[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුවා කතාවේ එන ඉපැරැණි ලක්දිව දඬුවම් දුන් හැටි

අටුවා කතාවේ එන ඉපැරැණි ලක්දිව දඬුවම් දුන් හැටි

අපරාධවලට නියම වූ අනේකාකාර දඬුවම් ක්‍රම ගැන අටුවාවල සඳහන් වේ. එම දඬුවම් අතර හිස් කබල සිදුරු කොට ගිනියම් කළ යකඩ ගුලියක් එහි දැමීමෙන් එයින් මොළය උණු වී කැඳ මෙන් පිටාර ගැලීමට සැලැස්වීම, කණ දක්වා මුඛය ඉරා දැමීම, මුළු සිරුරම තෙල් සහිත රෙදිවලින් ඔතා ගිනි දැල්වීම, හිස වටා හම කපා කෙස් වැටිය ඇද ගලවා හිස් කබල රළු ගල්වල අතුල්ලා වධ දීම, ශරීරයේ අවයවවල හම කපා ඇද වැටීමට සැලැස්වීම, හම ගලවා තියුණු උල්වලින් විවිධ අයුරින් වධ දීම, පණ පිටින් හුල තැබීම, අත් පා නාසා දිව ආදී අවයව කපා දැමීම, හිස බූ ගා ඇඟ අලු ගා වදමල් පළඳවා නගරයෙන් නගරයට හෝ රටෙන් පිටුවහල් කිරීම, ඇඟ හණ (සලකුණු) තබා අපරාධකරුවෙකු ලෙස සම්මත කිරීම යනාදිය ඒ අතර විය. දෙතිස් වධවලට සමාන මෙබදු දඬුවම් ක්‍රම සම්පූර්ණයෙන්ම මෙරට ක්‍රියාත්මක වූ බවට සාධක නැතත් බරපතළ දඬුවම් ක්‍රම ක්‍රියාත්මක වී ඇත.

දඬුවම් දීම සඳහා වේවැල, දෙරියන් පමණ මුගුර, කැට කැබිලිති, මෝල්ගස, පොලු, රුහැන්, කසය, තියුණු ආයුධ, යකඩ හුල්, මහත් යදම්, මාංචු, අකුස්ස, සැත් ආදී උපකරණ රාශියක් මේ සඳහා භාවිත කොට ඇති අතර, අතිශය අමානුෂික දඬුවම් ක්‍රම පිළිබඳ සංකල්පය සමාජගත කොට ඇත්තේ එකල පැවති අපරාධවල විවිධත්වය නිසා සහ නීතිය හා සාමය සමාජය තුළ ස්ථාපනය කිරීම සඳහා බව නො අනුමාන ය.

පාලි මූලාශ්‍රය තුළින් එකල පැවති අපරාධ නීතිය පිළිබඳ සුළු අවබෝධයක් ලබා ගත හැකි ය. සමාජයක් පාලනය වන්නේ නීතියෙන් මිස පාලකයන්ගේ අභිරුචියට හෝ සිතැඟිවලට අනුව නො වන බව සමාජයක නීතියක් පැවතීමෙන් ම අදහස් වේ.

නීතිය යනු එක් පුද්ගලයෙකුගේ රුචිකත්වයක් නො වන අතර නීති සම්පාදකයෝ එකල ද වූහ. ඔවුන්ගේ නිගමන රජු ද පිළිගත් හෙයින් එය ද වර්තමාන නීති සම්පාදකයන්ගේ නීති රීති ජනතාව විසින් පත් කර ගන්නා ලද පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් රජය විසින් පිළි ගැනීමක් බඳු ය.

කෘෂි කර්මාන්තය හා සබැඳී පුවත් වැඩි වශයෙන් ම අට්ඨාකථාවලට ආදේශ කර ගැනීමෙන් කෘෂිකාර්මික ආර්ථිකය පිළිබඳ අවධානය පෙන්නුම් කර ඇති අතර, මේ යුගයේ දෙස් විදෙස් වෙළඳාම පිළිබඳව සඳහන් කර තිබීම වැඩි වටිනාකමකින් යුක්ත ය.

දෙවනපෑතිස් - අශෝක සබඳතාව නිසා විදේශීය සම්බන්ධතා අපට නිරායාසයෙන් ම ලැබුණු බව පැහැදිලි ය. මේ හැරුණු විට විදේශීය වෙළඳාමෙහි නියුතු වූ සමුද්‍ර වාණිජයන් ගැන තොරතුරු ද අටුවාවල ඇත.

කැලණියේ සිට නාගදීපය දක්වා මුහුදු තීරය ආරක්‍ෂා කිරීමෙහි ආරක්ෂක අංශ යෙදී සිටි බවත්, නැව් කැඩී අතරමං වන්නන් ගැන විමසිල්ලෙන් සිටි බවත් අටුවාවල සඳහන් වේ. වෙළඳාම සම්බන්ධයෙන් කවදත් පැවති අක්‍රමිකතා එකල ද විය. තුලාකූට, මානකූට, කංසකූට යනාදිය ගැන නිතර සඳහන් වේ.

අධික මිලට බඩු විකිණීමේ පහත් ක්‍රියාව ද පැවති බව නිගමනය කිරීමට හැක්කේ අටුවාකරු එහි සාහසිකත්වය පෙන්වීමට වෑයම් කරන නිසා ය. “අග්ගට්ඨපනං නාම ජිවිතවොරොපන සදිසං” යනුවෙන් මිළ වැඩි කිරීම ප්‍රාණඝාතයක් වැනි ක්‍රියාවක් යැයි කීමෙන් එය තහවුරු වේ.

වංචනික මුදල් පරිහරණය පිළිබඳ රසවත් කථාවක් සුමංගලවිලාසිනියේ සඳහන් වේ. එක් වංචනිකයෙක් ලොකු මුවකු හා පැටියකු විකීණීමට ගෙන යන පුද්ගලයකුගෙන් ඔවුන්ගේ වටිනාකම කෙතෙක් දැයි ඇසීය. ලොකු මුවා කහවණු දෙකක් ද පැටියා කහවණුවක් ද වන බව ඔහු කීය. කහවණුවකට මුව පැටියා මිළදී ගත් වංචනිකයා මඳ දුරක් ගොස් නැවතී යළි පැමිණ මෙසේ කීය. “මට මුව පැටියාගෙන් ප්‍රයෝජනයක් නැත. මා මුලින් ඔබට කහවණුවක් දී ඇත. මේ කහවණුවක් වටිනා පැටියා ද රැගෙන ලොකු මුවා දෙන්න” යි කීය. මෙසේ කහවණුවකට කහවණු දෙකක් වටිනා මුවා අත්පත් කර ගත්තේ ය.

ක්‍රි.ව. 5 සියවස ලංකාවේ මස්ස, අඩමස්ස, කහවණු ආදිය භාවිත වූ බවත් සඳහන් වේ.

අතීත ශ්‍රී ලංකාවේ මෙකල පවතින කොරෝනා ව්‍යසනයට හා ආර්ථික අර්බුදවලට වඩා අතිශයින් ඛේදජනක කාල සීමාවන් පැවතුණි. අටුවාවල දිස්වෙන ඇතැම් කාල වකවානු එතරම් ප්‍රියංකර නොවුණි. “නොයෙක් කරදරවලින් පිරි ලෝකයක ජීවත්වෙමින් සිය කෘතිය එක අවුරුද්දකින් නිරුපද්‍රිතව අවසන් කිරීමට හැකි වීම ගැන සමන්තපාසාදිකාවේ සිය සතුට පළ කරති.

තිස්ස බ්‍රාහ්මණයාගේ කැරැල්ල හා දුර්භික්‍ෂය නිසා ඇති වූ දූර්දශාපන්න තත්‍වය වංසකථාවලට වඩා සංවේගී ලෙස මෙහි නිරූපණය වේ. උග්‍ර ආහාර හිඟයක් මෙකල ඇති විය. තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ දස වසරකට ප්‍රමාණවත් ලෙස තිබූ වී මීයෝ කෑහ. මේ නිසා භික්‍ෂූන් විශාල සංඛ්‍යාවක් එක විහාරයකින් අනික් විහාරයකට යාම පවා අතහැර ජීවිතක්‍ෂයට පත් වූහ. ආහාර හිඟයත් සමගම සොරුන්, කැරලිකරුවන්, මං පහරන්නන් හා මිනීමරුවන්ගේ සංඛ්‍යාව ද වැඩි විය.

අභය චෝර, චෝරනාග ආදි ප්‍රසිද්ධ හා දරුණු සොරුන් ගැන නිතර සඳහන් වේ. දුර්භික්‍ෂයේ සාහසිකත්‍වය කෙතරම් ද කිවහොත් ඇතැම්හු භික්‍ෂූන් මරාගෙන කෑමට තරම් දරුණු වූහ.

චත්තබ්බක නිග්‍රෝධ නම් සාමණේර භික්ෂුවගේ ගුරු හිමියන් මිනීකන සොරුන්ට ගොදුරු වූ බව සම්මොහවිනොදනියේ සඳහන් වේ. ලොණගිරිවැසි තිස්ස තෙරුන් පණස් නමක් සමඟ නාගදීපය වඳින්නට ගොස් සතියක් පිඬු පිණිස හැසිර කිසිවක් නො ලද්දේ ය. සුවදුක් විමසන විට බොහෝ විට ලැබුණු පිළිතුර වූයේ “අතිදුක්ඛෙන භන්තෙ සත්තදිවසා අතික්කන්තා” (ස්වාමීනි, ඉතා දුකසේ සතියක් ගෙවුණි.) මෙබඳු පසුතලයක් යටතේ සදාචාරයක් ගැන සිතීම විහිළුවකි.

සඟසතු දේපළ පවා ගිහියෝ බලහත්කාරයෙන් භුක්තිඳීමට නැඹුරු වූහ. සමාජ වටපිටාව ද දුබලතාවලින් පිරී පැවතුණි. ගැහැනුන් ලවා අශික්‍ෂිතකම් කර වූ අවස්ථා බොහෝ ඇත. අනාචාරයට පෙළඹුණු එක්තරා ස්ත්‍රියක තම ස්වාමියා වන වැඩිමල් සොහොයුරා බාල සොහොයුරා ලවා මැරවීමේ සිද්ධියක් අංගුත්තරනිකායට්ඨකථාවේ ඇත.

මෙබඳු අනේකවිධ දුෂ්කරතා අපරාධ හා නොපණත්කම් සමාජ සංස්ථාව තුළ පැවතීම සම්බන්‍ධයෙන් විශේෂයෙන් කිවයුතු කරුණ වන්නේ ශාසනය සුරක්‍ෂිත කිරීමේ කර්තව්‍යයේ දී භික්‍ෂූන් වහන්සේලා ද දැඩි පීඩනයකට හසු වූ බවයි. පෙර කී දැඩි නීති රීති හා දඬුවම් සමාජයට අවශ්‍ය වූයේ මෙබදු ආර්ථික දුෂ්කරතා නිසා සමාජගත වන බලවත් අපරාධ හා දූෂණ පිටුදැකීම සඳහා ය.

  බක් පුර අටවක 

 අප්‍රේල් 20 අඟහරුවාදා පූර්ව භාග 00.01 පුර අටවක ලබා 21 බදාදා පූර්වභාග 00.43 ගෙවේ. අඟහරුවාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 20

Full Moonපසළොස්වක

අප්‍රේල් 26

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]