[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

සුපේශල ශික්ෂාකාමී අර්ථචර්යාවෙහි පිළිපන් සංඝ පීතෘන් වහන්සේ

ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරන ලංකා ශාසනාම්භරය ආලෝකවත් කරමින් නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කළ සුපේශල ශික්ෂාකාමී අර්ථ චරියාවෙහි පිළිපන් සංඝ පීතෘන් වහන්සේ නමකි.

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ සෘජුපටිපන්න ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමකි.

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දෙහිඕවිට මුරුත්තෙට්ටුව නම් රමණීය ග්‍රාමයෙහි ජන්මෝත්පත්තිය ලැබූ උන්වහන්සේ එරත්න පතිරන්නැහැලාගේ ඒබ්‍රහම් සිඤ්ඤෝ මහෝපාසකතුමාත් ඒ.වී.පොඩිමැණිකේ මහෝපාසිකාමාතාවත් යන බොහොම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක මව්පිය දෙපළගේ තුන්වන දරුවා විය. ගමේ පාසල වූ පත්බේරිය හා දෙහිඕවිට විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම මත මව්පියන්ගේ ආශිර්වාදය ඇතිව සසුන්ගතවීමේ මුල්පියවර තබනු සඳහා විහාරස්ථානයට කැඳවා ගෙන ගියේ මුරුත්තෙට්ටුවේ සුධර්මාරාමාධිපති හිමියන් විසිනි. පැවිදි දිවියට ඇවැසි මූලික වත් පිළිවෙත් පුරුදු පුහුණු වූ උන්වහන්සේ කෝට්ටේ කල්‍යාණි සාමගි‍්‍ර සංඝ සභාවේ අනුනායක පත්බේරියේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පූර්වෝපචිත පුණ්‍ය ශක්තියට අනුව මුරුත්තෙට්ටුවේ ආනන්ද යන ශාසනික නාමයෙන් සම්මා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවය ලබා ගත්හ. අනතුරුව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූ උන්වහන්සේ ප්‍රථිබල සම්පන්න ව්‍යක්ත විශාරද යතීන්ද්‍රයන් වහන්සේ සෙවණේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුතුව ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ලැබූහ. නිසි වයස් සම්පූර්ණ වීමත් සමඟ පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන ව 1957 වර්ෂයේ ජුලි මස 07 වැනි දින කෝට්ටේ කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ධුරන්දර මොල්ලිගොඩ ආරියවංශ නාහිමිපාණන් වහන්සේගේ හා පත්බේරියේ ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සුපරිසුද්ධෝප සම්පදාවට පත්වීමට තරම් භාග්‍යවත් වූහ.

අපේ මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ රටේ වැඩ සිටින සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන මහතෙර නමකි. උන්වහන්සේ චාම් සරල ගතිපැවතුම්වලින් යුත්, නිහතමානී, ආචාරශීලී, ශ්‍රද්ධාවන්ත, ගුණගරුක, පරිත්‍යාගශීලී, අනුන්ගේ දුකේ දී අවංකවම දුක්වෙන, අනුන්ගේ සැපේ දී අවංකවම සතුටුවන පරෝපකාරය සඳහාම කැපවුණු ශාසනානුලෝමි ගුණයෙන් පරිපූර්ණ මහා යතිවරයාණන් වහන්සේ නමකි. ඉතාම පරිහානි තත්ත්වයක පැවැති නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය සම්පූර්ණත්වයට පත්කර, ශාසනික මෙන්ම ජාතික වශයෙන් සේවාවන් ඉටුකරන ස්ථානයක් ලෙස සකස් කිරීමට හැකිවූයේ උන්වහන්සේගේ ශ්‍රද්ධාවත්, කැපවීමත්, අධිෂ්ඨානයත් නිසා බව සඳහන් කළ යුතු ය.

ජාතියේ මුරදේවතාවුන් වහන්සේ යන කරුණ හිස මුදුණින් පිළිගත් නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති හා රාජ්‍ය එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ඉපැරැණි වූ තරමට අයින් නොකර, නවීන වූ තරමට වැද්ද නොගෙන වෙනස් හා වෙනත් මගක් ගනිමින් වෘත්තීය සමිතියක් ආරම්භ කර හෙද හෙදියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් රැකදීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළහ. අදටත් එම කටයුතුවල නියැළෙති. ශ්‍රී ලංකාවේ හෙද සේවයට කළ ඉමහත් මෙහෙය සමස්ත හෙද සේවයට පමණක් නොව මුළු මහත් ජනතාවට ම කළ සේවයකි. එපමණක් නොව ඒ තුළින් මුළු මහත් සෞඛ්‍ය සේවාවටත් සමස්ත වෘත්තීය සමිති ක්ෂේත්‍රයටත් කළ අනගිභවනීය සේවාවකි. රෝගී ජනතාව උදෙසා දිවියම කැප කළ උන්වහන්සේ සැමදා ජනතා ගෞරවයට පාත්‍ර විය යුත්තේ ය. අභයාරාම පුරාණ විහාරස්ථනය ඇසුරේ පුරා වසර 73 ක් අඛණ්ඩව ප්‍රදේශවාසී බොදු දරුවන්ගේ දහම් පාසල වු ශ්‍රී සුචරිතවර්ධන දහම් පාසල තුළ ද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ කාර්යභාරය අතිමහත් ය. එපමණක් නොව දුෂ්කර පළාත්වල පාසල් බොහෝ සංඛ්‍යාවක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති උන්වහන්සේ විසින්ම ඒ සියලු පාසල්වල සියලුම දරුවන්ගේ වාර්ෂික පාසල් උපකරණ කට්ටල සපයනු ලැබේ. ශික්ෂාකාමී සාධු සීල ගුණයෙන් පිරිපුන් යතිවරයාණන් කෙනෙකුට අමතරව විටෙක උන්වහන්සේ කරුණාබරිත ය. සෙනෙහසින් මවක් මෙන් උණුසුම් ය. අපරිමිත රැකවරණයෙන් පියකු සේ සෞම්‍යය. විටෙක කලණ මිතුරෙකි. අයුක්තිය අසාධාරණය හමුවේ සිංහයකු ව පෙරමුණ ගන්නා උන්වහන්සේ රණවිරුවකු සේ අභීත ය. කොටි සංවිධානය පසුගිය දශක කීපය මුළුල්ලේ ශ්‍රී ලංකාවට බලවත් තර්ජනයක් විය. ඒ කාල පරිච්ඡේදයේ දී “මව්බිම සුරැකීමේ සංවිධානය” පිහිටුවා ගැනීමට උන්වහන්සේ මූලිකව ක්‍රියා කළහ. යුද්ධයෙන් අනාථභාවයට පත්, 1500 ක් පමණ ජනතාව අභයාරාම පන්සල් භූමියේ තාවකාලිකව ඉදිකළ කඳවුරුවල නවතාගෙන රැක බලා ගත්තේ ද එම “මව්බිම සුරැකීමේ සංවිධානය” මඟිනි. එමෙන්ම 1987 වර්ෂයේ දී කොටි සංවිධානය යාපනය අර්ධද්වීපය අල්ලා ගැනීමෙන් පසු නැඟෙනහිර පළාතේ සිංහලයන් සංහාරය ඇරඹිණි. එයින් අනාථ වූ සිංහල පවුල් 147 කට අයත් 747 දෙනකුට රැකවරණය සැලසුවේ ද “මව්බිම සුරැකීමේ” සංවිධානය යි.

ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට ප්‍රධාන වශයෙන් ම බලපානුයේ සංඝ සමාජය බව දත් දේශීය මෙන් ම විදේශීය බලවේගයනට නොපැකිළව, එඩිතරව මුහුණදීමට හා සංඝ සමාජය සුරක්ෂිත කිරීමට “පැවිදි හඬ” සංවිධානය පිහිටුවා ගනු ලැබුවේ ද ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙනි.

ඒ වගේම අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය 1988 වර්ෂයේ දී පිහිටුවාගනු ලැබුවේ ද උන්වහන්සේගේ නායකත්වයෙනි. උන්වහන්සේගේ නායකත්වය යටතේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය නොයෙකුත් ජයග්‍රහණයන් ලබා ගත්හ.

සුනාමි ව්‍යසනයේ දී ද අසරණ ජනතාවට ශක්තියක් වෙමින් සුවිශාල කාර්යභාරයක් ඉටු කළහ.

ජනතා සම්මානයෙන් නිරතුරුව පුද ලබන උන්වහන්සේට කෝට්ටේ සංඝ සභාවෙන් “ශාසන කීර්ති ශ්‍රී” යන ගෞරව නාමය ද, විද්‍යොදය පිරිවෙනින් “ශ්‍රී සුමංගල විද්‍යාවංශ යන ගෞරව නාමය ද පිරිනැමුණි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කරන ලංකා ශාසනාම්භරය ආලෝකවත් කරමින් නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරන සුපේශල ශික්ෂාකාමී අර්ථ චරියාවෙහි පිළිපන් සංඝ පීතෘන් වහන්සේ නමකි. කිසිම අවස්ථාවක කිසිදු රජයකින් පෞද්ගලික උදව් උපකාර ලබා නොගෙන සෑම අවස්ථාවකදී ම කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් ජාතික වගකීම් ඉටු කළහ. දැන උගත් කාර්ය ශූර ජනතාප්‍රසාදයට පත් රට, දැය, සමය වෙනුවෙන් නිස්සරණධ්‍යාංශයෙන් ම මහඟු මෙහෙයක් ඉටුකරන උන්වහන්සේ ඇගයීමට ලක් කරමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහා නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාව මගින් බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරය ද පිරිනැමීමට කටයුතු කළහ.

පොසොන්
අව අටවක

 ජුනි 20 සඳුදා අ.භා. 09.09 අව අටවක ලබා 21 අඟහරුවාදා අ.භා. 08.38 ගෙවේ.
 21 අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 21

Full Moonඅමාවක

ජුනි 28

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]