[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පල්ලත්තර ජිනානන්ද නා හිමිපාණන් වහන්සේ

අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබන පල්ලත්තර ජිනානන්ද නා හිමිපාණන් වහන්සේ

කළුතර දකුණ අල්විස්වත්ත,ශී‍්‍ර නිකේතාරාම විහාරාධිපති පල්ලත්තර ජිනානන්ද නා හිමියන්,කළුතර දිස්ත්‍රික්කයේ සහ පස් යොදුන් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සමග “සද්ධර්ම කීර්ති ශී‍්‍ර ඉන්ද්‍රජෝති“ යන ගෞරව නාමයෙන් පසු ගිය 15 වැනි දින, ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අති ගරු මහා නායක, තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ වෙතින් පිදුම් ලැබු අතර, උන් වහන්සේ පිළිගෙන උපහාර පිදීමේ පුණ්‍ය මහෝත්සවය ජුලි 17වැනි ඉරිදා කළුතර ඓතිහාසික බෝධි භාරකාර මණ්ඩලයේ ධර්ම ශාලාවේ දී ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි පල්ලත්තර නම් වූ සුන්දර ගම් පියසෙහි,පත්තිනිගෙවත්ත නම් නිවෙසෙහි දී,1950 සැප්තැම්බර් 06වැනි දින,පටබැඳී පතිරනගේ දියෝනිස් හා හේවා අත්ගමගේ ලැන්සිහාමි යන මව්පියන්ට දාව, පටබැඳී පතිරන යන නමින් ජන්ම ලාභය ලැබුවේ ය.

සහෝදර සහෝදරියන් එකොළොස් දෙනකුගේ පවුලක පස්වැනියා වූ මේ පින්වත් කුමරුවා පල්ලත්තර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ,සසර පෙර කරන ලද කුසල කර්මයක ප්‍රතිඵලයක බල මහිමයෙන් කුඩා කල සිටම පැවිදි වීමට දැක්වූ ආශාව නිසා,ඕකේවෙල පුරාණ විහාරාධිපති පූජ්‍ය ගැටමාන්නේ ඉන්ද්‍රජෝති නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1966/09/02 වැනි දින පල්ලත්තර ජිනානන්ද නමින් සාමණේර හිමි නමක් බවට උතුම් වූ සසුන් ගත වූහ.

කුඩා සාමණේරයන් වහන්සේ නමක් වුව ද,විහාරස්ථානයේ දී උගත යුතු සියලු බණ දහම් සපුරා,මූලික අධ්‍යාපනය සඳහා බෙලිඅත්ත හාල්පන්දෙණිය ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථ ශී‍්‍ර සරණපාල පිරිවෙන හා කළුතර වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනෙන් ද ඉන්පසුව පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙන වෙතින් ද ලබා ගෙන උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

එහිදී ගෞරව ශාස්ත්‍රවේදී උපාධියක් හිමි කර ගත් අප කථා නායක හිමියෝ රත්මලාන පරමධම්මචේතිය ගුරු අභ්‍යාස විද්‍යාලයේ ප්‍රවීණාචාර්ය උපාධිය ද මාලිගාකන්ද විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ගත්හ.

උක්ත පිරිවෙන් අධ්‍යාපනය ද විශ්ව විද්‍යාලය මඟින් ද ප්‍රාමාණික අධ්‍යාපනයක් ලබා සිටි පල්ලත්තර ජිනානන්ද පොඩි හාමුදුරුවෝ,1971 ජුනි 31 වැනි දින,රාජ පුජිත මල්වතු මහා විහාරස්ථ උපෝසථ පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී,අල්විස්වත්ත ශී‍්‍ර නිකේතාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගැටමාන්නේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදා පැවිද්දට එළඹියහ.

1975දී කළුතර දකුණ අල්විස්වත්ත ශී‍්‍ර නිකේතාරාම විහාරස්ථානයට වැඩම කළ පල්ලත්තර ජිනානන්ද හිමියෝ තම ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේගේ සියලු ඇප උපස්ථාන ඉටු කරමින්, වර්ෂ 1979 දී වස්කඩුව දෙදියවල ශී‍්‍ර ධර්මාරාම පිරිවෙන් ප්‍රවීණාචාර්ය වහන්සේ නමක් ලෙස,ගුරු සේවාව ආරම්භ කළහ.

2010 /09/06දින දක්වා එම පිරිවෙනෙහි ආචාර්ය වහන්සේ නමක් හැටියට තම රාජකාරි ඉටුකොට එහිම නියෝජ්‍ය පරිවෙණාධිපති වහන්සේ නමක් ලෙස ගුරු සේවයෙන් විශ්‍රාම දිවියට එලඹුණේ ය.

ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ අප නා හිමියෝ දකුණු කළුතර අල්විස්වත්ත ශ්‍රී නිකේතාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීමට අප්‍රමාණ වෙහෙසක් ගෙන දිවා රෑ දෙකෙහිම දැඩි කැපවීමෙන් දායක කාරකාදින් සමඟ වැඩ කළහ.

තම විහාරස්ථානයට අඩුපාඩුවක්ව තිබූ චෛත්‍ය රාජයාණන් වහන්සේ,බෝධි ප්‍රාකාරය,ධර්ම ශාලාව හා ආවාස ගෙය වැනි අත්‍යවශ්‍ය අංගවලින් සමලංකෘත අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කළේ උන් වහන්සේ තුළ තිබූ අප්‍රතිහත ධෛර්යය හා උත්සාහය නිසා ය.

දේශීය හා විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු මෙහෙයවමින් නිරතුරුව ම උන් වහන්සේ මැලේසියාව,සිංගප්පූරුව,කාම්බෝජය, වියට්නාමය හා චීනය වැනි බෞද්ධ රටවල ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වූ අතර,දේශීය වශයෙන් ආගමික හා සංස්කෘතික කටයුතුවල දී නායකත්වය හා අනුශාසකත්වය ගෙන කටයුතු කළහ.

පසුගිය යුද සමයේ දී මායිම් ගම්මානවලට නිර්භීත ව වැඩම කොට ඒ පෙදෙස්වල ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා සඳහා වැඩම කොට ඔවුන්ගේ විවිධ වූ අඩුපාඩු සොයා බලා ජාතික සේවාවන් රාශියක් ඉටුකළ අප පින්වත් නාහිමියෝ අල්විස්වත්ත ශී‍්‍ර නිකේතාරාම විහාරස්ථානයේ දහම් පාසලක් ආරම්භ ⁣කොට ප්‍රදේශයේ දුවා දරුවන්ට දහම් පිපාසය සංසිඳුවා ගන්නට සුවිශේෂ දායකත්වයක් දැරූ, යුගයේ මහා යතිවරයන් වහන්සේ නමකි.

තවද සම්බුද්ධ ශාසනයට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් බිහි කළ උන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වශයෙන් කළුතර අධිකාරිගොඩ විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තාරපේළියේ ගුණරතන ස්වාමීන් වහන්සේ හා තායිවානයේ උසස් අධ්‍යාපනය ලබන පූජ්‍ය පල්ලත්තර පියරතන හිමි ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ලැබූ සූරියවැව හේමරතන හිමියන් ද ඇතුළුව පැවිදි පිරිසක් සසුනට දායාද කොට ඇත.

සම්බුදු සසුනේ චිර පැවැත්මට මෙතරම් වූ සුවිශේෂ යුග මෙහෙවරක් ඉටු කළ අප පින්වත් පල්ලත්තර ජිනානන්ද ස්වාමීන් වහන්සේගෙන් ඉටු වූ අප්‍රමාණ ශාසනික, ජාතික හා සමාජයීය සේවයට උපහාර පුද කිරීමක් හා සේවය ඇගයීමක් වශයෙන් ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව මඟින් උන් වහන්⁣සේ වෙත “කළුතර දිස්ත්‍රික්කයේ හා පස් යොදුන් කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය ,”,සද්ධර්ම කීර්ති ශී‍්‍ර ඉන්ද්‍රජෝති”යන ගෞරව නාමය සහිතවපිරිනමා ඇත

ඒ පිළිබඳ සන්නස්පත්‍ර පිළිගැන්වීමේ මහා උත්සවයක් පසු ගිය ජුනි 15 වැනි දා රාජ පූජිත උපෝසථ පුෂ්පාරාම විහාරස්ථානයේ දී සිදු කළ අතර, උන්වහන්සේ ගෞරව සම්ප්‍රයුක්තව පිළිගෙන උන්වහන්සේට උපහාර ආශීර්වාදාත්මක සෙත්පැතී⁣ම හා එම සන්නස් පත, විජිනිපත පිළිගැන්වීමේ උත්සවයක් පසු ගිය 17 වැනි ඉරිදා කළුතර බෝධිභාරකාර ධර්ම ශාලාවේ දී අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු⁣ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සම්බුද්ධ සසුනේ තව තවත් වැඩ වඩන්නට අප පින්වත් නායක ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හා ආශිර්වාදයෙන් යෝධ බල, යෝධ ශක්තිය ලැබේවායි ද ඒ සඳහා උන් වහන්සේට චිරාත් කාලයක් වැඩ වසන්නට තෙරුවන් බලයෙන් ශක්තිය වාසනාව ලැබේවා යි ද ප්‍රාර්ථනා කරමි.

නිකිණි පුර අටවක

 අගෝස්තු 05 සිකුරාදා පූර්වභාග 05.08 පුර අටවක ලබා 06 සෙනසුරාදා පූර්වභාග
03.57 ගෙවේ.
05 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 05

Full Moonපසළොස්වක

අගෝස්තු 11

Second Quarterඅව අටවක

අගෝස්තු 19

Full Moonඅමාවක

අගෝස්තු 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]