[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය එපා වන තරමට ඇති හිතේ බර බිමින් තබන්නේ මෙහෙමයි

ජීවිතය එපා වන තරමට ඇති හිතේ බර බිමින් තබන්නේ මෙහෙමයි

මෙත් සිත පුදුමාකාර ය. එය සිතෙහි වැඩෙන්නට, වැඩෙන්නට සිත නිවෙන්නේ ය. සන්සුන් වන්නේ ය. සුවපත් වන්නේ ය. මෙත් සිත ඇති තැන වෛරයට, ක්‍රෝධයට, නොරුස්නා බවට, අමනාපයට ඉඩක් නැත. එපමණක් ද නොවේ. අසීමිත ලෝභය, අසීමිත රාගය , අසීමිත ආශාව ආදී කරදරකාරී සිතිවිලිවල ද පාලනයක් ඇතිවීම ආරම්භ වේ. ඒ තුළ සිත පිරිසුදු වේ. සිතෙහි ඇතිවන මෙම පිරිසුදු බව නිසා ලැබෙන අනුසස් එකොළහක් පිළිබඳ ව මෙත්තානිසංස සූත්‍රයෙහි පෙන්වා දී ඇත.

පළමුව ලැබෙන ලාභය නම් සුව නින්දක් ලැබීම ය. සිතෙහි තරහකින්, වෛරයකින්, බලවත් ආශාවකින් හෝ බලාපොරොත්තු කඩවීමකින් වේදනාවක් දැනෙන මොහොතක සුව නින්දකට අවස්ථාව නො ලැබේ. නින්දට බාධා ඇතිවේ. මහ රැයෙහි ද නිදි නොමැති ව විවිධ සිතිවිලිවලින් සිත පීඩාවට පත් වේ. විවිධ කල්පනාවන් ඇති වේ.

"මේ ප්‍රශ්න මට හරි ම වදයක්. මතක් වෙනවිට නින්ද යන්නේ නැහැ"

ඇතැම් කෙනෙක් එසේ කියන අවස්ථා බොහෝ ය.

එහෙත් මෙත් සිතිවිලි පුරුදු කරන කෙනකුගේ සිතට නිතර ම පැමිණෙන්නේ ද මෙත් සිතිවිලි ම ය. සෑම දෙනා කෙරෙහි මෙන් ම, පැමිණෙන සියලු ගැටලු දෙස ද කරුණාවෙන් මෙන් ම සන්සුන් මනසකින් බැලීමට එවැනි කෙනකුට හැකි වන්නේ ය.

මෛත්‍රිය පුරුදු නැති සිත, විමසා බැලීමකින් තොරව ඉක්මන් තීරණ ගනී. ඒ වගේ ම ඉක්මනින් කේන්තියට පත්වෙයි. ඒ තත්වය කෙළවර වන්නේ ඇතැම්විට තමන්ගේ ජීවිතය මෙන් ම, අන් අයගේ ජීවිත ද විනාශ වීමෙන් විය හැකි ය. වර්තමානයේ බොහෝ විවාහ ජීවිත බිඳී විසිරී යන ආකාරය අපි දකිමු. පවුල් පරිසරයේ සිට සෑම තැනක ම ඇතිවන බොහෝ ගැටලුවලට මුල ජීවිතයට මෛත්‍රිය පුරුදු කර නො තිබීම ය.

" මේ බර ඔළුවේ තිබෙනතාක් මට නින්ද යන්නේ නැහැ."

"මේ බරින් නිදහස් වූ දවසක තමයි මට නින්ද යන්නේ."

අප අතර ම සිටින කොපමණ පිරිසක් නම් මෙවැනි වදන් පවසනවා ද?

ඇතැම් කෙනකුගේ සිතේ බර තිබෙන්නේ පවුලේ ගැටලු හෝ අවුල් වියවුල් හේතුවෙනි. තවත් කෙනකුගේ බර රැකියාව හෝ ගේ දොර සාදා ගැනීම පිළිබඳ ව ය. තවත් කෙනකුගේ සිතට බර දැනෙන්නේ දරුවන් නිසා ය. මේ ආකාරයෙන් කුමන හෝ හේතුවක් නිසා තම සිත පීඩාවට ලක්වන විට එය හිසට බරක් යැයි නොසිතන කෙනෙක් නැති තරම් ය. ඒ අත්දැකීම ඔබට ද ආගන්තුක නොවිය හැකි ය. එසේ වූවා යැයි ඒ බර බිමින් තබන්නට නම් උත්සාහ ගන්නා අය දුලබ ය. බොහෝ විට අප සිතට ගන්නේ අනවශ්‍ය බර ය. වියදමක් නොදරා ම ඒ බර බිමින් තැබිය හැකි වූ ව ද, ඊට උනන්දුවක් නො ගෙන ම බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ මැසිවිලි නඟන්නට ය. ඒ තුළ ද නිර්මාණය වන්නේ බරක් ම මිස සැහැල්ලුවක් නොවන බව අවබෝධ කර ගත යුතු ම ය. මෙසේ දුක් පීඩා විඳීන අය අතර ම තවත් අපූරු පිරිසක් සිටී. ඔවුන් පවසන්නේ මෙවැනි වදන් ය.

"වෙනදාට නම් ඕනෑම දේකට මම ඉක්මනින් ම කලබල වෙනවා දැන් නම් එහෙම වෙන්නේ නැහැ. මට දැන් ඉවසන්න පුළුවන්."මෙවැනි තැනකට සිත හදාගන්නට පුළුවන් නම්, මොනතරම් වටිනවා ද? ඒ, සැහැල්ලු බව ජීවිතයට මොන තරම් සැහැල්ලුවක් ගෙන දෙනවා ද?

මෙත් සිතිවිලි වැඩීමේ දෙවැනි ආනිශංසය සුව සේ නින්දෙන් පිබිදීමට හැකි වීම ය. සමහර අය උදෑසන නින්දෙන් පිබිදෙන්නේ ම දවසට ම දොස් තබමිනි. "අද මොන කරුමක්කාර දවසක් ද දන්නේ නහැ." "තව ටික වේලාවක් නිදාගන්න තිබුණ නම් හොඳයි", "ඊයේ රෑ පුරා ම නින්ද ගියේ නැහැ." "අදත් වැඩ කන්දක් "' මේ සේරම වැඩ කොහොම කරගන්න ද කියා සිතා ගන්නවත් බැහැ." මේ ආකාරයෙන් අමනාප සිතිවිලි ඇති කර ගෙන දවස ආරම්භ කිරීමෙන්, කාලය කා දමන අය මොනතරම් ද? එසේ ගෙවී යන කාලය ඇතුන්ලවාවත් ඇද්දවීමට නම් නොහැකි ය. දවස අසුබ වන්නේ, දවසේ වැරැද්ද නිසා නම් නොවේ. තමන්ගේ සිතේ ඇති කර ගත් වැරැද්ද නිසා ය.

තවත් කෙනෙක් උදෑසන නින්දෙන් පිබිදී දවස ආරම්භ කරන්නේ නිවසේ ම කෙනෙකුට කෑ ගසමින්, දොස් තබමින් ය. ඊළඟට කාමරයේ, නාන කාමරයේ, වැසිකිළියේ පටන් දොර ජනේල ශබ්ද නඟා වසන්නටත්, කෝප්ප, පිඟන් හඬ නංවමින් එහා මෙහා දමන්ටත් පටන් ගනී. සුබ දවසක් බවට පත්කර ගැනීමට හැකි දවස අසුබ දවසක් බවට පත් කර ගන්නේ අප විසින් ම ය. මෙලෙස සිදු වන්නේ සිත මෛත්‍රියෙන් බැහැර වූ විට ය.

මෙත් සිත් ඇති තැන නපුරු හා පාපී සිහින නො පෙනීම තවත් ආනිශංසයකි. සිහින පෙනෙන්නේ අපගේ යටි සිත නින්දේ දී ක්‍රියාත්මක වීමෙනි. මෛත්‍රිය මැනවින් නො වැඩුණු සිත්වල ඇති වන දැඩි රාග, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි සිතේ තැන්පත් ව පවතියි. බොහෝ කෙනකුට මේවා නින්දේ දී මතු වන්නට පටන් ගනී.

නපුරු හා භයානක සිහින දැක බියට පත් වී නින්දෙන් පිබිදුණු විට "ඉතිපිසෝ භගවා" ගාථාව හෝ කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කොට නැවතත් නින්දට යන්නට යැයි පවසන්නේ මේ නිසා ය. මෙත් සිතිවිලි ඇති කර ගැනීම මෙහි මූලික බලාපොරොත්තුව යි. නින්දේ දී බිය වන නපුරු සිහින දකින අයට ලබා දිය හැකි වටිනා ම ඖෂධය වන්නේ "කරණීය මෙත්ත සූත්‍රය" මැනවින් සජ්ඣායනය කර නින්දට යෑමයි.

"මනුස්සානං පියෝහෝති" මෛත්‍රිය වැඩීම හේතුවෙන් ලැබෙන තවත් උතුම් ම පලයක් වන්නේ මිනිසුන්ට ප්‍රිය වීමය. යම් කෙනකුගේ සිත මෛත්‍රියට පුරුදු වීමෙන් සිතන හා දකින ආකාරය ද, කතා කරන වචනය ද, කරන ක්‍රියාව ද පවුලට මෙන් ම සමාජයේ අන් අයට කරදර හා පීඩා නොවන්නක් බවට පත්වේ.

"අන් අයට මොනවා වුණත් මට කමක් නැහැ. මගේ බඩ කට පිරෙනවා" නම් වූ අයහපත් සිතිවිල්ලෙන් බැහැර ව, තමා වටා මෙන් ම සමාජයේ අන් අය ගැනත්, සිතන සත්පුරුෂ මිනිසෙක් බවට පත්වෙයි. කෙසේ හෝ අන්සතු යමක් කඩාවඩා ගැනීමට උත්සාහ නො කරන මිනිසෙක් බවට පත්වෙයි. අන් අයගේ ඇද කුද සොයන, කවදාවත් අනුන්ගේ හොඳක් නොදකින හා නොකියන අසත්පුරුෂ ස්වභාවයට පත් නොවෙයි. ඇසුරු කරන අයගෙන් යමක් බලාපොරොත්තු නොවී, කුමක් හෝ උපකාරයක් ඔවුන් වෙනුවෙන් කිරීමට උත්සාහ ගනියි. මේ උතුම් මානුෂික ගුණාංග ක්‍රමයෙන් මනුෂ්‍ය ජීවිතයට පුරුදු වන්නේ මෛත්‍රිය සමඟිනි.

මේ හේතුව නිසා ම ඒ පුද්ගලයා සමාජයේ ප්‍රියශීලි අයෙක් බවට පත්වෙයි. ඒ වගේ ම ගුණ යහපත් කෙනෙක් යන අපූර්ව සහතිකය ද ඒ පුද්ගලයාට ලැබෙයි. ඒ, පුද්ගලයා මනුෂ්‍යයන්ට පමණක් නොවෙයි. අමනුෂ්‍යයන්ට ද ප්‍රිය වෙයි.

අඩුම තරමේ රාත්‍රී නින්දට යෑමට පෙර “කරණීය මෙත්ත සූත්‍ර යේ අදහස සිතට ගෙන සජ්ඣායනා කිරීමේ පුරුද්ද හෝ ඇති කර ගන්න. ඒ පුරුද්ද තුළ ටිකෙන් ටික මෛත්‍රී සිතිවිලි වැඩෙන්නට පටන් ගනු ඇත. ඉන් පසු සෑම දිනක ම අවංක සිතින් සුළු වේලාවක් හෝ මෛත්‍රී භාවනාව වඩන්නට යොමු වනවා නම් , ඒ තුළ ඔබ ලබන සැනසීම ජීවිතයේ මෙලොව පරලොව දියුණුවට බොහෝ සෙයින් ම හේතු වනු ඇත.

වප් පුර අටවක
 

ඔක්තෝබර් 12 අඟහරුවාදා අ.භා 21.47 පුර අටවක ලබා 13 බදාදා අ.භා 20.08 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]