෙන් ඒවා ඉල්ලීමට ද නොහැකි ය. මව්පියන්ගෙන් ම ඉල්ලන අතර, ඔවුන්ම එය සපුරාලිය යුතු ය. එසේ වන්නේ ඒ සඳහා යුතුකම් අයිතිවාසිකම් හා වගකීම්වලින් ඒ දෙපක්ෂයට පැන යා නොහැකි අන්දමින් ඔවුනොවුන් බැඳී පවතින නිසා ය. දස මාසයක් කුස දරා, ලේ කිරි කර පොවන අම්මාත්, සියලු දුක සැප සොයා බලමින් අවශ්‍යතා සපුරාලමින් වර්ධනය කරන තාත්තාත් හැර උතුම් වස්තූන් දෙකක් දරුවන්ට ලොව නැත. දරුවන් වෙනුවෙන් මවුපියන් තුළ ඇතිවන ආදර සෙනෙහස තරම් බන්ධනයක් තවත් නැත. ගත පුරා දිවයන රක්ත වර්ණ රුධිරය සුදුවන් කිරට හැරෙන්නේ ඒ නිසා ය. තමා නොකා නොබී, සියලු සැප පහසුකම් තම දරුවාගේ පා දූවිල්ලක් බවට පත්කොට දිවි නොතකා දරුවන් ආදරයෙන් සොයා බලමින් හදා වඩා ගන්නේ දරු සෙනෙහස නිසාම ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මුල්වරට බුදු බව පැතුවේ සිය මව නිසා ය. නැඟී ගිය නැව විනාශ වූ තැන ලෑල්ලක් මත නැඟුණු මහ බෝසතාණන් වහන්සේ මව කරපිට තබාගෙන ගොඩබිමක්, තෙරක් නොපෙනෙන මහ සයුරේ දින හතක් නිරාහාරව පිහිනූ බව මාතුපෝසක ජාතක කථාවේ දැක්වේ.

දහම විවරණය කෙරෙන ධර්ම චක්‍රය

ධර්ම චක්‍රය යනු සමස්ත බුදු දහමේ සංකේතය යි. බෞද්ධයාගේ උතුම් සංකේතය ද ධර්ම චක්‍රය යි. එය නිවැරැදිව භාවිත කිරීම ධර්මයට කරන ගෞරවයක් ද වෙනවා. මෙකල බොහෝ ස්ථානවල ඇති ධර්ම චක්‍රය නිවැරැදි ධර්ම චක්‍රය නොවෙයි. චක්‍රයක් නම් රෝදයක් විය යුතුයි. එහි කොටස් එළියට විහිදෙන ආකාරයට තිබීම නිවැරැදි නොවේ. නිවැරැදි ධර්ම චක්‍රය ලෙස දකින්නට තිබෙන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන අශෝකස්ථම්භයන් හි ඇති සිංහ ලාංඤ්චනය සමඟ තිබෙන ධර්ම චක්‍රය යි. එහි ගරාදි විසි හතරකි. චතුරාර්ය සත්‍යයේ කාරණා විසි හතර සංකේතවත් කරයි. ජාති,ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, අප්පියෙහි සම්පයෝග දුක්ඛ, පියේහි විප්පයෝග දුක්ඛ, සම්පච්ඡය න ලභති තම්පි දුක්ඛං, සඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා යන දුක්ඛ සත්‍යයට අයත් දුක් දොළසත්, සමුදය සත්‍යයට අයත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තණ්හා තුනක්, නිරෝධ සත්‍යයට අයත් නිවනත්, මාර්ග සත්‍යයට අයත් ආර්ය අෂ්ඨාංගික මාර්ගවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අටත් යන කරුණු විසි හතර ධර්ම චක්‍රයේ ගරාදි විසි හතරෙන් සංකේතවත් වේ.

ඉල් අමාවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]